Print this Article


දුසිරිතෙන් සිත මුදවා ගන්න නිති සිහිනුවණ වඩන්න

දුසිරිතෙන් සිත මුදවා ගන්න නිති සිහිනුවණ වඩන්න

අප්පමාද යනු ප්‍රමාද නොවන යන අර්ථය ගෙන දෙන පදයක් වුව ද මෙහිදී පැහැදිලි වන්නේ සිහි නුවණින් කටයුතු කරන්න යන අර්ථය යි. සිහියෙන් කටයුතු කිරීම යන වචනය බුදු දහමේ බොහෝ තැන්වල දක්නට ලැබේ.

සිහිය යන්නට දී ඇති පාලි වචනය වන්නේ සති යන්න යි. සතිපට්ඨාන, ආනාපාන සති, සම්මා සති, සති බොජ්ඣංග, පංචේන්ද්‍රිය ධර්ම අතර ද සති යෙදේ. මේ ආදී බොහෝ තැන්වල සති යන වචනය යොදා ඇත්තේ ජීවිතයක භෞතික පැත්ත දියුණු කර ගැනීමට ද, ලෝකෝත්තර පැත්ත දියුණු කර ගැනීමට ද සෘජුව ම බලපාන සාධකය වන්නේ සිහිකල්පනාව වන බැවිනි. සිහියෙන් පසුවන්නන් සසර ජය ගැනීමට නිරන්තරයෙන් උත්සාහවත් වෙති.

නිතර සිහිනුවණින් කල් ගත කිරීම තුළින් සිත, කය, වචනය යන තිදොර අයහපතට, දුසිරිතට, නොයෙදීමටත් දන්, සිල්, භාවනා කිරීමටත් අනිවාර්යයෙන් ම පෙළඹෙනු ඇත. “අප්පමත්තාන මීයන්ති” නොපමා වූවෝ නොමියෙති. යනුවෙන් දේශනා කොට ඇත. එහිදී තේරුම් ගත යුත්තක් වන්නේ, සිහියෙන් යුතු වූවන් ද මියයන බව ය. නමුදු ඔවුන්ගේ සසර සීමිත ය. ඔවුන් එළඹ සිටි සිහිය වඩා ඉක්මනින් ම මාර්ගඵලාවබෝධය ලබා ගනිති.

මේ සඳහා කදිම උදාහරණයක් ලෙස සාමාවතී ඇතුළු කාන්තාවන් පන්සියයකගේ කතා පුවත ගත හැකි ය.

මාගන්ධිය උදේනි රජුගේ අග බිසවකි. සාමාවතිය ද උදේනි රජුගේ අගබිසවකි නමුදු මාගන්ධිය සාමාවතී කෙරෙහි වෛරයෙන් පසුවිය. බුදුරදුන්ගෙන් පළිගැනීමට බැරි තැන සාමාවතී ප්‍රමුඛ 500ක් සිටි මාලිගාවට ගිනි තබති. එයින් සියල්ලෝ ම දැවී පිච්චී අළු වී යති. එහෙත් එම ගින්නට හසුවෙන අවස්ථාවේ දී සාමාවතී අන් කාන්තාවන්ට ද උපදෙස් දෙන්නේ සිහිය පිහිටුවා ගෙන සතුරන්ටවත් වෛර නො කර මෛත්‍රිය වඩන ලෙසයි. එලෙස ම වේදනා පරිග්ගහන කම්මට්ඨානය ද වඩන ලෙස ය. එම අප්‍රමාදී ගුණය වර්ධනය කිරීම තුළින් එම සියලු දෙනා ම සතර මඟ හා පලවලට පත් වූහ. එසේනම් ඔවුන් මිය ගිය ද අප්‍රමාදී වූවන් ලෙස බුදු හිමි සැලකුවේ ඔවුන් සසර තව බොහෝ කල් ජාති, ජරා, ව්‍යාධි, මරණාදී දුක්වලට හසු නොවී සසර ජය ගත්තවුන් බැවිනි.

බොහෝ සත්ත්වයින් අප්‍රමාදී නොවෙති. එබැවින් දීර්ඝ වූ ගමනකට මැදි වී අප්‍රමාද දුක්වලට භාජනය වෙමින් මැරි මැරී උපදී. එම නිසාම බුදු හිමි දේශනා කරන්නේ, සියලු සංස්ඛාර ධර්මයෝ වහා නැසෙන බැවින් අප්‍රමාදී ව කුසල් දහම්හි යෙදෙන ලෙසයි.

