දුක් ගින්දර නිවන
ශ්‍රී සද්ධර්මයේ අසිරිය
ජීවිතය මොහොතින් මොහොත දවසින් දවස වෙනස් වෙනවා. කිසිදු හේතුවක් නිසා ගෙවී ගිය කාලය
නැවත ගන්නට නොහැකි සේ ම, කාලය නවතා තබා ගැනීමට ද අපට හැකියාවක් කොහින් ද?
මිනිස් ලෝකයේ තව කෙ තරම් කාලයක් අපට ගෙවීමට ආයුෂ ඉතිරි ව තිබෙනවා ද කියලා අපි
කවුරුවත් ම දන්නේ නැහැ. දැනට අපි යම් දුකක්, පීඩාවක් විඳිනවා ද, ඉදිරියට තවත් ඒ දුක
වැඩි වෙන්න පුළුවන්. ඒ වැඩිවෙන දුකට තම තමන් තනිව ම මුහුණ දිය යුතු වෙනවා. ඇතැම්
විඳීම් කර්මානුරූප ව තනි තනිව ම විඳීමටයි කරුණු සැකසෙන්නේ. කෙ තරම් පිරිසක් අප වටා
සිටිය ද කිසිම කෙනකුට අපේ දුක් අපත් සමඟ බෙදා ගන්නට නො හැකි වෙනවා. රජෙක් වුවත්,
සිටුවරයෙක් වුවත්, දුගියෙක් වුවත් කායික ව හෝ මානසික ව හෝ එන දුක් කන්දරාව අපට දරා
ගන්නට වෙනවා.
ඈත අතීතයේ මුණ්ඩ නම් මහ රජෙක් රට පාලනය කළා. මුණ්ඩ තරුණ වයසේ සිටියේ.
කාලයක් යද්දී රජතුමා සුරූපී තරුණියක් විවාහ කර ගත්තා. ඇයගේ නම භද්‍රා. භද්‍රා
කියන්නේ සුන්දර කියන අරුත යි. ඈ ඉතා ලස්සනයි. භද්‍රා කුමරියට මුණ්ඩ රජතුමා බොහෝ සේ
ආලය කළා. පි‍්‍රය කළා. රජුගේ සිත භද්‍රා වෙනුවෙන් ම වෙන් වුණා. භද්‍රා බිසව ගැන
රජුට සිහින ගොඩාක් තිබුණා. අනාගතයේ බිසවත් සමඟ ගත කරන ජීවිතය ගැන රජු සිහින
මවාගෙනයි සිටියේ. නමුත් ඒ ප්‍රාර්ථනා නො සිතූ මොහොතක විසිරී ගියා. භද්‍රා දේවියට
භයානක ලෙඩක් හැදුණා. ඇය ටික ටික එක්තැන් වුණා. මුණ්ඩ රජතුමා ‘අනේ මගේ පි‍්‍රයාදර
භද්‍රා දේවියට කිසිදු අනතුරක් වෙන්න එපා කියලා කෝටි වාරයක් ප්‍රාර්ථනා කළා. එසේ
කෙතරම් ප්‍රාර්ථනා කළත් බලාගෙන සිටිය දී ම බිසව මිය ගියා. ලස්සනට මලක් පිපිලා
අකාලයේ මල් මිලින වුණා වගේ දේවිය සියල්ල අතහැර තරුණ වයසේ දී ම පරලොව ගියා. මුණ්ඩ
රජුගේ සිත පිළිගත්තේ නැහැ. දේවිය මිය ගියා කියලා. ශෝකීහුල රජුගේ සිතට තදින්ම
වැදුණා. රජතුමා දේවියගේ දේහය අසල වැටී ‘අනේ මගේ භද්‍රා’ කියමින් හඬන්නට පටන් ගත්තා.
රජතුමා සිදු කළ යුතු රාජ්‍ය කටයුතු නවතා දැමුවා. කෑම බීම ගැනීමක් හෝ නින්දක් හෝ
නොමැති ව එක දිගට රජතුමා හඬා වැටුණා.
ඇමැතිවරු කල්පනා කළා දින කීපයක් යද්දි රජතුමා සාමාන්‍ය තත්ත්වයට පත්වේවි කියලා.
