Print this Article


අත්හැරීමේ සිතිවිල්ලෙන් ම දෙන්න

අත්හැරීමේ සිතිවිල්ලෙන් ම දෙන්න

දීම යනු තමා සතු ව පවතින දෙයක් වෙනත් අයකුගේ ප්‍රයෝජනය පිණිස ලබා දීමයි. මෙහි ආකාර දෙකකි. එනම්, භාවිතය සඳහා පමණක් දීම සහ තබාගැනීම පිණිස දීම යි.

භාවිතය සඳහා පමණක් දීමේ දී, ලබා දෙන වස්තුවේ අයිතිය ලබා දෙන්නා සතුව ම පවතින අතර, එම වස්තුව ලබාගත් තැනැත්තා විසින් එම වස්තුව භාවිතයෙන් පසු අයිතිකරුට ලබාදිය යුතු ය. එනම්, තමා එම වස්තුව ලබා ගත්තේ කවරකුගෙන් ද, එය ඔහුට නැවත ලබාදිය යුතු ය. එසේ නැවත නොදුනහොත්, වස්තුව ලබාගත් තැනැත්තා සිදුකර තිබෙන්නේ සොරකමකි.

සරලව ම, ඔබ විසින් අන් අයකුගෙන් පෑනක් ඉල්ලා ගත්තේයැ’යි සිතමු. පෑන අයිති තැනැත්තා ද එය ඔබට ලබා දෙන්නේ එය නැවත ලබා ගැනීමේ අරමුණෙනි. ඔහු ඔබට පෑන ලබා දී ඇත්තේ ලිවීමෙන් පසු ඉක්මනින් නැවත භාරදීමට මිස ඔබ සතු ව තබා ගැනීමට නොවේ. එබැවින් පෑනෙහි අයිතිය එය ලබා දුන් තැනැත්තා සතු ව පවතී. නමුත්, ඔබ යම් උපක්‍රමයක් යොදා අනෙකාගේ පෑන ඔබ සතු ව තබා ගැනීමට කටයුතු කරන්නේ නම්, ඒකාන්තයෙන් ම එය සොරකමක් බවට පත්වේ. පෑනක් වැනි එතරම් වටිනාකමක් නොමැති වස්තුවක් සොරකම් කිරීමෙන් මහා පාපයක් සිදුවන්නේ දැ’යි ඔබ අසනු ඇත.

වෙනත් කෙනෙකුට අයිති දෙයක්, ඕනෑ ම දෙයක්, මලක්, කරපිංචා ගසක ඉත්තක් වුව ද, එම තැනැත්තා වෙත තබා ගෙන ඇත්තේ මහා ආසාවකිනි. දුප්පත් පොහොසත් භේදයකින් තොරව, ඕනෑ ම මිනිසකු සතු ගති ලක්ෂණයක් වන්නේ වස්තු තණ්හාවයි. වස්තු යනු පණ ඇති, පණ නැති දෙවර්ගයමයි. සියල්ල තිබීම වස්තු තණ්හාව නැති වීමට හේතුවක් නම් නොවේ.

“වස්තු තණ්හාව නැතිවීම” යන සිදුවීමක් පෘථග්ජන පුද්ගලයකුට නම් ඇති නොවේ. තණ්හාවේ ආදීනව විදර්ශනා නුවණින් විමසා බලන්නකුට නම් වස්තු තණ්හාව ක්‍රමයෙන් අවම වී යනු ඇත. තම පැවැත්මට අවශ්‍ය සියලුම දෑ සපයා ගෙන තිබෙන අයකුට වුව ද වස්තු තණ්හාව නැති නොවේ. එවන් මට්ටමකට පැමිණි පුද්ගලයකුගේ ඊළඟ පියවර වන්නේ තම සමාජ තත්ත්වය උසස් කර ගැනීමට අවශ්‍ය වස්තු සම්පාදනය කර ගැනීමයි. එහෙයින්, තමාට නොලැබුණූ දේවලටත් ආසා කරන මිනිසා, දැනටමත් තමා වෙත තබා ගෙන තිබෙන දෙයට මහත් ආසා කරති. ආරක්ෂා කරති. ඒවාට තමා අකැමැති දෙය කරන අයකු මරා දැමීමට පවා පෙළඹෙන්නේ ඉහත කී “තණ්හාව“ නිසා ය. සොරකම් කිරීමක දී අකුසලයක් සිදුවන්නේ ද මෙම තණ්හාව නිසා මිස වස්තුවේ වටිනාකම අනුව ම නොවේ. පෑනක් වැනි සුළු වටිනාකමක් ඇති දෙයක් සොරකම් කිරීමෙන් වුව ද සැලකිය යුතු පාපයක් සිදුවිය හැක්කේ එබැවිනි. මේ සියල්ලට ම වඩා, යමෙක් සතු සුළු දෙය වුව ද සොරකම් නොකරන්නැ’යි බුදු දහමෙහි උපදෙස් දෙනුයේ, එය සොරකම් කිරීමෙහි මුලාරම්භය විය හැකි බැවිනි. සුළු දෙයක් වුව ද සොරකම් කර ගත් තැනැත්තාට ඒ සම්බන්ධ ව යම් අවබෝධයක් ලැබෙන අතර, වඩාත් බරපතළ වර්ගයේ සොරකම් කිරීමට එය තල්ලුවක් සපයයි. එබැවින් කුමන හෝ අන්දමේ සොරකමක් මඟින් අකුසල ශක්තිය ඒකරාශි වන අතර, සුළු වූ සොරකමකින් වුව ද වැළකිය යුත්තේ එය සියලු සොරකම්වලට ආරම්භය ලබා දෙන බැවිනි.

