Print this Article


සුවපත් මනසක් සුවබර දිවියක් - 17 කොටස:

සුවපත් මනසක් සුවබර දිවියක් - 17 කොටස:

සතුරු මිතුරු සැමට යහපත් චිත්තවේග මුදාහරින්න

නිරවුල් මනස ජීවිතයේ බොහෝ ප්‍රශ්නවලට නිවැරැදි විසඳුම් ලබා දෙයි. එහෙත් කාර්ය බහුල බව නිසා ම බොහෝ දෙනාගේ මනස නිරතුරුව ම ව්‍යාකූල ය. සිත පහසුවෙන් දියුණු කර ගැනීමට භාවනාව උපකාරි වුව ද ආචාර්ය ඇසුරකින් තොරව භාවනාව නිසි ලෙස වැඩිය නොහැකි ය. ලෝකයේ භාවනාවට අවධානය යොමු කරන බොහෝ දෙනා ථෙරවාදී නිකායන්ගේ භාවනානුයෝගිත්වය මහත් සේ අගය කරති. ඒ අතරෙන් ගුරුවරයකු සේ භාවනාව පහසුවෙන් වැඩීමට උපයෝගී කර ගත හැකි කෘතියක් ලෙස ලොව පිළිගැනෙන්නේ ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමි විසින් රචිත Mindfulness in plain English  (සතිමත් බව වැඩීම) කෘතියයි. එම කෘතිය භාෂා 32කට පරිවර්තනය වී ඇති අතර, අමෙරිකාව තුළ පමණක් මුද්‍රිත පිටපත් ලක්ෂ සියයක් ඉක්මවා අලෙවි වී ඇත. උන්වහන්සේගේ සතිමත් බව වැඩීමේ ලිපි පෙළ සෑම පසළොස්වක පෝදාක ම බුදුසරණ පුවත්පතේ පළවන අතර මේ එම ලිපි මාලාවේ දාහත් වැන්නයි.

තුන්වැදෑරුම් මඟ පෙන්වීම

භාවනාවේ යෙදීම දුෂ්කර කාර්යයකි. එය සහජයෙන් ම හුදකලා ක්‍රියාකාරකමකි. මෙහි දී, භාවනාවේ යෙදෙන සිතෙහි ම කොටසක් වන, මහත් බලගතු මානසික ශක්තීන්ට එරෙහි ව ඔබ තනිව ම සටන් වැද සිටියි. එය පටන්ගත් විට, ඔබව මහත් කම්පනයට පත්කරන එළිදරව්වලට ඔබ මුහුණදී සිටින බව ඔබට ම වැටහෙනු ඇත.

යම් දිනෙක ඇතුළත බලන විට ඔබට එරෙහි ව තිබෙන සංස්කාරකයන්ගේ විශාලත්වය හෝ බරපතළකම ඔබ තේරුම් ගනු ඇත. ඔබ සිදුරු කිරීමට උත්සාහ දරන්නේ තදින් බඳීන ලද, හිරු එළිය එහා මෙහා ගමන් නොකරන ශක්තිමත් බිත්තියක් සේ පෙනෙන දෙයකි. වාඩි වී එම සුවිසල් ගොඩනැඟිල්ල දෙස බලා සිටින ඔබ මෙසේ කියනු ඇත.

“ මා එය හරහා යා යුතුයි? එය කළ නොහැකි දෙයක්. එය මගේ මුළු ලෝකයයි. එය ‘මා’ යනුවෙන් අදහස් කරන සියල්ල මෙන් ම මා අවට ඇති සියල්ල තේරුම් ගැනීමට උපකාරී වන දේයි. එය ඉවත් කළ සැණින් මගේ ලෝකය බිඳ වැටී මා මිය යනු ඇත. මට එය පසුකළ නොහැකියි.”

එය ඉතා බියකරු වූ හා හුදෙකලා වූ හැගීමකි. “මා මෙහි තනිවී සිටියි. මට සිතා ගැනීමට වත් නොහැකි තරම් දැවැන්ත දෙයක් මා බිම දමන්නේ කෙසේද?” යන්න ඔබ සිතනු ඇත.

