Print this Article


ජීවිතයට සැප සලසන පුණ්‍ය සිතිවිලි මඟහැර ගන්න එපා

ජීවිතයට සැප සලසන පුණ්‍ය සිතිවිලි මඟහැර ගන්න එපා

අතීතයේ අපේ රට පාලනය කළා ධාර්මික ම රජ කෙනෙක්. ඒ අපේ සද්ධාතිස්ස රජතුමා. එතුමා හරිම ශ්‍රද්ධා සම්පන්න යි. අනුරාධපුරයේ රජකම් කළ දුටුගැමුණු මහ රජතුමාගේ එකම සහෝදරයා යි.

දුටුගැමුණු රජතුමාගේ මරණයෙන් පස්සේ රජකමට පත් වුණේත් පින්වන්ත රජතුමා. රජකම් කළේ තමන්ගේ උපන් ගම්පළාත වූ රුහුණු රටටත්, දීඝවාපියටත් ලොකු අවධානයක් දෙමින්. වැඩියෙන් ම කැමැත්තක් තිබුණේ ගොවිතැන් වැඩවලට. ඒ වගේ ම කෘෂිකර්මාන්තය නඟාසිටුවන්න කටයුතු කළා.

මේ කාලයේ රටේ ජනතාවත් හරිම ධාර්මික යි. පංචසීල ප්‍රතිපදාව ආරක්ෂා කරනවා, දන් දෙනවා, අනුන්ට උදව් කරනවා. මේ කාලයේ එක් නිවසක විවාහක යුවළකට දරුවන් හත් දෙනෙක් කලින් කල ලැබුණා. එක දියණියක් ලැබුණා. ඇයට නම් තැබුවා චුල්ලසුමනා කියලා. ඔවුන් ගොවිතැන් කරලා ජීවත් වුණා. පසු කාලයක මේ දෙන්නා පිරිමි දරුවන් හත් දෙනා විවාහ කර දුන්නා. තමන්ගේ දියණිය විවාහ කර දෙන්න තරම් ආයුෂයක් වින්දේ නෑ. හදිසියේ ම මරණයට පත් වූ නිසා සහෝදරියගේ වගකීම සහෝදරවරු හත් දෙනාට ම පැවරුණා. ඒ අයත් දෙමාපියන්ගේ ආදර කරුණාව යටතේ හැදුණු නිසා තමන්ගේ නංගීට පුළුවන් හැම ආකාරයට ම උදව් කළා. සුව සේ ජීවත් වෙන්න පුළුවන් ආකාරයට පහසුව දුන්නා. මේ අය ජීවත් වෙන්න කළේ එදිනෙදා කුලී වැඩ. ඒ වගේම කැලෑ පලතුරු ආදිය විකුණලාත්, ඒවා පරිභෝජනය කරලාත් ජීවත් වුණා.

දිනක් වැඩ කරන්න ගිය තැනකින් සහෝදරවරුන්ට ලැබුණා අනර්ඝ තත්ත්වයේ සියුම් වස්ත්‍රයක්. මේ අය කල්පනා කරනවා. කාගේ බිරිඳට ද මේක ගැළපෙන්නේ කියලා. ඒ හත් දෙනාගෙන් බාලම තැනැත්තා කිව්වා අපේ වැඩිහිටියා ලොකු අයියා, අපට හැම දෙයක දී ම පිහිට වෙන්නේ ඔහු. ඒ නිසා අපි හැමෝම මේක ලොකු අය්යාට දෙමු යි‘ කියලා.

එතකොට වැඩිහිටියා වූ ලොකු සහෝදරයා කියනවා ‘නෑ අපි වැඩිහිටියෝ අපි සලකන්න ඕන බාල අයට. ඒ නිසා මේ වස්ත්‍රය බාල මල්ලිට දෙමු‘යි කියලා.

එවිට අනෙක් සහෝදරවරුන් යෝජනා කරනවා ‘දැන් මෙතැන තියෙන්නේ එක් අයකුට විතර සෑහෙන රෙදිකඩක්. ඒ නිසා අපේ එකම නංගීට මේ රෙදිකඩ දෙමු. එහෙම හොදයි නේද?‘යි යෝජනා කළා. එතකොට තවත් සහෝදරයෙක් කියනවා ‘ඔව්, ඒක තමයි මෙතැනට හොඳම පිළිතුර. අපේ නංගී අඳින්නේ කොළ ගස් සුඹුලුවලින් කරපු ඇඳුමක්. ඒක ඒ ශරීරයට බොහොම කටුකයි. පහසුවක් ඇත්තේ ම නෑ. අපේ නංගීටම තමයි මේක ගැළපෙන්නේයි, ‘එක් අයෙක් කියා සිටියා.

