Print this Article


ඇසළ පෝදා වරුණ

ඇසළ පෝදා වරුණ

කාලය දීපය දේශය බැලුවා
මව්තුම සමඟින් කුලයත් බැලුවා
නිසි දහමක් ලොව නැති බව දුටුවා
බෝසත් මනුලොව වඩින්න සිතුවා

මහභාරතයේ නුවර කිඹුල්වත්
කපිලවස්තුපුර මහරජ තෙදවත්
සුද්ධෝදන වූ ශාක්‍ය කුලවත්
බිසවට වූවා මහමායා පුත්

ඇසළ පෝයදාවක මහමායා බිසවුන්
සැතපෙන කල දුටු සිහිනය මෙ ලෙසින්
සුදු නෙළුමක් ගෙන සුදු ඇත් පැටවෙක්
කුසට ඇතුළු වූවා දකුණු ඇලෙන්

සරණපාවාගෙන කුමරිය යශෝධරා
විඳිනා කල රජසැප සිදුහත් කුමරා
දැකලා සතර පෙර නිමිති ද සිත දරා
ඇසළ පෝයදාවක ගියෙ ගිහිගෙය හැරා

සොයා ගන්න යහමග බව දුක නිවන
ගමන යන්න සැරසුණ විට බෝසත් එදින
යශෝධරා දේවිය ලැබුවා පුත් රුවන
තැබුවා නමක් පුතුහට රාහුල ලෙසින

සිදුහත් තවුසාණන් ලැබ සම්බුදු පදවි
සය වසරක් එක්ව සිටි මිතුරන් සිහිවි
ඉසිපතනේ දි පස්වග තවුසන් හමුවී
ඇසළ පෝය දා දෙසුවා දම්සක් මුල්වී

දෙසූ දහම් ඇසුවා පස්වග මහණුන්
කොණ්ඩඤ්ඤය පළමුව වූවා සෝවාන්
ගෞතම මුනිඳුගෙ මංගල දෙසුමෙන්
ඇසළ පෝය දා සැනසුවෙ ලෝ සතුන්

සම්බුදු සසුනේ වස්කාලය එළඹෙන්නේ
දායකයින් වස් ඇරයුම් දෙන්නේ
මහසඟ රුවන වස් සමාදන් වන්නේ
ඇසළ පෝය දා පළමුව වෙන්නේ

ගෞතම බුදුහිමිගෙ වම් දළදාවත් රැගෙන
හේමමාලා සමඟින් කුමරා දන්ත
කිත්සිරිමෙවන් රජ සමයේ ලක් දෙරණ
ඇසළ පෝයදාවක ඇත මෙහි සපැමිණ