නමුත් දින කීපයක් ගතවූ රජතුමා ප්‍රධාන ඇමැතිවරයන් කැඳවා කියා සිටියා. “ඇමැතිය, මේ
බිසව සොහොනකට ගොස් දමන්න බැහැ. ඒ නිසා බෙහෙත් ඔරුවක් සාදා ඇය ඒ ඖෂධයෙහි ගිල්වා
තබන්න. එවිට මට දිනපතා ම භද්‍රා ළඟට වෙලා ඉන්න පුළුවන්” කියලා. රජුගේ අණ පරිදි එලෙස
සියල්ල සිදු වුණා. රජතුමා “භද්‍රා මම ජීවත්වෙන තුරු ඔබ මා අසල සිටිනවා කියමින් දේහය
අසල හඬමින් කාලය ගත කළා. දින හතක් ගත වුවත් රජුට මේ ශෝකී හුල ගලවා ඉවත් කිරීමට
ශක්තියක් තිබුණේ නෑ. රජතුමා කෙරෙහි අනුකම්පාවක් ඇතිකර ගත් එක්තරා ඇමැතිවරයෙක් රජුගේ
ශෝකීහුල ගලවා දැමීමට සිතා නාරද නම් මහරහත් තෙර නමක් වෙත කැඳවා ගෙන ගියා. ඒ කාලයේ
උන්වහන්සේ වැඩ සිටියේ මුණ්ඩ රජුගේ රාජ්‍යයට ආසන්නව යි. ඇමැතිවරයා රජු ගැන සියල්ල ම
මහරහතන් වහන්සේට විස්තර කොට කියා සිටියා. එවිට රහතන් වහන්සේ වදාළා.
පි‍්‍රය රජතුමනි, මේ ලෝකයේ දෙවියකුට, බ්‍රහ්මයකුට, ශ්‍රමණයකුට, මාරයකුට ලබන්නට බැරි
කාරණා පහක් තිබෙනවා. ඒ කරුණු පහට අප කෙ තරම් කැමැති වුවත් ලබන්නට බැරි බව අපගේ
ශාස්තෘන් වහන්සේ වදාළා. ඒ තමා
*
වයසට යන දේ වයසට යන්න එපා කියන දේ ලබන්නට බැහැ,
*
ලෙඩවන දේ ලෙඩ නොවේවා කියා ලබන්නට බැහැ,
*
මරණයට පත්වෙන දේ මැරෙන්න එපා කියා ලබන්නට බැහැ,
*
නැසෙන දේ නැසෙන්නට එපා කියන දේ ලබන්නට බැහැ, ඒ වගේම
*
ගෙවී යන දේ ගෙවී යන්න එපා කියන දේ ලබන්නට බැහැ,
මහරජ, මේ කරුණු නො ලැබිය හැකි බව දැන දැනත් ඒවා ලබන්නටම යි සත්ත්වයා ආශා කරන්නේ.
එසේ පැතුම් තිබෙන තාක් අපට වෙහෙසයි. මහන්සියි. අපහසුතා වැඩියි.
මහතෙරුන් වහන්සේ මේ කරුණු පහ රජතුමාට විස්තර කොට පැහැදිලි කර දුන්නා. එනිසා
රජතුමනි, නෙැලැබිය හැකි දෙයක් වෙනුවෙන් මෙසේ හඬා වැටී ඇති ඵලය කුමක් ද? ශෝක
කිරීමෙන්, හීල්ලීමෙන්, හඬා වැටීමෙන් ඔබට ඇති වන්නේ පීඩාව ම පමණයි. මගේ ජීවිතයට නම්
ප්‍රශ්නයක් එන්න එපා සිතීම සුදුසු දෙයක් නොවෙයි.
හැම ප්‍රශ්නයක් ම විසඳාගෙන මේ ජීවිතය ඉදිරියට ගෙන යනවා කියන දෙය ම ප්‍රශ්නයක්.
ජීවිතයට එන සෑම ප්‍රශ්නයකට ම විසඳුමක් නැහැ. හැම ප්‍රශ්නයක් ම විසඳන්නත් බැහැ. ඉහත
කී ප්‍රශ්න පහට මුහුණ දෙනවා ඇරෙන්නට ඒවාට විසඳුමක් නැහැ.
