Print this Article


අවවාදයට නැමීමේ අගය

අවවාදයට නැමීමේ අගය

භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ පුරැ වැඩ ඉන්නා සමයෙක එහි භික්ෂූන් වහන්සේ නමක් අතරැ ඇති වූ අමනාපයක් වැඩී ගොස් දෙපසට ම බොහෝ ගිහි පැවිද්දන් එක්වී මහත් භේදයෙක් ඇතිවිය. එය ඇරැබැ ඉවසීමේත් සමගියේත් අගය දක්වනු වස් මේ පහත දැක්වෙන දීඝිති කෝසල ජාතකය වදාළ සේක.

“පෙරැ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජෙක් විය. ඒ මහ බලසපන් කෙනෙකි. හේ වතාවක් මහ බල සෙනඟ ගෙන කොසොල් රටේ එවකට සිටි දීඝිති නම් රජ්ජුරුවන් හා යුද කරන අදහසින් පිටත්ව ගියේ ය. දීඝිති රජ්ජුරුවනට එ තරම් ලොකු යුද්ධ හමුදාවෙක් නො වී ය. එබැවින් හේ පණ බේරාගන්න අදහසින්, යුද නො කැරැ ම වෙස් වළා ගෙන බිසොව හා පිටිසර ගමකට ගියේ ය. ගොස් තමන් සාමාන්‍ය අය හැටියට අඟවා එහි කුඹල් ගෙයක වැඩපොල කැර දෙමින් ජීවත් විය. මෙයින් බ්‍රහ්මදත්ත රජ යුද නො කැරැම කොසොල් රටත් අත් කැර ගත්තේ ය.

කුඹල් ගෙහි වෙස් වළා ඉන්න දීඝිති හිටපු රජ්ජුරුවනට පුතෙක් ලැබිණ. ඔහුට දීර්ඝායු කියා නම් තැබිණ. ටික කලකට පසු එතුමා ඒ කුමරුවා ශිල්ප ශාස්ත්‍ර උගන්වන්නට ඈත රටෙක ගුරුවරයෙක්ට බාර දුන්නේ ය. දීඝායු කුමාරයාත් එහි හොඳට ඉගෙන ගනිමින් වැඩුණේ ය.

මෙසේ කලෙක් ම ගත විය. දීඝිති රජු අප්‍රසිද්ධ වේශයෙන් පිටිහරෙක ඉන්න බව බ්‍රහ්මදත්ත රජුට සැල විය. හේ එතුªමා ගැන සැක කොට තම රාජපුරුෂයන් අමතා, “තොපි ගොස් ඒ රජුත්, බිසොවත් දෙදෙනා ම අල්ලා ගෙන වුත් මරා සතර කඩ කොට කපා නුවරින් පිටත වැළැලවු” කියා නියෝග කෙළේ ය.

රාජ පුරුෂයෝ ද ගොස් ඒ දෙ දෙනා අල්ලා ගෙනවුත් හිස් මුඩු කොට වද මල් දම් පළඳවා වද බෙර ගසමින් වීදියෙන් වීදියට ගෙන ගියහ. මේ අතර ඈත ඉගෙන ගන්නට ගොස් සිටි දීර්ඝායු කුමාරයාත් මා පියන් දක්නා අදහසින් එනුයේ බරණැසට වධ බෙර ගසමින් වධකයන් විසින් ගෙන යන මා පියන් දිටී ය. තමාට වූ විපත දක්නට රැස් වූ පිරිස අතරින් ඔහු තමන් වෙතට එනවා දීඝිති රජු දුටුයේ ය. දැක “පුතා දීඝායු, දුරට ම බලන්න. ළඟ ම බලන්න එපා. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැතැ”යි කීය. කුමාරයා එය තේරුම් ගෙන මහත් අමාරුවෙන් ඉවසා නිශ්ශබ්ද විය. “තමා කවුරුද’ යන්න කාටවත් නො ඇඟැවීය. රැස් වූ සේනාවේ කිසි ම කෙනකුත් එය දැන නො ගත්තේ ය. එබැවින් කවුරුත් ‘එරජු මරු විකල්ලෙන් නන් දොඩනවා යැ’යි සිතූහ. රාජපුරුෂයෝ ද ඉහත කී පරිදි ඒ රජුත් බිසොවත් නුවරින් පිටත ගෙන ගොස් මරා සතරකට කපා කැබැලි පිටනුවරැ වළලා දැමූහ. දීර්ඝායු කුමාර රාත්‍රියේ එහි ගොසින් ඒ කැබැලි එකතු කොට ආදාහන කෙළේ ය.

පියාගේ අවවාදය තදින් හිතට ගත් දීර්ඝායු කුමාරයා මහත් ඉවැසිල්ලෙන් ඈත බලා කටයුතු කරන්නට පටන් ගත්තේ ය.

හේ පසු දිනෙක රජ වාසල ඇත් ගොව්වා හා මිත්‍ර විය. රජ ගෙට යෑමට ඊමට ද මඟ සලසා ගත්තේ ය. වැඩි කල් නොගොස් ම ගී ගැයීමෙන් වෙණ වැයීමෙන් රජු සතුටු කළේ ය. එයින් පසු ගැයීමෙන් වැයීමෙන් රජුට සේවාව කිරීමට රජුගේ නියමය පරිදි හැමදා ම මාලිගාවට යන්නට විය. ටික කලෙකින් හොඳට ම රජුගේ හිත දිනා ගත්තේ ය.

