Print this Article


සුගති ලොව රැකවරණ ලබන්නට දිවිහිමියෙන් තෙරුවන් සරණ යමු

සුගති ලොව රැකවරණ ලබන්නට දිවිහිමියෙන් තෙරුවන් සරණ යමු

දෙවියන්, මරුන්, බඹුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ දෙවිමිනිස් ප්‍රජාවෙන් යුතු ලී සතුන් එක ම කටුවක සිර වී සිටින්නෝ ය. ඒ කටුව වූ කලි ‘අවිද්‍යාව‘ යි. තීක්ෂණ ප්‍රඥාව නම් වූ නිය සිළෙන් අවිද්‍යා කටුව සිඳගෙන, විද්‍යාව පහළ කර ගත්තේ අපගේ පරමෝත්තම ශාස්තෘවර ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. ඒ මහෝත්තමායාණෝ අවිද්‍යා කටුව සිඳලූ නිසාවෙන්, ඒ කටුව ගැනත් මනාව දන්නා සේක. ඒ කටුව සිඳිනා අයුරුත් මනාව දන්නා සේක. කටුව සිඳලූ පසු උදාවන ආලෝකය ගැනත් දන්නා සේක.

ඒ පුළුල් අවබෝධය සහිත ව අපගේ සම්බුදු රජාණන් වහන්සේ අන්ත අසරණ ව සසර ගමනක පැටලුණු ලෝ සතුන් හට උතුම් පිළිසරණ දායාද කළ සේක. ඒ පිළිසරණ නම් උතුම් බුද්ධ රත්නයේ සරණ ය. අමෘතයක් බඳු වූ ධර්ම රත්නයේ සරණ ය. අනුත්තර පින්කෙත වූ ආර්ය සංඝරත්නයේ සරණ ය.

සියලු දුක් නැසීමටත්, ක්ෂේම වූ නිවන අත්දැකීමටත්, උතුම් ම සරණ වූ තෙරුවන් සරණේ පිහිටීමටත් පරිපූර්ණ මඟපෙන්වීම කරන හෙයින් අප බුදුරජාණන් වහන්සේ සත්ථා හෙවත් ශාස්තෘ වන සේක. එසේ කරන ඒ මඟ පෙන්වීම නුවණැති දෙවියන්හටත්, නුවණැති මිනිසුන්හටත් ජීවිතාවබෝධය කිරීමට හේතු වන නිසා උන්වහන්සේ දෙවිමිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ නොහොත් සත්තා දේවමනුස්සානං වන සේක.

ක්ලේෂ වසඟ ව සිට සම්බුදු රජාණන් වහන්සේගේ සරණ ලබා ජීවිත සුවපත් කර ගත් නුවණැති මිනිසුන් ගැන අප කොතෙකුත් අසා ඇත. මේ මනුලොවට වඩා අතිශයින් ම උසස් කාම සම්පත් විඳින දෙවියන් ද ඒ කාමයන්ට වසඟ ව ප්‍රමාදී ව සිට අසරණ වු කල්හී ඔවුනට ද එක ම පිළිසරණ වූයේ අපගේ සම්බුදුරජාණෝ ම ය.

තව්තිසා දෙව්භවනේ නන්දන උයනේ පරසතු රුක එකල මල් පිපී බොහෝ මලින් ගැවසි ගත් කාලය යි. දෙව්ලොව දෙවියන් හට පරසතු රුකේ මල් පිපුණු සමය විශේෂ සැණකෙළි සමයකි. සුබ්‍රහ්ම නම් දිව්‍ය පුත්‍රයා තම පරිවාර පන්සියයක් දිව්‍ය අප්සරාවියන් පිරිවරා ගෙන මේ නන්දන වනයට පිවිසියේ ය. ඔවුහු බොහෝ වේලා වනයේ සතුටු වෙමින් සිටියෝ ය. එහෙත් එක්වර ම පන්සියයක් අප්සරාවියෝ නො පෙනී ගියෝ ය. මහත් තැති ගැන්මට පත් සුබ්‍රහ්ම දෙව්පුතු තම පි‍්‍රයමනාප අප්සරාවියන් උපන් ස්ථානය විමසන්නට විය. අහෝ! ඈලා සියලු දෙනා නිරයේ උපත ලබා සිටී.