මෙම සිතිවිල්ල ජය ගැනීමට නම් මෙහිදී ඔබ තනිවී නැති බව දැන ගැනීම ප්‍රයෝජනවත් වනු නිසැක ය. බොහෝ දෙනෙක් මෙම මාර්ගය පසුකර ගොස් තිබේ. ඔවුන්ට ද මෙම බාධකය මුණගැසුණු නමුත් ආලෝකය දෙසට ඔවුහු ඉදිරියට ම ගියහ. එම කාර්යය කළ හැකි වන හිත සකස් කර ගත් ඔව්හු, අන්‍යොන්‍ය සහයෝගය හා ධෛර්යය සඳහා සහෝදරත්වයේ බන්ධනයක් ද තනා ගත්හ. බුදුරජාණන් වහන්සේ මෙම බිත්තිය හරහා ගමන් ගත් අතර පසුව තව බොහෝ දෙනා එම මඟ ගියහ. අපට එම මඟ යෑමට මඟ පෙන්වීමක් ලෙස උන්වහන්සේ පැහැදිලි උපදෙස්, ‘ධර්මය’ යන නමින් ඉතිරි කළහ. මාර්ගය ආරක්ෂා කිරීමට සහ එකිනෙකා එහි රඳවා ගැනීම සඳහා භික්ෂූ ප්‍රජාවක් ඇති කළහ. ඔබ තනිවී නැත. තවමත් බලාපොරොත්තු සහගත තත්ත්වයක් පවතියි.

භාවනාව සඳහා ශක්තිය

විවිධ අප්‍රසන්න මානසික ස්වභාවයන් හමුවේ වාඩි වී සිටීමට හා මහත් අමිහිරි මානසික ප්‍රපංචවලට මුහුණදීම සඳහා ධෛර්යය අවශ්‍යය. උදාසීනකමින් සහනයක් නොලැබේ. මෙම කාර්යයට අවශ්‍ය ශක්තිය ලබා දීම සඳහා පහත දැක්වෙන වගන්ති නැවත නැවතත් ඔබට ම පවසා ගන්න. එය ඔබ අවංකව ම සිතන බව විශ්වාස කරන්න. ඔබ පවසන දෙය ම අදහස් කරන්න. “බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ හා ධාර්මික වූත් අනුගාමිකයින් ගමන් කළ මාර්ගයේ යෑමට මා සූදානම් ය. අලස පුද්ගලයින් හට එම මඟ ගමන් කළ නොහැක. මගේ ශක්තිය පවතීවා! මා සාර්ථක වේවා!”

විශ්ව මෛත්‍රිය

විපස්සනාව සිහිය පිළිබඳ අභ්‍යාසයකි. එනම් මමත්වය රහිත අවදිමත් බවයි (චඹචපඥදඥඵඵ).

විනිවිද දකින සිහිය විසින් මමත්වය මුලින් උදුරා දමන ක්‍රියාවකි. මෙම ක්‍රියාවලිය පටන්

ගන්නා විට භාවනා පුහුණුවන්නා ශාරීරික ව හා මානසික ව මමත්වයට මුළුමනින් ම හසුවී සිටියි. එළඹි සිහිය මගින් මමත්වයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන විට, එය මමත්වයට හේතු වන මූල පද්ධතිය දක්වා ගමන්කර කැබැල්ලෙන් කැබැල්ල ඒවා ඉවත දමයි. කෙසේ වෙතත් මෙහි මර උගුලක් තිබේ. එළැඹි සිහිය යනු මමත්වය රහිත අවදිමත් බවයි.

ආරම්භයේ දී ම මමත්වය අණසක පතුරුවා සිටියි නම්, කාර්යය පටන් ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට අප සිහිය යොදවන්නේ කෙසේද?

