චර්යාමය වෙනසකට පින්සිතින් පෙළ ගැසෙමු
ශාස්ත්‍රපති
ගලගෙදර රතනවංස හිමි
වසරකට වතාවක් එළඹෙන මෙම පින්බර වස් සමය අප කාටත් පින් සිතුවිලි වඩවන කාල
පරිච්ඡේදයක් ලෙස හැඳීන්විය හැකි ය. තෙමසක් තුළ පවතින එම කාල පරිච්ඡේදය තුළ ගිහි
පැවිදි දෙපක්ෂයේ ම චර්යාමය වෙනසක් ඇති කරවනවා සේ ම ආධ්‍යාත්මික සුවය ද වඩවනු ඇත.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවවාද අනුශාසනාවලට අනුව භික්ෂූන් වහන්සේ විනය ශික්ෂාපද
ආරක්ෂා කරමින් වස් සමාදන් වීම හා වස් ශික්ෂාපද ක්‍රියාත්මක කිරීමේ කටයුතු සිද්ධ
කරනු ඇත. විශේෂයෙන් මේ කාලය තුළ වත් පිළිවෙත් පිළිබඳ ගිහි පැවැති දෙපක්ෂයේ ම දැඩි
අවධානයක් යොමු වේ.”වත්තං න පරි පූරෙන්තො - න සීලං පරි පූරති” වත්පිළිවෙත් සම්පූර්ණ
නොකිරීම තුළින් සීලය පූර්ණය නොවන බව එයින් පැහැදිලි වේ.
ඒ අනුව බැලීමේ දී පැවිදි පක්ෂය වෙනදාට වඩා වත්පිළිවෙත් සම්පූර්ණ කිරීමක් සිදු කරනු
ඇත.
පාන්දරින් අවදි වී මලු පෙත් මං හැමද මුළු දවස ම සිත, කය, වචනය සංවර කොට ගෙන ඒ ඒ
කාර්යයන් තුළ නියැළෙනු ඇත. එම වත් පිළිවෙත් සිදු කරන්නේ ද ඉතා ඕනෑකමින් හා වගකීමෙන්
ය. බෝධිය, චෛත්‍යය හා විහාරගෙය යන ත්‍රිවිධ චෛත්‍යය වෙත වැඳීම් පිදීම් හා පිරිසිදු
කිරීම් කටයුතු සිද්ධ කිරීම් ඉතා ඉහළින් සිදු වනු ඇත. එතුළින් මානසික සුවය ද,
නිරවුල් චෛතසික වර්ධනය ද සිදුවීම අනිවාර්යයෙන් සිදුවන්නකි.
ගිහි පිරිස විසින් පැවදි පක්ෂය උදෙසා චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන
සිව්පසයෙන් උපස්ථාන කිරීමේ කටයුතු සිද්ධ කරනු ඇත. වෙනදාට වඩා ඉතා ඕනෑකමින් හා
ශ්‍රද්ධා ගෞරවයෙන් එම කටයුතු සිදුකිරීමට දායක පක්ෂය ද වග බලා ගනු ඇත. පැවිදි පක්ෂය
විසින් ද වෙනදාට වඩා වස් කාලය තුළ වැඩි සැලකිල්ලකින් ඔවුන් සදහා ධර්ම දානයෙන්
සංග්‍රහ කිරීමට වග බලා ගනු ඇත.
සමහර විහාරස්ථානවල නොකඩවා ම සවස් කාලය තුළ මල් පහන් පූජා, බෝධි පූජා සිදු කරති.
එහිදී පුංචි ළමා ලපටින් කලින් ම විහාරස්ථානය වෙත පැමිණ කොසු ඉදල් ගෙන පිරිසුදු
කිරීම් කරන අයුරු දක්නට ලැබේ. එය වැඩිමහල්ලන්ට සතුට වඩවන්නකි. ආගම ධර්මයට අනුව
හැදෙන වැඩෙන දුව, දරුවන්ගේ සැබෑ ස්වභාවය වස් කාලය තුළින් මනාව දක්නට ලැබේ.
විශේෂයෙන් අනාගතය බාර ගැනීමට සිටින කුඩා දූදරුවන් සඳහා වස් කාලයෙන් ලැබෙන චර්යාමය
වෙනස ඉතා විශාල ය.