මොහොතකට පෙර දිව්‍ය සළු හැඳ, සොඳුරු නන්දන උයනේ දිව්‍යමය ඵලවැලින් තුටු වෙමින්, කිංකිණි හඬින් සිනාසෙමින් සිටි ඔවුන් දැන්, ගිනිදැල් අතර විලාප නඟමින් දැවෙමින් සිටී. එවිට සුබ්‍රහ්ම දෙවියාගේ සිහිය උපන්නේ ය. තාවකාලික කම් සැපයකට වසඟ ව මේ විඳවන්නේ අපමණ දුක් ගොඩක් බව වැටහී ගියේ ය.

ඒ මොහොතේ ඒ දෙවියන් පිළිසරණක් සොයන්නට විය. දෙවියන්, මරුන්, බඹුන් සහිත මේ ලොව අන් කිසිවකුත් ඔහුට පිළිසරණයට නොවී ය. ඉරක්, සඳක් මෙන් බැබළී පෙණුනේ අප සම්මා සම්බුදුරජාණෝ ම ය. භාග්‍යවතුන් වහන්සේ හමුවට ගිය ඒ සුබ්‍රහ්ම දෙවියන් සතර පද ගාථාවක් අසා ජීවිතාර්ථය සලසා ගෙන දහම දුටු ශ්‍රාවකයකු බවට පත්වීමට වාසනාවන්ත විය.

මෙසේ නුවණැති බොහෝ දෙවිවරු අප සම්බුදුරජාණන් වහන්සේ තම ජීවිතයට එකම මාර්ගෝපදේශකයාණන් බවට පත් කර ගත්තෝ ය. ඉන්ද්‍ර නම් සක් දෙව් රජුන් වරක් ඉන්දසාල නම් ගුහාවේ දී බුදුරදුන් අභිමුඛයේ දී දහම් අසා සෝවාන් ඵලයට පත්ව දිවි හිමියෙන් අප බුදුරජාණන් වහන්සේ සරණ ගියේ ය.

එපමණක් නොව තම ආයුෂ අවසන් වූ සක්දෙව් රජු එකෙනෙහි ම චුත ව නැවත සක්දෙව් රජුන් ලෙස එහි ම උපත ලැබුවේ ය. ඒ සක් දෙව් රජුන් තව්තිසා වැසි දෙවිවරුන්ගේ සුධර්මා නම් දිව්‍ය සභාවේ දී අප බුදුරජාණන් වහන්සේ තුළ විද්‍යමාන වූ ගුණ අටක් ගැන වර්ණනා කළ අයුරු දීඝ නිකායේ ‘මහා ගෝවින්ද සූත්‍රයේ’ දැක්වේ.

මේ අසිරිමත් සම්බුදු ගුණ වර්ණනාව අසා සිටි සුධර්මා දේව සභාවේ දෙවිවරු ‘අහෝ මෙබඳු උත්තම ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ හතරපස්නමක් ලොව පහළ වෙයි නම් එය කොයිතරම් අගනේදැ’යි සතුටු වූහ. එවිට සක් දෙවිඳු මෙසේ පැවසීය.

“නිදුක්වරුනි, එක් ලෝක ධාතුවක අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙනමක් පෙර පසු නොවී පහළ වන සේක් යන මෙ කරුණ සිදු නොවන දෙයකි. එවැන්නකට අවකාශ නැත්තේ ය. එය දකින්නට නොමැති දෙයකි. අහෝ නිදුක්වරුනි, ඒකාන්තයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ අසනීපයක් නැති ව, නිරෝගී ව චිරාත් කාලයක් වැඩවසන සේක් නම්, එය බොහෝ ජනයා හට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පා පිණිස, දෙව්මිනිසුන්ගේ යහපත, හිතසුව පිණිස ම හේතු වන්නේ ය”.

මෙසේ අප සරණ ගිය ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ අසිරිමත් ගුණ ඝෝෂාව දෙවියන් අතර නිතර පැන නැඟුණි. තුන් ලොවට ම ප්‍රඥාව උපදවන දහම දායාද කළ ඒ සම්බුදු රජාණන් ගේ සරණ පමණි. මේ සත්වයන් හට ඇති එකම පිළිසරණ වන්නේ. ඒ සම්බුදුරජාණන් වහන්සේගේ මංගල දම් දෙසුම මනුලොව ශ්‍රවණය කළේ පස් දෙනෙක් පමණි. එහෙත් කෙළ ගණනක් දෙවියෝ ඒ අසා සුවපත් වූවෝ ය. එතැන් පටන් ඒ දහමේ පිහිට ලද දෙවිවරු මෙ පමණකැයි කිව නො හැකි ය. දෙව්ලොවින් දෙව්ලොවට ඉහළට යන්නට යන්නට රැව් දෙන්නේ සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ රාවයයි. තෙරුවනේ ගුණ රාවයයි. මේ ලෝකයන් අතරේ ඉහළින් තිබෙන සුද්ධාවාස බ්‍රහ්මාලෝකවල වසන බ්‍රහ්මකායික දෙවියන් අතරේ ඇත්තේ තෙරුවන් සරණ කර ගත් පිරිස පමණි. ඔවුහු සම්බුදුරජාණන් වහන්සේ ගේ ශාසනයේ අනාගාමී ඵලයට පත් ශ්‍රාවකයෝ ය.