ඕනෑම මොහොතක පවතින, තරමක සිහියක් අපට තිබේ. සැබෑ ගැටලුව වන්නේ එය ප්‍රතිඵලදායී වීම සඳහා අවශ්‍ය ප්‍රමාණයක් එක් රැස් කර ගැනීමයි. එසේ කිරීමට අපට දක්ෂ උපක්‍රමයක් පාවිච්චි කළ හැකියි. එනම් එළඹි සිහියට තිබෙන විරෝධය අවම කර ගැනීම සඳහා මමත්වයේ සමහර අංශ දුර්වල කිරීමයි. මමත්වය මූලිකව ම ප්‍රකාශ වන්නේ තණ්හාව හා වෛරය ලෙසටයි. අල්ලා ගැනීම හා ප්‍රතික්ෂේප කිරීම බලවත් වන ප්‍රමාණයට සාපේක්ෂ ව දුෂ්කර කාර්යයක් සිහියට ද ඇත. මෙහි ප්‍රතිඵලය පහසුවෙන් දැකිය හැකියි. බලවත් බැඳීමකට හසුවී සිටින ඔබ භාවනාවට වාඩි වී සිටිය ද සාර්ථක ව එහි නිරත වීමට නොහැකි බව පෙනෙනු ඇත.

ඔබ ඔබගේ නවතම මුදල් ඉපයීමේ ව්‍යාපෘතියේ එල්බගෙන සිටියි නම්, බොහෝ විට භාවනා කාලයෙන් වැඩිපුර ගෙවෙන්නේ ඒ පිළිබඳ කල්පනා කිරීමට ය. මෑතක දී සිදුවණු කිසියම් නින්දාවක් හේතුවෙන් ඔබ කෝපයෙන් සිටින විට එය මුළු මනසම කෝපයෙන් පුරවාලනු ඇත. දවසකට තිබෙන කාලය සීමිත බැවින් ඔබගේ භාවනා කාලය ඉතා අගනේ ය. එය නාස්ති නොකිරීම නුවණට හුරු ය. එබැවින් මෙම බාධකයන් තාවකාලික ව හෝ ඉවත්කළ හැකි මෙවලම් ථෙරවාද බුදුදහම විසින් දියුණු කර ඇත. ඒ මගින් ඒවායේ මුල් සදහට ම ඉවත් කිරීමේ නිරත වීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.

එක අදහසක් ශුන්‍ය කිරීම සඳහා ඔබට තවත් අදහසක් භාවිත කිරීමට පුළුවන. ධනාත්මක චිත්තවේගයක් ඇති කිරීම මඟින් ඍණ චිත්තවේගයක් අවලංගු කළ හැකියි. තණ්හාවේ විරුද්ධ ක්‍රියාව ත්‍යාගශීලී වීමයි. වෛරයේ විරුද්ධ පස කරුණාවයි.

ස්වයං මෝහනය මඟින් ඔබට විමුක්තිය ලබා ගැනීම නොවන බව පැහැදිලි ව වටහා ගන්න. ඥානාවබෝධය හේතුප්‍රත්‍යයන් මත සැකසුන තත්ත්වයක් නොවේ. නිවන යනු හේතු ප්‍රත්‍යයන්ගෙන් ඔබ්බෙහි වූ අහේතුක තත්ත්වයකි. නිවන් අවබෝධ කර ගත් තැනැත්තා හේතු ප්‍රත්‍යයන් නිසා නොව ඇත්ත වශයෙන් ම ත්‍යාගශීලී හා කරුණාවන්ත ය.

එසේ වන්නේ, මූලික වශයෙන් මමත්වය මඟින් නොවැළැක්වූ ඔහුගේ සහජ ස්වභාවය ප්‍රකාශ වීමක් හේතුවෙනි. ආරෝපිත නොවූ එය මානසික ඖෂධයකි. උපදෙස් අනුව පාවිච්චි කළ විට, වර්තමානයේ පෙළෙන රෝග ලක්ෂණවලින් ඔබ තාවකාලික ව සුවයක් ලබනු ඇත. ඉන්පසු ඔබට අවංක ව ම රෝගය සුව කිරීමේ කටයුතුවල යෙදිය හැකි වෙයි.