“ධීරෝ” යන වචනයෙන් හඳුන්වන්නේ පණ්ඩිතයා නොහොත් නුවණැත්තා ය. නුවණැත්තා නිවන් ප්‍රත්‍යක්ෂ කරන බැවින් සසර දුකින් මිදේ. අප්‍රමාද වූවෝ එළඹ සිටි සිහියෙන් යුක්ත ව සසර ජය ගන්නා බැවින් ඒ ගැන සතුටු වෙති. ප්‍රමෝදයට පැමිණෙති. සාමාවතියගේ කතා පුවතින් ඒ බව මනාව පැහැදිලි වේ.

අප්‍රමාදී වූවෝ ඇලෙන්නේ, ගැටෙන්නේ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම සමඟ යි. සතර සතිපට්ඨාන, සතර සම්‍යක්ප්‍රධාන, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය ධර්ම, පංචබල ධර්ම, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන 37ක් වූ බෝධිපාක්ෂික ධර්ම කෙරෙහි නුවණැත්තෝ ඇලෙති. ගැටෙති. එය සසර ජය ගැනීමේ මාර්ගය යි. එම ධර්මතා ඔස්සේ ගමන් කිරීම තුළින් අප්‍රමාදී ගුණය වර්ධනය වේ. එළඹ සිටි සිහියෙන් යුක්ත ව එම ධර්මතා වර්ධනය කිරීම තුළින් සසර දිනීමට පුළුවන්කමක් ඇත.

අප්‍රමාදී වූවෝ එතැනින් නො නවතී. කසිණාදී අරමුණු නැවත නැවත සිතීම තුළින් නීවරණාදී කෙලෙස් ධර්ම දැවීමට උත්සාහවත් වෙති. එයින් අෂ්ඨ සමාපත්ති ලැබීමත්, ඒ හරහා විදර්ශනාවට යොමු වීමත් සිදු කරති. එම නිවන් පිණිස යන ගමනේ දී ඔවුන් ක්‍රියා කරන්නේ දැඩි අධිෂ්ඨානයකින් යුක්තව ය. එහිදී පියවරෙන් පියවර ඉදිරියට යෑමක් මිස ආපසු ඒමක් හෝ කඩා වැටීමක් හෝ සිදු නොවේ. සිරුරෙහි සිවියත්, නහරත්, ඇටත් ඉතිරි ව මස් හා ලේ වියළී ගියත් පුරුෂ වීර්යයෙන් නිවන කරා ඉදිරියට යාම අප්‍රමාදී වූවන්ගේ පිළිවෙතයි. එලෙස ම ඔවුන් නිවන ස්පර්ෂ කෙරෙති. අවබෝධ කෙරෙති. ඤාණ ඵුසන නම් වූ සතර මාර්ග ඤාණ ස්පර්ශසයත් ඵල ඵුසන නම් වූ සතර ඵල විපාකත් ලබති. කාම, භව, දිට්ඨි, අවිජ්ජා නම් වූ සතර ඹ්ඝයන් තරණය කරති. සත්වයාට සසර කතරෙන් එතෙර වීමට නොහැකි වී ඇත්තේ මෙම ඹ්ඝයන්ට හසුවී සිටින බැවිනි. එම ඹ්ඝයන් තුළින් සත්වයා සසර සයුරේ ගිල්වති. ජාති, ජරා, මරණාදී දුක් ද ගෙන දේ. එම ඹ්ඝ නැමති සැඩ පහරින් මිදීම අසීරු කාර්යයකි.

මෙම සතර ඕඝය නොහොත් සැඩ පහරින් මිදීමට නම්, අප්‍රමාදී ව ක්‍රියා කළ යුතු ව ඇත. එළඹ සිටි සිහියෙන් යුක්ත ව අද අද ම කුසල් කර ගැනීමටත්, නිවන් මඟට යොමු වී නිවන නැමැති කේෂ්ම භූමියට ළඟා වීමටත් උත්සාහවත් විය යුතු ය. සසර දීර්ඝ සේ ම බිය ජනක සුළු ය. ඒ බව තම තම ණැන පමණින් අවබෝධ කොට ගෙන සිහිය පිහිටුවා, නිවන ක්ෂාත් ක්ෂාත් කර ගැනීමට සියලු දෙනා ප්‍රඥා ඇස පහළ කර ගන්නට නිති වීර්යය වඩමු.