පින යනු සිත පිනා යෑමයි. ”චිත්තං පුණාතීති පුඤ්ඤං” සිතේ ප්‍රසන්න බව නොහොත් සතුට
පිනයි. ඒ සඳහා සිත පිරිසිදු විය යුතු ය. එනම් ත්‍රිවිධ අකුසල මූල වූ ලෝභ, ද්වේෂ,
මෝහ වෙනුවට ත්‍රිවිධ කුසල මූල වන අලෝභ, අදෝෂ, අමෝහ සිතිවිලි පහළ වීම ය. එම
විපර්යාශය වස් කාලය තුළ අනිවාර්යයෙන් ම සිදුවන්නකි. පින් සිතිවිලි වර්ධනය කර ගැනීමට
හොඳ දේ කිරීම විනා අනර්ථ දෙයකින් පුළුවන්කමක් නැත. පින්කම් අතර කඨින පින්කම
ශ්‍රේෂ්ඨ හා බලවත් බව දහමෙහි සඳහන් වේ. එම උතුම් උදාර පින්කම පෙරමුණෙහි තබා ගෙන වස්
තුන් මාසය තුළ සිදු කරන යහපත් ක්‍රියා තුළින් පින් සිතිවිලි වර්ධනය වීම ම හේතුවන බව
අමුතුවෙන් කිව යුතු නැත.
වස් කාලය තුළ සමහර විහාරස්ථානවල දායකත්වයක් නොදරන අය පවා විහාරස්ථානයට පැමිණි විවිධ
වැඩකටයුතුවල නිරත වන අයුරු දක්නට ලැබේ. තව කෙනෙකුගේ මඟ පෙන්වීමක් නොමැතව ම හොඳ
කුසල් දහම්හි යෙදීමට පෙළඹීම වස් කාලය තුළ දක්නට ලැබෙන සුලභ සිදුවීමකි.
බොහෝ දුරට විහාරස්ථානවල නඩත්තු කටයුතු හා අභිවෘද්ධික කටයුතු සඳහා දායකයින්ගෙත් ආධාර
උපකාර ලැබීම ද එම කාලය තුළ හොඳීන් සිදුවේ. පන්සල් අලුත් වැඩියා කිරීම්, පන්සලේ
සංවර්ධන කටයුතු හා ඉදිකිරීම්, පන්සලේ අඩුපාඩු සම්පූර්ණ කිරීම්, කඨින චීවරය භාරගත්
පින්වතා හෝ පින්වතිය විසින් වියදම් කොට සිදු කරති. දුෂ්කර ප්‍රදේශවල නම් සියලු
දායකයින් පුංචිවට හෝ ආධාර මුදල් එකතු කොට විහාරස්ථානයේ අලුත්වැඩියා කිරීම් හෝ
ඉදිකිරීම් කටයුතු සිදු කරති.
ආමිස පූජා හා ප්‍රතිපත්ති පූජා යන පින්කම් දෙක ම වස් කාලය තුළ ඉතා හොඳින් සිදු වේ.
එලෙස ම දාන, ශීල, භාවනා දී ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ද ඊට සමගාමී ව සිදු වේ. තවද
තෙලෙස් ධුතාංග ප්‍රගුණ කිරීම් පිළිබඳව ද විහාරස්ථ භික්ෂූන් වහන්සේ වැඩි සැලකිල්ලක්
දක්වනු ඇත.
මේ සෑම දේකින් ම සිදුවන්නේ පින් සිතිවිලි වර්ධනය වීම ය. පින යනු සත්වයාගේ මෙලොව
පරලොව සැපවත් කරවන ශක්තියකි.
”ඉධ මෝධති පෙච්ච මෝධති”
පින් කළ ඇත්තෝ මෙලොවත් සතුටු වෙති. පරලොවත් සතුටු වෙති. එබැවින් අප නිතර නිතර පින්
කළ යුතු ය. පින නොමැති වීමෙන් හෝ අඩුවීමෙන් හෝ ජීවිතවල නොයෙක් අඩුපාඩුකම් වගේ ම සැප
විපාකවල විෂමතා ද සිදු වනු ඇත. එනිසා පින් කිරීමට කම්මැලි විය යුතු හෝ පසුබට විය
යුතු නැත.
“අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙස ද සෙට මරු නේති සිතන්නේ”
යන ලෝ වැඩ සඟරාවෙහි කියමනට අනුව ද අද අද ම පින් කර ගත යුතු බව සඳහන් වේ. හෙට,
අනිද්දා තව කාලෙකින් මාරයා ඒවිය කියා නොසිතිය යුතු ය. හොඳ දේ කිරීමට උනන්දු විය
යුතු අතර ම නරක දේ කිරීමට ලජ්ජා බිය ඇති කර ගත යුතු ය. එම කරුණු සිතට ගෙන තව තවත්
පින් සිතිවිලි වර්ධනය කර ගනිමින් මනුෂ්‍යත්වය අර්ථවත් කර ගැනීමටත්, ගුණධර්ම වර්ධනය
කර ගැනීමටත් වස් කාලය තුළ සැවොම සිතට ගැනීම වැදගත් වේ.
බුදුරදුන් දේශනා කළ සමාජ සංස්ථාවන්හි සුවිශේෂී දෙඅංශයක් ලෙස ගිහි පැවිදි දෙපක්ෂය
හැඳීන්වීමට පුළුවන. උදා වී ඇති වස් කාලය තුළ හොඳීන් තහවුරු වන එම දෙපක්ෂයේ සබඳතාව
පිළිබඳ සාකච්ඡා කිරීම ඉතා වැදගත් යැයි සිතමි.
බුදුපියාණන් වහන්සේ කොටස් කළ ආකාරයට සමාජයේ ප්‍රධාන කොටස් දෙක වන්නේ ගිහි පැවිදි
දෙපිරිසයි. පැවිදි පක්ෂය භික්ෂු භික්ෂුණී වශයෙන් ද, ගිහි පක්ෂය උපාසක, උපාසිකා
වශයෙන් ද කොටස් කර ඇත. දි:නි: සිඟාලෝවාද සූත්‍රය තුළින් සමාජ සබඳතා දැක්වීමේ දී
ගිහි පැවිදි සබඳතාව පිළිබඳ මනාව කරුණු ඉදිරිපත් කොට ඇත.
එම සූත්‍රයට අනුව මුළු සමාජ පද්ධතිය ම කොටස් හයකට බෙදා ඇති අතර, ඒවා ආර්ය විනයෙහි
සදිසා යනුවෙන් නම් කොට ඇත. එයින් හයවෙනි ස්ථානයට ගැනෙන්නේ ”උද්ධං සමන
බ්‍රාහ්මණා”යන්නයි. එනම් උඩ දිශාව මහණ බමුණන් යන්නයි. ගිහි පැවිදි දෙපක්ෂය හා
ඔවුන්ට පැවරී ඇති කාර්යයන් පිළිබඳ ඒ තුළින් විග්‍රහ වේ.
ඒ අතර පළමුව ගිහියන්ගේ යුතුකම් දක්වා ඇති අතර, ඔවුන් විසින් කරුණු පහකින් පැවිද්දන්
උදෙසා සැලකිය යුතු ආකාරය වැඩිදුරටත් පෙන්වා දී ඇත. එනම්,
මෙත්තේන කාය කම්මේන - මෛත්‍රී සහගත කාය කර්මයෙන්, මෙත්තේන වචී කම්මේන - මෛත්‍රී
සහගත වචීකර්මයෙන්,
මෙත්තේන මනෝ කම්මේන - මෛත්‍රී සහගත මනෝ කර්මයෙන්, අනාවරද්වාරතාය - නොවසන ලද දොරටු
ඇති ව පිළිගැනීමෙන්, ආමිසානුප්පදානේන - ආමිස දානයෙන් සංග්‍රහ කිරීමෙන්.
චීවර, පිණ්ඩපාත, සේනාසන ගිලන්පස යන සිව්පසයෙන් ගිහියන් පැවිද්දන්ට සංග්‍රහ කරන්නේ
කිසිදු පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නොවේ. එසේ නම් ඔවුන් බලාපොරොත්තු
වන්නේ කුමක්ද ? ඒ බව සද්ධර්මාලංකාරයේ සදහන් මෙම ගාථාවන් තුළින් අර්ථවත් වේ.