ස්වයං වෛරය හා ස්වයං හෙළාදැකීම පිළිබඳ සිතිවිලි පළවා හැරීමෙන් එය ආරම්භ කරන්න. එය තරමක් පහසු කටයුත්තකි. යහපත් හැගීම් සහ යහපත් ප්‍රාර්ථනාවන් ඔබ තුළට ගලා ඒමට ඉඩ හරින්න. ඔබට සමීප පුද්ගලයින් සඳහා ද එසේ කරන්න.

ක්‍රමයෙන් ඔබගේ සමීපතමයන්ගෙන් බැහැර ව එම චිත්තවේග ඔබගේ සතුරන් වෙත හා විශ්වයේ පවතින සියලුම ජීවීන් වෙත යොමු කරන්න. නිවැරැදිව, පුහුණු කළ විට මෙය ම බලවත් හා වෙනසක් ඇති කළ හැකි අභ්‍යාසයක් වනු ඇත. සෑම භාවනා කාලයක් පටන්ගැනීමේ දී පහත දී ඇති වගන්ති ඔබට ම පවසා ගන්න. එහි අදහස සැබැවින් ම දැන ගන්න.

මම සුවපත් වෙම්වා! සතුටින් හා සාමයෙන් යුතු වෙම්වා! මට දුක්පීඩා ඇති නොවේවා! අපහසුතා ඇති නොවේවා! ගැටලු ඇති නොවේවා! සැමවිට ජය ලැබේවා! වැළකිය නොහැකි අපහසුතා ගැටලු හා පසුබෑම් ජය ගැනීමට ඉවසීම, ශක්තිය, අවබෝධය හා අධිෂ්ඨානය ඇති වේවා!

මාගේ මව්පියෝ සුවපත් වෙත්වා! සතුටින් හා සාමයෙන් යුතු වෙත්වා! ඔවුන්ට දුක්පීඩා ඇති නොවේවා! අපහසුතා ඇති නොවේවා! ගැටලු ඇති නොවේවා! සැමවිට ජය ලැබේවා! වැළකිය නොහැකි අපහසුතා ගැටලු හා පසුබෑම් ජය ගැනීමට ඉවසීම, ශක්තිය, අවබෝධය හා අධිෂ්ඨානය ඇති වේවා!

මගේ ගුරුවරු නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! සතුටින් හා සාමයෙන් යුතු වෙත්වා! ඔවුන්ට දුක්පීඩා ඇති නොවේවා! අපහසුතා ඇති නොවේවා! ගැටලු ඇති නොවේවා! සැමවිට ජය ලැබේවා! වැළකිය නොහැකි අපහසුතා ගැටලු හා පසුබෑම් ජය ගැනීමට ඉවසීම, ශක්තිය, අවබෝධය හා අධිෂ්ඨානය ඇති වේවා!

මගේ නෑදෑයෝ නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! සතුටින් හා සාමයෙන් යුතු වෙත්වා!

ඔවුන්ට දුක්පීඩා ඇති නොවේවා! අපහසුතා ඇති නොවේවා! ගැටලු ඇති නොවේවා!

සැමවිට ජය ලැබේවා! වැළකිය නොහැකි අපහසුතා ගැටලු හා පසුබෑම් ජය ගැනීමට ඉවසීම, ශක්තිය, අවබෝධය හා අධිෂ්ඨානය ඇති වේවා!

මගේ හිත මිතුරෝ සුවපත් වෙත්වා!

සතුටින් හා සාමයෙන් යුතු වෙත්වා! ඔවුන්ට දුක්පීඩා

ඇති නොවේවා! අපහසුතා ඇති නොවේවා! ගැටලු ඇති නොවේවා! සැමවිට ජය ලැබේවා!