අනෙක් සහෝදරයනුත් විවිධ යෝජනා කළා. අවසානයේ වැඩ බිමේ දී ම සහෝදරියට වස්ත්‍රය දෙන්න තීරණය කර ගෙන ගෙදර ගිහින් නංගීට සියුම් වස්ත්‍රකඩ දුන්නා. සහෝදරියත් පුදුම ආශාවකින්, කැමැත්තකින් ඒ වස්ත්‍රය ගෙන තමන්ගේ සහෝදරවරුන්ට ස්තූති කළා. සතුට පළ කළා. පසු දින පටන් ම වස්ත්‍රය ඇඟලා ගත්තා. විටින් විට මේ නිවසට පිණ්ඩපාතයේ වැඩම කරනවා අරණ්‍යවාසි තෙරනමක්. උන්වහන්සේගේ සිවුර බොහෝම දිරාපත් වෙලා. හැම තැනින් ම ඉරී ගිහින්. සිවුරේ හැමතැනම මහලා. බොහෝම දුහුල්. දැඩි සීතලට ඔරොත්තු දෙන්නේ නැති තරම්. ඒ නිසා ඇය කල්පනා කළා ඇඳළ ඉවත දමපු තමන්ගේ පරණ රුක් සුඹුල් ඇදුම චීවරයක් කර ගන්න කියලා පූජා කරන්න.

දවසක් පිණ්ඩපාතයේ වැම කළ අවස්ථාවක, තෙරුන් වහන්සේට පිණ්ඩපාතය පූජා කර නමස්කාර කර ‘ස්වාමිනි, ඔබ වහන්සේගේ සිවුර බොහෝම දිරාපත් වෙලා. මගේ ළඟ තියෙනවා සීතලට ඔරොත්තු දෙන වස්ත්‍රයක්. එය මට පූජා කර ගන්න ඕන‘යි කියා සිටියා.

තෙරුන් වහන්සේත් කිසිත් නො කියා ඉවසමින් වැඩ සිටියා. තරුණිය තමන් පෙර අඳින ලද රුක් සුඹුල් වස්ත්‍රය ගෙන ඇවිත් පූජා කරන්න හදන කොට ම ඒක දැක්ක තෙරුන් වහන්සේ ‘පින්වතිය, මේ රුක් සුඹුල්වලින් කළ වස්ත්‍ර පරිහරණයට භික්ෂූන්ට අවසර නෑ. බුදුරජාණන් වහන්සේ විසින් විනය ශික්ෂා පදයකින් ම ඒවා තහනම් කර තිබෙනවා‘යි කියා සිටියා.

තරුණිය බොහෝම දුකට පත් වුණා. ඇයට අවශ්‍ය කොහොම හරි සියුම් අලුත් වස්ත්‍රය තෙරුන් වහන්සේට පූජා කර ගන්න. ‘ඒත් සහෝදරවරුන් ඉතාම ආශාවෙන් හා කැමැත්තෙන් ඒ අයගේ බිරින්ඳෑවරුන්ටත් නොදී මට දුන්නේ මා පරිහරණය කරනවා බලන්න. වස්ත්‍රය පූජා කළොත් මට ගෙදර ඉන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. දොස් කියයි’යි කියලා හිතුවා.

තවත් කල්පනා කළා. අවසානයේ දී තීරණය කළා. වස්ත්‍රය පූජා කරලා ගෙදරින් යන්න. ඇය ඉතාම ශ්‍රද්ධාවෙන් පරණ රුක් සුඹුල් වස්ත්‍රය ඇඳගෙන අලුත් සියුම් වස්ත්‍රය තෙරුන්ට පූජා කළා. ‘වැඩ බිමට ගිය සහෝදරවරු සවස ඇවිත් මට තර්ජනය කර බැන වදියි‘ හිතා සහෝදරයන්ගේ බිරින්දෑවරුන්ට කියලා පැල්පතින් නික්මිලා අසල කැලෑවට ගියා.

සහෝදරයන් ඇවිත් චුල්ලසුමනා කොහේ ගියේ දැයි අසා සිදුවූ සියල්ල දැනගෙන රාත්‍රිය තවත් අඳුරු වෙන්න පෙර කැලෑවට ගිහින් කතා කරගෙන නැවතත් ගෙදර ගෙන්වාගෙන ආවා. ඇය සහෝදරවරුන් හත් දෙනා ඉදිරියේ තබා ගෙන වැඩිහිටි සහෝදරයා මෙහෙම කියන්න පටන් ගත්තා. ‘චුල්ලසුමනා, ඔබ බය වෙන්න එපා. අපි ඔබට තර්ජනය කරන්නේ නෑ. බනින්නේත් නෑ. ඔයා කර තියෙන්නේ බොහෝම හොඳ, වටිනා පින්කමක්. අප හත් දෙනාත් ඔය පින්කම කරන්න කතා කළා.