කර්ම ශක්තියේ ක්‍රියාකාරීත්වය විමර්ශනය කරන බුදුරජාණන් වහන්සේ නමකට පෙනී යන්නේ පෙර ආත්මවල සොරකම් කළ පුද්ගලයින්ට අයහපත් විපාක විඳින්නට සිදු වී ඇති බවයි. එක් එක් සොරකමට අදාළව විපාක වෙන වෙන ම විස්තර කරනවාට වඩා, සියල්ල පොදුවේ කැටිකොට, සොරකමින් වළකින ලෙස උන්වහන්සේ අනු දැන වදාළේ එහෙයිනි.

සොරකම් කරන්නේ නම් තිබෙන තැනැත්තන්ගෙන් ගන්නැ’යි උන්වහන්සේ කිසිවිටෙකත් වදරා නැත. “තමාට අත්‍යවශ්‍ය යමක් අනුන්ගෙන් හොරකම් කර ගෙන හෝ ජීවිතය ආරක්ෂා කර ගැනීම උතුම් යැ’යි උන්වහන්සේ කිසිලෙසවත් වදාරා නැත. එසේ කියන්නේ කිසිදු ධර්මයක් පිළිනොපදින, ධර්මානුකූල පිළිවෙත් කරදරයක් යැ’යි සිතන පාපකාරී පුද්ගලයන් විසිනි.

තිබෙන අයට දීමටත්, නැති අයට නොදීමටත් උන්වහන්සේ වදාරා නැත. තිබෙන අයටත්, නැති අයටත් දෙපිරිසට ම පොදුවේ උපදෙස් දී ඇත්තේ තම ශක්ති ප්‍රමාණෙයන් දීමටයි. එසේ නම්, වස්තු සම්පත් මඳ අය යමක් දෙන්නේ කෙසේද? ස්වල්ප වශයෙනි. එක් වේලක් වුව ද කෑමට ඇති තැනැත්තාට තේ හැන්දක් ප්‍රමාණය තරම් ස්වල්ප වූ කොටසක් තම ආහාර වේලෙන් දිය හැක. මෙසේ ද සිතන්න.

“මා බොහෝ වෙහෙසී ලද මෙම ආහාර වේලෙන් දිය හැකි වන්නේ ඉතා සුළු කොටසක් පමණි. මෙම ස්වල්පය වුව ද මහා ආහාර වේලක් කොට ගන්නා සත්ත්වයෝ වෙති. එහෙයින්, ඇතිතාක් දෙනා පැමිණ මෙය අනුභව කර කුසගිනි නිවාගෙන සැනසෙත්වා”.

මේ ජීවිතයේ දී තමාට වස්තු මඳ වී ඇත්තේ පෙර ආත්මවල නොදුන් නිසා ය. ඔබ මෙම ජීවිතයේදීත් නොදුනහොත් තවත් නොලැබේ. නොලැබේ යැ’යි කියා තවත් නොදේ. තවත් නොලැබේ. ඉන්පසු සොරකම් කිරීමට පටන් ගනී. එවිට තවත් නොලැබී යයි. එනිසා, මෙම නොලැබීමේ චක්‍රය අද පටන් සිඳ දමන්න. ඔබ සතු ස්වල්ප වූ ද දෙය අන් අය සමඟ බෙදාහදා ගෙන ජීවත්වීමට පුරුදු වන්න.

