Print this Article


කීර්ති ප්‍රශංසා හමුවේ අවංක වෙන්න

කීර්ති ප්‍රශංසා හමුවේ අවංක වෙන්න

පෙර අනුරාධපුරය සශ්‍රීක ප්‍රදේශයක්. පොහොසත් මිනිසුන්ගෙන් ගහන නගරයක්. කොතරම් පොහොසත්ද කියනවා නම් මේ නගරයේ ධනකුවේරයෝ ජීවත් වුණේ දැසිදසුන් පිරිවරා ගෙන. සමහර ධනවතුන් පරම්පරා ගණනාවකට දාසකුල පවරාගෙන හිටියා. මේ නගරයේ ධනවත් පවුලකට දාසකම් කළා තරුණියක්. ඇගේ දෙමාපියනුත්, සහෝදර සහෝදරියනුත් සේවය කළේ මේ ධනවත් පවුලටම යි. පරම්පරා ගණනාවක් ඔවුන් සේවාකම් කළා.

දවසක් මේ ධනවත් පවුලේ වැඩට පැමිණි තරුණ දාසයකු සමඟ මැය රුහුණට පැන ගියා. දෙදෙනා දුක සේ අඹු- සැමියන් ලෙස සතුටින් ජීවත් වුණා. තරුණිය සොයා ගැනීමට උත්සාහ කළත් කාටවත් ම පුළුවන්කමක් ලැබුණේ නෑ. කාලය ක්‍රමයෙන් ගතව ගියා. රුහුණට පලා ගිය දාසියට පසු කල දරු සම්පතක් ලැබුණා. ඇයත්, සැමියාත් ඉතා ආදරයෙන් ඔහු ව ඇති දැඩි කළා. හැකි අයුරින් ශිල්පය ලබා දුන්නා. සිතුල්පව්ව වෙහෙරවැසි හා තිස්සමහාවෙහෙරවැසි මහතෙරවරුන් වෙතින් නිතර බණ අහන්න මේ දාසිය තම දරුවාත්, සැමියාත් සමඟ යාම නිතර පුරුද්දක් කර ගත්තා.

දරුවා ක්‍රමයෙන් සොළොස්වැනි වියට පැමිණියා. ධර්ම දේශනා කෙරෙහි පැහැදුණු මේ තරුණයා අතීත කුසල කර්ම විපාක දීමක් වශයෙන් පැවිදි වෙන්න කැමැත්ත ඇති වුණා. පැවිද්ද ලබා ගත්තා. තවදුරටත් ධර්මය අධ්‍යයනය කළා. විසිවයස් පිරුණු නිසා උපාධ්‍යායයන් වහන්සේගේ අවවාද අනුශාසනා යටතේ මහා සංඝයා වෙතින් උපසම්පදාවත් ලබා ගත්තා. තවදුරටත් ධර්මය අධ්‍යයනය කළා.

තරුණ භික්ෂුවට කුඩා කාලයේ ඉදලා සැකයක් තිබුණා

‘මගේ ආච්චි, සීයා වගේ ම නෑදෑයින් කොහේද කියලා හොයා ගන්න.

දවසක් තම මව හමුවෙලා අහනවා ‘අම්මේ, අපේ නෑදෑයින් කොහේද ඉන්නේ? අම්මේ ඔයාට සහෝදර සහෝදරියෝ නැද්ද?

යනාදි ලෙසින් ප්‍රශ්න කළා. පුතා දැන් විසිවයස් සම්පූර්ණ කළ උපසපන් පැවිදි භික්ෂුවක්. ඇත්ත