මෙසේ කල් යවන අතර, දිනෙක බ්‍රහ්මදත්ත රජ දඩ කෙළි සඳහා සෙනඟ සහ නික්මිණ. රජුගේ රිය පැදැවූයේ දීර්ඝායු කුමාරයා ය. හේ එය වේගයෙන් පදවාගෙන පිරිස පසුකොට බොහෝ ඈත ගියේ ය. බොහෝ දුර ගිය පසු රජ රිය පැත්තෙක නවත්වා, දීර්ඝායු කුමාරයාගේ උකුලේ හිස තබා ගෙන නිදා ගත්තේ ය. මේ වේලෙහි දීර්ඝායු කුමාරයාට නිරපරාධ මා පියන් මැරූ මොහුගෙන් දැන් පලි ගනිමි’යි සිතිණ. ඊළඟට ඔහු ගේ අත කඩුව දෙසට ගියේ ය. මොහොතින් කඩුව කොපුවෙන් එළියට ඇදිණ. හේ කඩුව දැඩි කොට අල්ලා ගෙන රජු ගේ ඉසට කෙළින් එසැවීය. එවිට ම ඔහුට අන්තිම අවස්ථාවේ දී

‘ළඟ ම බලන්න එපා, ඈතට ම බලාපන්, වෛරයෙන් වෛරය නො සංසිඳේ යැ’යි පියා කී වචන සිහි විය. මාපියන් ගේ අවවාදයට කීකරු වැ වැඩුණු හොඳ දරුවෙක් වූ දීර්ඝායු තෙම අදහස වෙනස් කොට කඩුව කොපුව තුළ දැමී ය.

එහෙත් මේ රජු තම මා පියන්ට කළ අපරාධය යළිත් සිහි කොට තව වරක් කඩුව එසෙවී ය. පියා කී වචන දෙවෙනි වර ද සිහි කැර කඩුව කොපුවෙහි දැමීය. තුන් වන වරත් කඩුව ඔසොවා රජුගේ හිස කඳෙන් වෙන් කරන්නම ඕනෑ’යි සිතූ නමුත් පියා ඉදිරියේ සිට දෙන අවවාදයක් සේ, පියාගේ අවවාදය සිහි වී කඩුව කොපුව තුළ දැමී ය.

එ කෙණෙහි ම රජ ඩහදියෙන් තෙමුණු සිරුර ඇති වැ තැතිගත් සැටියෙන් පිබිදියේ ය. පිබිද එ කුමරුට තමා නපුරු හීනයක් දැක්ක බව කී ය. ‘කිමෙක් ද ඒ සිහිනය දේවයන් වහන්ස?’ කියා කුමරු රජු අතින් විචාළේ ය. ‘දීඝිති රජුගේ පුත් වූ දීඝායු නමැත්තකු කඩුවක් ඔසොවා මගේ හිසට ගහන්නට සැරසෙනවා දිටිමි’යි රජ කීය.

එවිට දීඝායු කුමාරයා ඒ තාක් තමා රැක ගත් රහස හෙළි කෙළේ ය. ‘ඒ කියන දීඝායු තමා මම, තුන් විටක් ම ඔබ මරන්නට මා කඩුව එසැ වූ නමුත් ම පියාණන් ගේ අවවාදයට කීකරු වැ මා ඔබට ජීවිතය දුන්න බව දැන ගන්නැ’ යි කියා සියලු විත්තිය විස්තර කොට කීය.

බ්‍රහ්මදත්ත රජ එ පවත් අසා කුමරු ගැන පැහැදිණ. ඉන්පසු දෙ දෙනා එක් වැ ආපසු නුවරට ම ගියහ. මාලිගාවට ගිය එ රජ නොබෝ වේලාවෙකින් රාජ සභාව රැස් කැරැවීය. ඉක්බිති ‘මැති වරුනි, නැසී ගිය දීඝිති රජ්ජුරුවන්ගේ දීඝායු නම් පුතකු ඉන්නවා, ඔහු මෙහි පැමිණියොත් කුමක් කරන්නට යුතු දැ? යි සභාවෙන් ඇසී ය.

එක් ඇමැතියෙක් ‘ඔහු ගේ අත් පා සිඳ දැමියැ යුතු යැ’යි කී ය. තව ඇමැතියෙක් ‘ඔහු ගේ කන් නාසා සිඳ දැමිය යුතු යැ’යි කී ය. අන් අය ඔහුට වධ කරන නොයෙක් සැටි ගෙන හැර පෑහ. අන්තිමේ දී රජ්ජුරුවන් ළඟ සිටි දීඝායු කුමාරයා ඔවුනට පෙන්නා, ඔහුගේ ගුණ කියා “මේ මා පියනට කීකරු හොඳ දරුවෙකි. මොහුට මාගේ එක ම දියැණියන් පාවා දෙමි. මොහුට අයත් කොසොල් රටේ රාජ්‍යයන් ආපසු බාර දෙමි’යි කීය.

මෙසේ කියා දියැණියන් සරසවා ගෙන්නලා දීඝායු කුමාරයාට පාවා දී ඔටුණු පළඳවා රාජ්‍යය බාර දුන්නේ ය.

පියාණන් ගේ අවවාදයට නැමීමේ අගය මෙයින් පෙනේ. මා පියනට කළ අපරාධය බර පතළ වූවත් එයට පලි ගන්නට ගියේ නම්, නපුරු කමට නපුරුකම් කිරීමෙන් බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් සේ ම එ කුමරුත් අපරාධ කාරයකු වෙන්නට තැබුණි. පියාණන් කී අවවාදය අනුව පැවතීමෙන් එ කුමරු සතුරාටත් පි‍්‍රය විණි. තමාට නැති ව තැබුණු රාජ්‍යයත් ආපසු ලබා ගත්තේ ය.

මේ හැම කෙනෙකු ම පිළිගත යුතු වටිනා උපදේශයෙකි. බුදුහාමුදුරුවන් වහන්සේ මෙය වදාළේ මෙයින් අපට මහ රැසක් උපදෙස් ගන්නට යි.