“දීම” යන්නෙහි දෙවැනි ආකාරය වන්නේ තබා ගැනීම පිණිස දීමයි. එහිදී, වස්තුවක් අයිති ව අති තැනැත්තකු විසින් එම වස්තුව වෙනත් අයකුට පවරාදීම සිදුවේ. මෙය ද, සිය කැමැත්තෙන් ම දීම සහ අකැමැත්තෙන් දීම ලෙස නැවත ආකාර දෙකකි.

ඉන් පළමුවැන්න වන්නේ අයිතිකරුගේ කැමැත්ත නොමැති ව ඔහු ලවා ම ඔහු සතු වස්තුව අන් අයකුට ලබා දීමට බල කිරීමයි. වංචා කිරීමට පුහුණු වී ඇති සමාජයේ ඇතැම්හු අහිංසක පුද්ගලයින්, වැඩිහිටි මවුපියවරුන්, කාන්තාවන් රවටා හෝ ලජ්ජාවට පත්කර විශේෂයෙන් ඔවුන් ලවා වැඩිපුර මුදල් වියදම් කරවීම, හිඟ මුදල් ලබා නොදීම යනාදිය සිදු කරති. බලෙන් ඉල්ලීම, නීතිරීති සකසා ඒ මාර්ගයෙන් ලබා ගැනීම යනාදි සියල්ල සොරකමේ ම විවිධ ක්‍රම වේ. අයිතිකරුවන් විසින් අනෙකා ඉල්ලා සිටින දෙය දෙන්නේ කැමැත්තෙන් නොව නොදී බැරිකම නිසා ය. කෙසේ නමුත්, ඔබ එවැනි තැනැත්තකුට යමක් දුන් පසුව, එම වස්තුවේ අයිතිය අනෙකාට ලැබී ඇති බැවින්, දුන් දෙයට ඔවුන් කුමක් කර ඇත් ද? යන්න නොසෙවිය යුතු ය. ඉන් තම ද්වේශය උත්සන්නවීම හැර යහපතක් නම් සිදු නොවේ. ඔබත් මෙවැනි තත්ත්වයකට මුහුණදුන් පසු එම පුද්ගලයන් සමඟ ආශ්‍රය හැකිතාක් අඩු කර ගැනීමට වග බලා ගත යුතු ය.

දෙවැන්න වන්නේ අයිතිකරු විසින් තම කැමැත්ත ඇතිව ම තමා සතු දෙය වෙනත් කෙනකු වෙත ලබා දීම යි. එයිනුදු, ඇතැම්හු තමාට එතරම් ප්‍රයෝජනයක් නැති දෙය අනෙක් අයට ලබා දෙති. ඉවත දැමීමට වඩා ප්‍රයෝජනයක් ගන්නා කෙනකුට දිය යුතු යැ’යි සිතීම වුව ද ඉතා උතුම් ය.

බුද්ධ දේශනාවෙහි ඇතුළත් වන, සියලු බුදුරජාණන් වහන්සේ විසින් පසසනු ලබන, පාරමී ගුණධර්මයක් ද වන, ඉතා උතුම් වූ දාන වර්ගයක් ඇත. එනම්, තමාට ප්‍රයෝජනයට ගැනීමට තිබෙන දෙයින් කොටසක් හෝ සියල්ල හෝ වෙනත් අයකුගේ ද ප්‍රයෝජනය, යහපත, සිතෙහි සතුට පිණිස සිය කැමැත්තෙන් ම ලබාදීම යි. “දීමට දුෂ්කර දේ දීම” යනු ද මෙයයි.

දීමට දුෂ්කර වන්නේ තමා වඩාත් කැමැති දේ ය. එය වෙනත් කෙනකුට දීම තබා දීමට සිතීම ම සිතෙහි කනගාටුවක් උපදවයි. නිදසුනක් ලෙස ඔබ පූජ්‍යස්ථානයකට ගොස් නෙළුම් මල් කිහිපයක් මිලට ගත්තේ යැයි සිතමු. එම මල් ඔබ විසින් ම තෝරාගත් ඒවා ය. ඉතා පිළිවෙළට පෙති පිහිටා ඇත.