තත්ත්වය කියන්න ඕන හිතලා

‘පින්වත් ස්වාමිනි, මම අනුරාධපුර නගරයේ ධනවත් පවුලක දාසියක්. මගේ පරම්පරාව ම සේවාකම් කළේ ඒ ධනවත් පවුලට. ඔබගේ පියා සමඟ රහසින් පලා ඇවිත් තමයි මෙහේ ජීවත් වෙන්නේ.‘යි පිළිතුරු දුන්නා. ඒ කතාව අහනකොට ම තරුණ භික්ෂුවට තමන් ලැබූ උපසම්පදාව හා පැවිද්ද පිළිබඳ සංවේගයක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට පටහැනි ව දෙයක් සිදු වී ඇති බව වැටහුණා. වහාම මවගෙන් ඒ ධනවත් පවුල ගැනත්, මාර්ග තොරතුරුත්, දැනගෙන අනුරාධපුරයට වැඩම කළා. මවගේ ගමන් විස්තරය අනුව මව සේවාකම් කළ නිවස දොරකඩ ඉදිරිපිටට වැඩම කර නැවතී සිටියා. පවුලේ අය හිතුවා තව ටිකකින් ආපසු හැරිලා යයි කියලා. ඒත් පැයක්, පැය දෙකක් මේ ආදි වශයෙන් සවස් වෙනකම් ම දොරකඩ ඉදිරිපිටට වෙලා වැඩ සිටියා. ‘බැරිම තැන නිවැසියන් ඇවිත් කිව්වා

‘හිමියනි, වහාම දොරකඩ ඉදිරියෙන් ඉවත් වෙන්න‘කියලා. දෙතුන් විටක් ම කිව්වත් ඉවත් ව ගියේ නෑ. ගෙහිමියා බැහැරක් ගොස් නිවසට එනවිට බොහෝම රෑ වී තිබුණා. ඔහු නිවස ඉදිරිපිට සිටින තෙරුන් වහන්සේ අමතලා ‘ස්වාමිනි, කුමක් නිසා අපගේ නිවසට පැමිණියේ ද? කියලා ප්‍රශ්න කළා. ඒ අවස්ථාවේ දී තෙරුන් වහන්සේ කියනවා ‘පින්වත, මීට අවුරුදු විස්සකට පෙර ඔබලාට හිටියාද මෙ නම් දාසියක්? යැයි මවගේ නම හා හැඩරුව කියමින් විමසා සිටියා. ‘ඔව් ස්වාමිනි, හිටියා‘යි පිළිතුරු දුන්නා. ‘මම එම දාසියගේ පුත්‍රයෙක්, බුදුරදුන්ගේ අනුශාසනාව අනුව දාසියකගේ පුත්‍රයකුට පැවිද්ද ලැබිය හැකි වන්නේ ඇයගේ ස්වාමිවරු අවසර ලබා දුන්නොත් පමණයි. ඔබලා මගේත් ස්වාමිවරුන්. පැවිදිකම ආරක්ෂා කර ගැනීමට ඔබගේ අවසරය ප්‍රාර්ථනා කරමි‘යි ඉල්ලා සිටියා.

මේ කථාව අහගෙන හිටිය ගෙහිමියා බොහෝ ම සතුටට පත් වෙලා ‘ස්වාමිනි, ඔබ ගේ පැවිද්ද පිරිසුදුයි‘ඒ ගැන සැකයක් නො හිතන්න‘යි කියා මහා විහාරය වෙත වැඩම කරවා ගෙන ගිහින් මහා සංඝයාට හඳුන්වා දී එහි වැඩ සිටීමට අවස්ථාව සලසා සිව්පසයෙන් නිතර උපස්ථාන කළායි ද, ඒ ධනවත් පවුලේ උපස්ථාන ලබමින් රහත් බවට පැමිණියේ යැයි ද කථා පුවතක් සමන්තපාසාදිකාවේ මහාවග්ග වණ්ණනාවේ දාසක වත්ථුවේ සඳහන් වෙනවා. පින්වතුනි, තමන්ගේ සිතෙහි පිරිසුදුකම හෝ අපිරිසුදුකම ආරක්ෂා කර ගැනීම තමන්ට ම බාර වෙන බවත්, ධර්මයටත්, විනයටත් අවංකවීම ඉතා වැදගත් බවත් මේ කථා පුවත අපට පෙන්වා දෙනවා.

කිසිදු අවස්ථාවක මොන තනතුරු සම්මාන ලැබුණත්, ප්‍රතිලාභ ලැබුණත් වංචනික සිතින් ඒවා ඉවසා සිටීම පිරිහීමට හේතුවන බවත්, අවංක හා පිරිසුදු සිතිවිලිවලින් කටයුතු කිරීම කීර්ති, ප්‍රශංසා ලැබීමටත්, ගරු සම්මාන ලැබීමටත්, අන්‍යයන්ට ප්‍රියවීමටත් හේතු වන බවත් මේ කථා පුවත අපට හොඳින් කියා දෙනවා.