වයසයට යාම, ලෙඩවීම, මරණයට පත්වීම, නැසී යන දේ නැසී යාම, වැනසෙන දේ වැනසීම ආදියට
විසඳුම් නැහැ. ශෝකකිරීම්, වැළපීම් ප්‍රශ්නවලට පිළිතුරක් නොවෙයි. ජීවිතයට එන ප්‍රශ්න
අතරේ අපි ශෝක කරන්නට පුරුදු වුණොත් ඒ ශෝකය අප ව පෙරළා ගන්නවා.
ශෝක කිරීම් පිළිබඳ සෝමදත්ත නමින් සුන්දර ජාතක කතාවක් සඳහන් වෙනවා.
එක් කාලයක අපගේ බෝධිසත්වයන් වහන්සේ දෙදෙව්ලොව සක්දෙවිඳු ලෙස ඉපදී සිටියා.
එක්තරා තාපසයාණන් වහන්සේ නමක් එක් වනයක බවුන් වඩමින් ජීවත් වුණා. කොළ, අල, පලතුරු
කඩා ගන්නට ඔහු වනයට යනවා. දිනක් තාපසතුමාට දකින්න ලැබුණා මවගෙන් මඟ ඇරුණු ඇත්
පැටවෙක්. තාපසතුමා ඇත් පැටියා ළඟට කතා කළා. ඇත් පැටවා ඉතා කීකරු ව තාපසතුමා ළඟට
ආවා. තාපසතුමා ඇත් පැටියා කුටියට එකතු කර ගෙන ගියා.
පුත්‍ර ස්නේහයෙන් ඇත් පැටියාට සැලකුවා. සෝමදත්ත කියා නමකුත් දැම්මා. දෙදෙනා ඉතා
සතුටින් කාලය ගත කළා.
දිනක් තාපසතුමා පළවැල රැගෙන පැමිණියත්, වෙනදා මෙන් සෝමදත්ත ඉදිරියට ආවේ නැහැ.
තාපසතුමා කලබල වුණා. වහා ම පැටියා සිටි ස්ථානයට ගියා. ඇත් පැටියා වැටී මියගොස්
තිබුණා. එය දුටු තාපසතුමාට දුක වාවාගත නොහැකි ව කෑ ගසා හඬා වැළපුණා. “අනේ මගේ
සෝමදත්ත” කියමින් හඬා වැටෙන තාපසතුමා ව සක්දෙවිඳු දුටුවා. සක්දෙවිඳු සිතුවා මේ
තාපසතුමා බොහෝ ම ගුණසම්පන්න කෙනෙක්. මම මොහුගේ සිහිය උපදවන්න ඕන යැයි සිතා ඒ කුටිය
වෙත ආවා. අහසේ සිට තාපසතුමාට මෙහෙම කිව්වා.
“පින්වත් තාපසතුමනි, ඇත් පැටියෙක් නැතිවෙලා හඬා වැටෙන එක ශ්‍රමණයෙක් වූ ඔබට ගැළපෙන
දෙයක් නොවේ.
එවිට තාපසතුමා කියනවා.
“දේවේන්ද්‍රය, ශ්‍රමණයෙක් වුවත් ආදරණීය කෙනෙක් ගේ වෙන්වීම නිසා සිතට දුකක්
ඇතිවෙනවා. ඇසට කඳුළක් එනවා. ශ්‍රමණයෙක් කියලා නො ඇඬී තිබෙන්නේ නැහැ. ඒකයි මම
අඬන්නේ.
“තාපසතුමනි, ඔබතුමා හඬනවිට මේ මියගිය සෝමදත්ත නැඟිටිනවා නම්, මමත් ඔබතුමා සමඟ එකතු
ව හඬන්නම්. අපි දෙන්නා ම හඬමු. හඬා වැටිලා ඇත් පැටියා නැඟිටුවා ගමුයි කිව්වා. ඒ
වචනය ඇසූ ගමන් තාපසතුමාට ලජ්ජාවක් ඇති වුණා. එතැන් පටන් නුවණ මෙහෙයවා කටයුතු කළා.
මේ ජාතක කතාවෙන් අපට පැහැදිලි වෙනවා දුකක්, කරදරයක් ජීවිතවලට ආ විට සෝ සුසුම්
හෙළීමෙන්, වැළපීමෙන්, තැවීමෙන් කටයුතු නො කොට ධර්මය තුළින් දුක් ගිනි නිවා ගැනීමට
කටයුතු කළ යුතු වෙන බව.
- නයනා නිල්මිණී |