ගිහීන මුප කරොන්තානං
නිච්ජ මාමිස දානතො
කරෝථ ධම්ම දානේත
තේසං පච්චුප කාරකං
ගිහි පක්ෂය පැවිද්දන් උදෙසා ආමිස දානයෙන් උපකාර කරන කල්හි ඔවුන් උදෙසා ධර්ම දානයෙන්
සංග්‍රහ කිරීම භික්ෂු පක්ෂයේ වගකීම බව බුදුන් වහන්සේ අනුදැන වදාළහ. ඒ අනුව සිව්
පසයෙන් උපස්ථාන කරන ගිහි පින්වතුන්ට භික්ෂූන්ගෙන් ඉටුවිය යුතු කරුණු මොනවාද යන්න
සිඟාලෝවාද සූත්‍රය තුළින් දේශනා කොට ඇත. එනම්, පාපා නිවාරෙන්ති (පවින් වැළැක්වීම),
කල්‍යාණේ නිවේසෙන්ති (සුචරිතයෙහි යෙදවීම), කල්‍යාණේන මනසා අනුකම්පන්ති (යහපත්
සිතින් අනුකම්පා කිරීම), අස්සුතං සාවෙන්ති (නොඇසූ ධර්මය ඇසීමට සැලැස්වීම),සුතං
පරියෝදපෙන්ති (ඇසූ ධර්මය පිරිසිදු කිරීම),සග්ගස්ස මග්ගං ආචික්ඛන්ති (ස්වර්ග මාර්ගය
කියාදීමෙනි.
ඉහතින් දක්වන ලද කරුණුවලට අනුව පැවිද්දන් විසින් ගිහියන් උදෙසා සංග්‍රහ කළ යුතු බව
පැහැදිලි වේ. ගිහි පැවිදි දෙඅංශයට ම පැවරී ඇති කරුණු ඉටුවීම තුළින් ගිහි පැවිදි
සබඳතාව ශක්තිමත් වීමත්, ඒ තුළින් සමාජ ප්‍රගමනයත් සිදුවනු ඇත.
වර්තමානය තුළ බොහෝ දුරට ගිහි පැවිදි සබඳතාව බිඳ වැටීමක් දක්නට ලැබේ. එයට හේතුව වී
ඇත්තේ ගිහියන්ට පැවරෙන වැඩකටයුතු පැවිද්දන් කිරීමත්, පැවිද්දන්ට පැවරෙන වැඩ කටයුතු
ගිහියන් කිරීමත් හේතුවෙනි. එයින් සිදුවන්නේ ගිහි පැවිදි අන්‍යොන්‍ය සබඳතාව
බිඳවැටීමයි. ඒ අනුව තමන්ට අයිති කාර්යයන් දැන හඳුනාගෙන ඉටු කළ යුතු බව සිතට ගත යුතු
ය.
දෙපක්ෂයේ අවසාන අරමුණ වන්නේ නිවන් දැකීම ය. ඒ අනුව පැවිද්දාගේ ගමන හංසයාටත්,
ගිහියාගේ ගමන මොණරාටත් උපමා කොට ඇත. ඒ උපමා දෙක තුළ ගැඹුරු අර්ථයක් නිරූපණය වේ.
නමුදු ලෝකයේ සිදුවන විවිධ ක්‍රියාත් සමඟ අද එය කණපිට හැරී ඇද්දෝයි යන සැකයක් ද මතු
වනු ඇත. එයට හේතුව වන්නේ එදා භික්ෂුවක් ගත කළ සැහැල්ලු දිවි පැවැත්ම (සල්ලවුක
වුත්ති) අද වන විට දුරස් වී වගකීම් රාශියකින් බැඳී පැවතීමයි. එයින් භික්ෂුවක් සතු
නිදහස, සැහැල්ලුව නැති වී ඇත. එය ගිහි පින්වතුන් විසින් ම පවරා දී ඇති බැවින්
භික්ෂූන්ට දොස් කීම ද සාධාරණ නොවනු ඇත.