වර්ණය ද ඉතා අලංකාර ය. නැවුම් ය. සුවඳවත් ය. ඔබ මෙලෙස මල්වල ගුණ ගැන සිතන වාරයක් පාසා මල්වලට ඇලීමක්, ආසාවක් ඇති කර ගනී. එනම්, මල් වෙනත් කෙනකුට දීමට අකැමැති වේ. පූජාසනයේ තැබූ විට තවකෙකු එය මත වෙනත් මල් තබා ගියහොත් යැයි සිතා පූජාසනයේ තැබීමට ද අකැමැති වේ. ඔබ එතරම් ම මල්වලට ආදරයක් ඇති කර ගෙන ඇත. නමුත්, බුදුවදන සිහිකර, දීමට දුෂ්කර වූ දානයක් මමත් දියයුතු යැ’යි සිතා මල් කිහිපයක් තවත් බැතිමතුන්ට පරිත්‍යාග කිරීමට ඔබ සිතා ගනී. මල් නැති අයකු දැක “පූජා කිරීමට යමක් දිය යුතුයැ’යි සිතා මලක් දෙයි. මල් තිබෙන අයකු දැක “නෙළුම් මලකුත් දිය යුතුයැ”යි සිතා මලක් දෙයි. නෙළුම් මල් තිබෙන අයකු දැක “තවත් මලක් දියයුතුයැ”යි සිතා මලක් දෙයි. මෙලෙස අන් අයට ද මල් කිහිපයක් දී තමා ද මල් පූජා කරයි. මෙසේ දීමට වඩාත් කැමැති දෙය දීමෙන් භෞතික වස්තුනට ඇති තණ්හාව තුනී වී ගොස් නිර්වාණාවබෝධයට ද මහත් සේ උපකාරී වේ. නමුත්, තණ්හාව තුනීවීයාම හෙවත් නොඇලීම යනු තමා සතු වස්තූන් පිළිබඳ ව නොසලකාහැරීම නම් නොවන බව මතක තබා ගත යුතු ය.

එසේම, සිය කැමැත්තෙන් ම යමක් දීමේ දී අවබෝධයෙන් ම දිය යුතු ය. එනම්, එය ප්‍රතිග්‍රාහකයාගේ යම් ගුණයකට කරන උපහාරයක් හෝ පූජාවක් වශයෙන් හෝ දෙන්නේ ද, නැතහොත්, ප්‍රතිග්‍රාහකයාගේ පැවැත්මට කරන උපකාරයක් වශයෙන් දෙන්නේ ද යන්න තීරණය කර ගත යුතු ය.

මහා සංඝරත්නයට, එනම්, යම් සිල්වත් භික්ෂූන් වහන්සේ නමකට කොතරම් සිවුපසය තිබුණ ද, උන්වහන්සේට යමක් පුජා කිරීමට අප පෙළඹෙනුයේ උන්වහන්සේගේ උතුම් නිර්වාණගාමී ප්‍රතිපත්තියට කරන උපහාරයක් වශයෙනි. මෙකල ඇතැම් පවිටු ගිහියන් තමන් යටතේ සිටින සේවකයකු සේ, තමා දෙන දානෙ වේලට සරිලන පමණට හාමුදුරුවන් ද නොයෙක් වැඩ තමාට කර දිය යුතු යැ’යි ද සිතති. මෙවැනි ගිහියන් එතරම් සුලභ නොවන නමුත්, ඔවුන්ගේ පවිටු කරුණු ඇසීමෙන් ඔබත් එම තත්ත්වයට පත්විය හැක. මෙකල ද, බොහෝ භික්ෂූන් වහන්සේ බුදු වදන පිළිගෙන තම ශක්ති ප්‍රමාණයෙන් එම ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් වැඩ වෙසෙති. නමුත්, බුදුරදුන් කල සිටි දේවදත්ත ස්ථවිරයන් මෙන්, ලොව ඕනෑම කලක දී බුදුරදුන් උදෙසා පැවිදි වී ද, එම ප්‍රතිපත්ති පිළිපැදීමට අකැමැති භික්ෂු පිරිසක් බිහිවෙති. එබැවින්, යම් භික්ෂූන් වහන්සේ නමකගේ ප්‍රතිපත්තිය කෙරෙහි ඔබට ප්‍රසාදයක් නැති නම් කළ යුත්තේ කෝපයක් ඇති කර ගැනීම හෝ විවේචනය කිරිම නොව, උන්වහන්සේ ආශ්‍රය කිරීමෙන් වැළකී සිටීමයි. ඔබ මින්පසු භික්ෂූන් වහන්සේ නමකට සිව්පසය පූජා කිරීමේ දී, එය “උන්වහන්සේගේ ශාසන ප්‍රතිපදාව සිදුකර ගෙන යාමට උපකාරයක් වේවා” යන අරමුණ ඇතිව පුජා කරන්න. දානයක් පූජා කිරීමේ දී, “එම ආහාරයන්ගේ ගුණයෙන් උන්වහන්සේට නීරෝගිභාවය, ශක්තිය ලැබේවා”යන්න සිතමින් පූජා කරන්න. සිවුරු පූජා කිරීමේ දී” එයින් උන්වහන්සේගේ ශාසන ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීමට උපකාරයක් වේවා”යි සිතමින් පුජා කරන්න. එවිට, ඔබ, යම් අවබෝධයක් සහිත ව පූජාවක් සිදු කර ඇත. මෙම අවබෝධය කුසල ක්‍රියාවෙහි ශක්තිය වැඩිකිරීමට ද අනුබලයක් වේ.

