Print this Article


ක්ලේශ ප්‍රහාණය හා වාසනා ප්‍රහාණය

ක්ලේශ ප්‍රහාණය හා වාසනා ප්‍රහාණය

සාමාන්‍ය මිනිසුන් වාසනා ගුණය කියන්නේ පිනට හෝ භාග්‍යයට ය. ලෝකයා පින් ඇති අයට “වාසනාවන්තයා” කියා කියති. එහෙත් බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේ ගත්විට වාසනා ගුණය කියා කියන්නේ වෙනත් කරුණකට ය.

බුදුරජාණන් වහන්සේත්, රහතන් වහන්සේත් අරහත් මාර්ග සිතින්, ඉතිරියක් නැතුව ම කෙලෙසුන් සහමුලින් ම ප්‍රහාණය කරනු ලබති. කෙලෙසුන් සහමුලින් ම ප්‍රහාණය කළත්, බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේගේ කෙලෙස් ප්‍රහාණයන් අතර වෙනසක් තිබේ. එම වෙනස වන්නේ රහතන් වහන්සේ ක්ලේශ ප්‍රහාණයට මිස වාසනා ප්‍රහාණයට සමත් නොවීමයි. ක්ලේශ ප්‍රහාණයෙන් පසු රහතන් වහන්සේට වාසනාව ඉතිරි ව පවතී. මේ වාසනාව කියන්නේ කළින් කී “වාසනාවන්තයා” කියන එකට නොවේ.

රා තිබුණු කළයකින් ඒවා ඉවත් කර සෝදා ගත් පසුවත්, එහි රා මඳකුදු නැති ද, රා ගඳ එහි ඉතිරි ව පවතී. ඒ ආකාරයට අර්හත් මාර්ගයෙන් සියලු ක්ලේශයන් දුරු කළ රහතන් වන්සේගේ සන්තානවල, රහත් නොවුණු කාලයේ ඉරියව් පැවැත්වූ ආකාරයෙන්, ක්‍රියා කළ ආකාරයෙන් කතා කළ ආකාරයෙන්, රහත් වූ පසුවත් ඉරියව් පැවැත්වීමට, ක්‍රියා කිරීමට, කතා කිරීමට හේතුවන ක්ලේශයන්ට ම අයත් එක්තරා ශක්තියක් ඉතිරි වේ. මෙහි “වාසනාව“ කියනු ලැබුවේ ඒ ශක්ති විශේෂයට ය.

ඒ ශක්තිය ඉතිරි වී ඇති නිසා සමහර විට රහතන් වහන්සේ මඳ වූ රාගයක්වත් නැති ව සරාගීන් රාගයෙන් බලන්නාක් මෙන් බලති. කතා කරන්නාක් මෙන් කතා කරති. මඳවූ ද ද්වේෂයක් නැති ව කෝපවූවන් සේ ක්‍රියා කරති. කතා කරති. මඳ වූ ද මානයක් නැති ව මානීන් සේ ඉරියව් පවත්වති. කතා කරති. ඒ නිසා සමහරවිට බලා සිටින අය රහතන් වහන්සේ කෙරෙහි කළකිරෙති.

පිළින්දිවච්ඡ තෙරුන් වහන්සේ රහතන් වහන්සේගෙන් කෙනෙකි. උන්වහන්සේ මානයක් නැති ව ම, කෝපයක් නැති ව ම “මෙහෙ වර වසලී. පල වසලී” යනාදී නොගැළපෙන ආකාරයට ගිහියන්ටත් පැවිද්දන්ටත් කතා කළහ.

එක් දවසක් භික්ෂූහු පිළින්දිවච්ඡ තෙරුන් වහන්සේගේ නොගැළපෙන කතාව ගැන අනෙක් භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කීහ.

බුදුරජාණන් වහන්සේ “එසේ කතා කරන බව සැබෑවදැ”යි පිළින්දිචච්ඡ තෙරණුවන්ගෙන් ඇසූ සේක.” සැබෑවයි ස්වාමිනී” කී විට අතීතය බලා අතීතයෙහි පිළිවෙළින් ජාති පන්සියයක බ්‍රාහ්මණ කුලයෙහි ඉපිද එසේ කතා කරන්නට පුරුදු වී ඇති බව දුටු සේක.

භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා “මහණෙනි, ක්ෂීණාශ්‍රවයන්ගේ අනුන්ට රිදවන පරුෂ වචන කියන ස්වභාවයක් නැත. මගේ පුත්‍ර වූ ‘වච්ඡ’ නපුරු සිතක් නැති ව ම පෙර පුරුද්ද නිසා එසේ කතා කරන්නේ යැ”යි වදාළ සේක.

බුදුරජාණන් වහන්සේ වාසනාවත් සමඟ ම ක්ලේශයන් දුරු කොට ඇති නිසා කෙලෙසුන් කෙරෙන් ඉතා දුරු ව සිටින සේක. එය තථාගතයන් වහන්සේගේ ම ඇති ගුණ විශේෂයකි. නමුත් රහතන් වහන්සේ කෙලෙසුන් දුරු කළත් වාසනා ගුණය දුරු කරන්නේ නැත.