සඟ ගුණ පිළිබඳ විමසීමේ දී සුපටිපන්න, උජුපටිපන්න, ඤායපටිපන්න, සාමීචිපටිපන්න යන
ගුණයන්ගෙන් භික්ෂුවක් පිරිපුන් විය යුතු ව ඇත. අතීතයේ භික්ෂුව යනු සිංහයකු හා සමාන
ය. පන්සල සියලු අංශයන්හි මධ්‍යස්ථානය වූවා සේ ම භික්ෂුව සියලු දෙනාට ම නායකත්වය ද
ලබා දුනි. නමුත් අද සමහර භික්ෂුන් දේශපාලනය තුළ සිරවී තිබීමෙන් භික්ෂුවක් තුළ තිබිය
යුතු පෞරුෂත්වය හීන වී ගොස් ඇත.
වර්තමානය තුළ බහුල වශයෙන් පැවිද්දන් උපැවිදි වීම ද සිදුකරති. ඒ සඳහා විවිධ හේතු ද
පවතී. ගුරු හාමුදුරුවන්ගේ ඇති නොසැලකිල්ලත්, ගිහි පින්වතුන්ගේ ඇති නොසැලකිල්ලත් ඒ
සඳහා ප්‍රධාන වශයෙන් බලපානු ඇත. ගිහියන් විසින් පැවිද්දන් කෙරෙහි තිදොරින් ම අහිතක්
නොකළ යුතු ය. ගිහියන් වැරැදි කළහොත් භික්ෂූන් වහන්සේ විසින් ඔවුනට දෙන ලොකුම දඩුවම
වන්නේ පත්තනික්කුජ්ජන කර්මයයි. එනම් ඔවුන්ගේ දානය නොපිළිගැනීමයි. ඒ දඬුවමට හසු
නොවීමට ගිහි පක්ෂය ද උත්සාහවත් විය යුතු ය.
පුහුදුන් ස්වභාවය තුළ දෙපක්ෂය තුළින් ම වැරැදි, අඩුපාඩු සිදුවීම සාමාන්‍ය ස්වභාවය
යි. එසේ වුව ද ගිහියන් අතර ජීවත්වීමේ දී පැවිද්දන් ගිහි පක්ෂයට වඩා තිදොරින්ම සංවර
භාවය ඇති කරගත යුතු ය.
නොපැහැදුන අයගේ පැහැදීම සඳහාත්, පැහැදුන අයගේ වැඩි පැහැදීම සඳහාත් පැවිදි
ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු ය. ඊට අමතර ව සැහැල්ලු දිවි පැවැත්ම, ලද දෙයින් සතුටු
වීම, අටලෝ දහමින් උදම් නොවීම, හා කම්පා නොවීම, පරාර්ථකාමී බව, විනයගරුක බව උතුම්
මානුෂික ගුණාංග දියුණු කර ගැනීම යනාදිය භික්ෂු පක්ෂය විසින් කර ගත යුතු ව ඇත. සතර
මඟ, සතර ඵල, නිර්වාණය යන නව ලොව්තුරා ධර්මය ප්‍රගුණ කිරීමට ඉහත මතක් කළ ගුණධර්ම
ඉවහල් වනු ඇත. එසේ නොවුනහොත් තව තවත් සසර බොහෝ කාලයක් ඇවිදීමට සිදුවන බවත්, එය
බුද්ධශ්‍රාවකයින් වශයෙන් ලද පැවදිකමින් ප්‍රයෝජන නොගැනීමක් බවත් සිතට ගත යුතු ය.
සමස්තයක් වශයෙන් ගත් කල්හි විශේෂයෙන් ගිහි පැවිදි අන්‍යොන්‍ය සම්බන්ධතාව උදෙසා
සිඟාලෝවාද සූත්‍රයෙහි සඳහන් ඉහත කරුණු පිළිබඳ ගිහි පැවදි දෙපක්ෂය ම අවධානය යොමු
කිරීමත්, එම යුතුකම් හා වගකීම් ගිලිහී යෑමට ඉඩ නොදී තව තවත් ශක්තිමත් කිරීමටත්
අධිෂ්ඨාන කර ගත යුතු ය. එකල්හි දෙපක්ෂය තුළ ම අන්‍යෝන්‍ය බැඳීමක් හා විශ්වාසයක්
ගොඩනැඟෙනවාට කිසිදු සැකයක් නැත. එතුළින් දෙපක්ෂයේ ම අවසාන අරමුණ වන නිර්වාණය ක්ෂාත්
ක්ෂාත් කර ගැනීමට ද මාර්ගය පෑදෙනු ඇත. |