යාචකයන් සහ වස්තු සම්පත් වුවමනා අය සොයා බලා, ඔවුනට අප විසින් අවශ්‍ය දෑ ලබා දෙන්නේ, ඔවුන්ගේ පැවැත්මට කරන උපකාරයක් වශයෙනි. එහිදී, ඔබ දුන් දෙය කැමති පරිදි පරිහරණය කිරීමේ අයිතිය ඔවුන් සතු වේ. ඔවුනට අවශ්‍ය නම්, ඔබ දුන් ඇඳුමක් ඉරා මුහුණ පිස දැමීමට තුවායක් සකසා ගත හැකි ය. එහෙයින්, මෙම කරුණ තේරුම් ගෙන දන්දීම ඉතා වැදගත් ය.

අනුග්‍රහයක් ලෙස යමක් දීමේ දී, ලබා ගත් තැනැත්තා කැමැති පරිදි පරිහරණය කර ගනිත්වා’යි සිතා දිය යුතු ය. ලබන්නා කෙසේ පරිහරණය කළ ද, ඉවත දැමුව ද, ඔබ සිත් රිදවා නොගන්නේ නම්, උපේක්ෂා සහගත වන්නේ නම්, ඔබට සිදුවන පිනෙහි කිසිදු අඩුවක් සිදු නොවේ. ලබන්නා වෙත වස්තුවක් දීමට අත දිගු කරනවාත් සමඟ ම දීමේ කුසලය ද අත් වන්නේ ඔබ වස්තුව කෙරෙහි ඇති ආසාව අතහැර වෙනත් කෙනකුට දියයුතු යැ’යි තීරණය කරගෙන ඇති බැවිනි. ඔහු විසින් දාන වස්තුව ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබුව ද, ඔබට දීමේ කුසලය ලැබී ඇත. බොහෝවිට අප නොදැනුවත් ව සිදුකරන වරදක් වන්නේ, දීමෙන් පසුත් දුන් දෙයට සිදුකර ඇත්තේ කුමක් ද යන්න විපරම් කර බැලීමයි. බොහෝ දෙන නොයෙක් දෑ දීමට ගොස් තමා බලාපොරොත්තු වු පරිදි පරිහරණය නොකරන්නේ යැ’යි කියා සිත් රිදවා ගන්නේ ද මෙම අවබෝධය නොමැති නිසා ය. ඔබ කළ යුත්තේ දීම ය. පින සිදුවන්නේ ලබන්නා එය පරිහරණය කරන ආකාරයක් අනුව නොවේ. “දීම” නිසා ය. වස්තුවෙහි අයිතිය වෙනත් කෙනකුට පවරා දීමට, පරිත්‍යාග කිරීමට කටයුතු කළ නිසා ය. ලබන්නාට වස්තුවක් දුන් පසු දාන ක්‍රියාව එතැනින් අවසන් කර දමන්න. ඔබ දී ඇත. අතහැර ඇත. කුසල ශක්තිය ද ඒකරාශී වී හමාර ය. එබැවින් “දෙනවා නම් දෙන්න” එසේ වුව ද, යමෙකු ඔබ ලබා දෙන බොහෝ ප්‍රයෝජනවත් වන යමක් නුසුදුසු ලෙස පරිහරණය කර, අනෙක් අයටත් පීඩාවක්, අලාභයක් ඇති කරාවියැ’යි අනුමාන කරන්නේ නම්, නොදී සිටීම සුදුසු ය. එසේම, අනුග්‍රහයක් වශයෙන් දීමේ දී නම්, සැබෑ අවශ්‍යතාව ඇති, ඔබ ලබා දෙන දෙය මැනවින් ප්‍රයෝජනයට ගන්නා කෙනෙකු සොයා බලා දීම වඩා යහපත් ය. කෙසේ වුවත්, ඔබ සතු දෙයින් කොටසක් අන් අයටත් දෙන්න. ලබන්නට නම් සැවොම කැමැති වෙති. සතුටින් පිළිගන්නා ඇති, නැති, ඔබ කැමති ඕනෑම අයකුට දෙන්න. එම කුසලය ඔබට නිවන් දකිනා තෙක් සසර ගමනෙහි අඩුවක් නැති ව, සහනයෙන් ජීවත්වීමට උපකාර කරනු ඇත.