වැළකිය නොහැකි අපහසුතා ගැටලු හා පසුබෑම් ජයගැනීමට ඉවසීම, ශක්තිය, අවබෝධය හා අධිෂ්ඨානය ඇති වේවා!

මා නොහඳුනන සියලු දෙනා සුවපත් වෙත්වා! සතුටින් හා සාමයෙන් යුතු වෙත්වා! ඔවුන්ට දුක්පීඩා ඇති නොවේවා! අපහසුතා ඇති නොවේවා! ගැටලු ඇති නොවේවා! සැමවිට ජය ලැබේවා! වැළකිය නොහැකි අපහසුතා ගැටලු හා පසුබෑම් ජයගැනීමට ඉවසීම, ශක්තිය, අවබෝධය හා අධිෂ්ඨානය ඇති වේවා!

මගේ සතුරෝ සුවපත් වෙත්වා! සතුටින් හා සාමයෙන් යුතු වෙත්වා! ඔවුන්ට දුක්පීඩා ඇති නොවේවා! අපහසුතා ඇති නොවේවා! ගැටලු ඇති නොවේවා! සැමවිට ජය ලැබේවා! වැළකිය නොහැකි අපහසුතා ගැටලු හා පසුබෑම් ජය ගැනීමට ඉවසීම, ශක්තිය, අවබෝධය හා අධිෂ්ඨානය ඇති වේවා!

සියලු සත්වයෝ නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! සතුටින් හා සාමයෙන් යුතු වෙත්වා! ඔවුන්ට දුක්පීඩා ඇති නොවේවා! අපහසුතා ඇති නොවේවා! ගැටලු ඇති නොවේවා! සැමවිට ජය ලැබේවා! වැළකිය නොහැකි අපහසුතා ගැටලු හා පසුබෑම් ජය ගැනීමට ඉවසීම, ශක්තිය, අවබෝධය හා අධිෂ්ඨානය ඇති වේවා!

මෙම උච්චාරණය අවසන් වූ පසු, ඔබගේ සියලුම ප්‍රශ්න හා ගැටුම් භාවනා කාලය පුරාම පසෙකට කර තබන්න. මුළු පොදියම බිමට අතහරින්න. භාවනා කරන අතරතුරේ දී ඒවා පැමිණියහොත් පවතින සැටියෙන් ම ඒවා බාධක ලෙස සලකන්න.

මෛත්‍රී භාවනාව උදෑසන පිබිදුණු විගස ම හා රාත්‍රියේ නින්දට යෑමට පෙර කළ හැකි භාවනාවක් ලෙස නිර්දේශ කර ඇත. බියකරු සිහිනවලින් තොර සුවදායී නින්දක් ලබා දීමට එයට හැකියාව ඇති බව ද කියැවේ. එය උදෑසන පිබිදීම ද පහසු කරයි. එය ඔබ ව සෑම මනුෂ්‍යයින් වෙත, සියලුම ජීවීන් වෙත හා යහළුවන් හෝ සතුරන් වෙත මිත්‍රශීලී බව ඇති කර, විවෘත කරයි.

සිත නිශ්චල ව පවතින විට එහි නැඟෙන වඩාත් හානිකර මානසික පීඩාකාරී බව අමනාපයයි. ඔබට ශාරීරික හෝ මානසික හෝ වේදනාව ගෙනදුන් අතීත සිද්ධියක් සිහිකරන විට ඔබ අමනාපය නොහොත් නුරුස්සනා බව අත්දකිනු ඇත. මෙම අත්දැකීම ඔබ තුළ අපහසුතාව ය, ආතතිය, කැළඹීම සහ චිත්ත පීඩාව ඇති කිරීමට පිළිවන.

වාඩිවී, එක එල්ලේ මෙම මානසික ස්වභාවය අත්දැකීම ඔබට දුෂ්කර විය හැකි ය. එම නිසා ඔබ, ඔබගේ භාවනාව මුළු විශ්වය කෙරෙහි මෛත්‍රිය ඉපිදවීමෙන් ආරම්භ කළ යුතු බව අපි නිර්දේශ කරමු.