දුක්ඛිත සසර ගමනක යෙදෙන සත්වයන් හට සැප සලසා ගත හැක්කේ සැබැවින් ම ඒ සම්බුදු ඔවදන් අනුගමනය කිරීමෙන් ම පමණි. අප බුදුරජාණන් වහන්සේ සුගති රැකවරණය සලසාලන උතුම් අංග පහක් ගැන පෙන්වා දුන් සේක. ඒවා නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති අවබෝධයෙන් යුතු චිත්තප්‍රසාදයත් (ශ්‍රද්ධා) පංච දුෂ්චරිතයෙන් වැළකී සිල්වත් වීමත් (සීල) , බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මනාකොට අසා ඒ ධර්මය පිළිබඳ පැහැදිලි නිරවුල් දැනුමක් ඇතුව සිටීමත් (ශ්‍රැත), මසුරුකම දුරුකොට දන්දීමත් (ත්‍යාග) චතුරාර්ය සත්‍ය පිළිබඳ ඇති අවබෝධයත් (ප්‍රඥා) යන සේඛ බලයන් ය. මේ සේඛ බලයන් උපදවා ගෙන ඒවා දියුණුූ කරන කෙනා ඒකාන්තයෙන් ම මිනිස් දිවිය අවසන් වු පසු සුගති රැකවරණය ලබන්නේ ය.

එකල මේ උතුම් සේඛ බල උපදවා ගෙන සිටි මනුෂ්‍යයෝ මිය ගොස් තව්තිසා දෙවියන් අතර උපන්නෝ ය. ඒ දෙවිවරු අන්‍ය දෙවිවරුන්ට වඩා පැහැයෙනුත්, යසසිනුත් බබළන්නට වූහ. ඒ දැකීමෙන් සක් දෙවියන් ප්‍රධාන දෙවිවරුන් තුටු වු අයුරු මහා ගෝවින්ද සූත්‍රයේ මෙසේ දැක්වේ.

“භවත්නි, ඒකාන්තයෙන් ම ඉන්ද්‍ර දෙව් රජු ප්‍රමුඛ තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේට ද, තථාගත ධර්මයේ ඇති උතුම් පිළිසරණට ද නමස්කාර කරමින් පී‍්‍රති වෙති.

සුගතයන් වහන්සේගේ සසුනෙහි බඹසර හැසිර මෙහි අලුතින් උපන් දෙවියන් පැහැයෙන් ද, යසසින් ද, සිටිනු දකිමින් සතුටු වෙති.

මහා ප්‍රාඥයන් වහන්සේගේ ශ්‍රාවකයෝ විශේෂ මාර්ගඵල ලබා මෙහි උපන් විට අන්‍ය වූ දෙවිවරුන්ට වඩා ඔවුහු පැහැයෙන් ද, යසසින් ද, ආයුෂයෙන් ද, අතිශයින් ම බබළති.

මෙය දැක ඉන්ද්‍ර දෙව් රජ ප්‍රමුඛ තව්තිසාවේ දෙවිවරු තථාගතයන් වහන්සේටත්, තථාගත ධර්මයේ තිබෙන උතුම් පිළිසරණටත් නමස්කාර කරමින් සතුටු වෙති.”

දෙව්මිනිසුන්ගේ ශාස්තෘ වූ , මහා කාරුණික වූ, දේවාතිදේව වූ, බ්‍රහ්මාතිබ්‍රහ්ම වූ, තිලෝක සරණ වූ ඒ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිත් දිවි හිමියෙන් සරණ යමු.

“යමෙක් ඒ සම්බුදුරජාණන් වහන්සේ සරණ ගියේ නම්, ඔවුහු අපායේ නො යති. මේ මිනිස් දේහය අත්හරිනා විට ම ඔවුහු සුගතිලොව පහළවෙති.”