ඒත් ඔයා රුක් සුඹුල් සහිත කටුක වස්ත්‍රය පළඳින නිසාත්, ඔයාට තිබෙන සහෝදර සෙනෙහස නිසාත් තමා සංඝයාට පූජා නො කළේ. අපේ භාර්යාවන්ට නො දුන්නේ. ඔබට දුන් දෙයක් ඔබට කැමැති සේ පරිහරණය හෝ දන් දීම හෝ කරන්න පුළුවන්.

අපට බැරිවුණු කාර්යය ඔබ සිදු කළා. මේ පින්කමේ විපාක අප සියලු දෙනාට ම ලැබෙනවා. ඒ නිසා අප සතුටට පත් වෙන්න ඕන’යි සහෝදරියගේ පින්කම අනුමත කරමින් ඇයට ප්‍රශංසා කළා.

එදා රාත්‍රියත් වෙනදා වගේම හැමෝම නින්දට ගියා. චුල්ලසුමනාවගේ පින්කමට පැහැදුණු වනගත රුක් දේවතාවෙක් පසුම්බියක වස්ත්‍රයක් ඇය නිදන ලෑලි තට්ටුවේ හිසට ඉහළින් තබා යන්න ගියා. උදේ චුල්ලසුමනා අවදි වී බලන කොට දුටුවා පසුම්බියක්. ඇය බියට පත් වෙලා සහෝදරවරුන්ට පෙන්නුවා. ඔවුන් එය ගෙන විවෘත කර බලන විට දුටුවා එහි වස්ත්‍රයක් තිබෙනවා. ඒක එළියට ගත්තා. ඒත් ගන්නවා ගන්නවා ඉවර වෙන්නේ ම නෑ. පසු ව දැන ගත්තා කළ පින්කමේ විපාකයක් ලෙස දෙවියන් විසින් ලබා දෙන්නට ඇති බව.

චුල්ලසුමනාත්, බිරින්දෑවරුන් හත් දෙනාත්, සහෝදරයන් හත්දෙනාත් ලස්සන ඇඳුම් සකස් කර ගත්තා. අසල්වැසියන්ට, දුගීන්ට, මහා සංඝයාට වස්ත්‍ර පරිත්‍යාග කළා; පූජා කළා. මේ රාවය රට පුරා පැතිරෙන්න පටන් ගත්තා. සද්ධාතිස්ස රජතුමාටත් ආරංචි වුණා.

රජතුමා බොහෝම සතුටට පත් වෙලා චුල්ලසුමනාටත්, සහෝදරයන්ටත් රජමාළිගයට එන්න පණිවිඩ යවලා ගෙන්වා ගත්තා. ඔවුන්ගෙන් සියලු පුවත් අසා පැහැදීමට පත් වුණා. චුල්ලසුමනාගේ පිරිසුදු චේතනාවට, ශ්‍රද්ධාවට පැහැදුණු රජතුමා ඇය පාදපරිචාරිකාව කර ගත්තා.

සහෝදරයන් හත් දෙනා පසු කල පැවිදි බව ලැබුවා. චුල්ලසුමනා වස්ත්‍ර දන් දෙමින් පින්කම් කළා. මහාසෑය දිව්‍ය වස්ත්‍රවලින් සැරසුවා. දිව්‍ය වස්ත්‍රවලින් කළ කොඩි නැංවූවා. ධර්මය ශ්‍රවණය කර සෝවාන් ඵලයෙහි පිහිටා දෙවියන්ගේ ආරාධනාවෙන් දිව්‍ය රථයකට නැඟී දෙව්ලොව ගොස් සැපවත් දිව්‍ය ආත්ම භාවයක් ලැබුවා‘යි කථා පුවතක් සීහළවත්ථුවේ සඳහන් වෙනවා.

පින්වතුනි, කොපමණ දුප්පත් වුවත්, කො පමණ ලැබීම් තිබුණත්, තමන් ආසම දෙයක් වුණත් පින් කිරීමට අවස්ථාව සැලසුණු සැණින් දන් දී පින්කම් කර ගන්න. ශ්‍රද්ධා සිත, පිරිසිදු චේතනා ඇති කර ගන්න. එය ඔබගේ ජීවිතයේ සමෘද්ධිය සලසන්නක් ම බවට පත් වෙනවා. ඒ බව අපට මේ කථා පුවත හොඳම නිදර්ශනයක් වෙනවා.