Print this Article


නුවණ සොයන මඟ නොයන අනුවණ දන

වේළුද්වාර සූත්‍රය ඇසුරෙනි:

නුවණ සොයන මඟ නොයන අනුවණ දන

සියල්ල පරිපූර්ණ ව ඇතත් බොහෝ දෙනකුට අහිමි වූ දෙයක් තිබේ. එනම්, හිතේ සැනසිල්ලයි. අහිමි ව ඇති සතුට ළඟා කර ගැනීමට ඔවුන් නොයෙක් දේ කරති. මද්‍යසාරවලට යොමුවීම ඉන් එකකි.

ඔවුන් සතුට ලබා ගැනීම සඳහා තෝරා ගත් මඟ නිවැරැදි නොවන නිසා, වඩ වඩාත් දුකට ඇද වැටෙති. ගැටලු වැඩි කර ගනිති. තමා තුළ ඇති වූ පීඩාකාරී බව වෙනත් බාහිර බලවේග නිසා ඇතිවූවක් සේ සලකා සමාජයට වෛර කරති. පළිගනිති. මේ තත්ත්වය මෙරට පමණක් නොව ලෝකයට ම අද තවත් ගැටලු රාශියක් නිර්මාණය කිරීමට සමත් වී තිබේ.

බුදුරජාණන් වහන්සේ වරක් කොසොල් දනව්වේ වේළුද්වාර නම් ගමට වැඩම කළහ. එහිදී වේළුද්වාර ඇතුළු ව එගම් වැසි බමුණෝ උන්වහන්සේ හමුවට පැමිණෙති. ඔවුහු බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණෙන්නේ, උන්වහන්සේ පිළිබඳ පැතිර තිබුණු කීර්ති රාවය ඇසීමෙනි.

ඔවුහු උන්වහන්සේට දහම් දෙසීමට ආරාධනා කළේ මෙලෙසිනි. භවත් ගෞතමයන් වහන්ස, අපි දරුවන්ගේ බාධා සහිත ව යහන්හි වෙසෙමු, සඳුන් ඇඟ ගල්වමු. මල් ගඳ විලවුන් දරන්නෙමු, කසීසළු අඳින්නෙමු, රන් රිදී ආදිය භාවිත කරන්නෙමු. එවැනි ජීවිත ගත කරන, එවැනි ජීවිත ගත කිරීමට කැමැත්ත ඇති අපට, මිය ගිය පසු සුගතියෙහි උපදින දහමක් දෙසනු මැනව“ කියායි.

බුදුහාමුදුරුවෝ ඔවුනට අනුගමනය කිරීම සඳහා අත්තුපනායික දහමක් දෙසූහ. එකී කරුණු වේළුද්වාර සූත්‍රය ඇතුළත් ව තිබේ.

මේ සූත්‍රයේ එන කරුණු නුවණින් විමසා බලනවිට, අගනා පාඩම් කීපයකි. එනම්

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම මිනිසුන් සඳහා මිසක බෞද්ධයින් සඳහා පමණක් නොවන බව,

ගිහි ජීවිතයේ කටයුතුවල නිරත වන අතර, දහම් මඟට බැස ගැනීමට ඉඩකඩ තිබෙන බව.

කය හා වචනය සංවර කර ගත යුත්තේ ඇයි ද යන වග,

අත්තුපනායික ධර්ම මාර්ගය පැහැදිලි කර දීම,

ත්‍රිකෝටි පාරිසුද්ධ සීලය කුමක් දැයි හෙළි කිරීම,

ආධ්‍යාත්මික දියුණුව තමන්ට ම ඇති කරගත හැකි බව පෙන්නාදීම, වැනි අගනා කරුණු රැසක් මෙහි ඇතුළත් වේ.

බුදුරදුන් හමුවට පැමිණි මොවුහු කිසිවෙක් බෞද්ධයෝ නොවෙති. උන්වහන්සේ ඔවුනට දහම් දෙසූහ. එයින් පෙනෙන්නේ මේ දහම බෞද්ධයින් සඳහා නොව මිනිසුන් සඳහා වූවක් බවයි.

මෙහි පළමුවෙන් ම පෙන්වා දෙන්නේ කය හා වචනය සංවර කර ගෙන සිල්වත් වන ආකාරයයි. ප්‍රාණඝාතය, අදත්තාදානය හා කාමමිථ්‍යාචාරය යන කායික ක්‍රියා තුන බැහැර කිරීම ද, මුසාවාද, පිසුණාවාචා, ඵරුසාවාච හා සම්ඵප්පලාපා යන වචනයෙන් සිදුවෙන වැරැදි හතරෙන් වැළකීම ද යන කරුණු හත එයට ඇතුළත් වේ.

සිල් සමාදන් වීමෙන් කෙනකු කරන්නේ, තමන් සමාදන් වන සිල්පදවලින් කියැවෙන වැරැදි නොකර සිටීමට, තමන් තුළ පොරොන්දුවක් ඇතිකර ගැනීමයි. සීලයෙන් කෙරෙන්නේ පුද්ගල ක්‍රියාකාරකම් පාලනය කිරීමයි.

ලොව කොතැනක හෝ මිනිස් හැසිරීමක් නිසා විපතක් කරදරයක් සිදු වේ නම්, ඒ සීලය නොමැතිකම නිසයි. මේ සූත්‍රයේ සිල් ආරක්ෂා කළ යුතු හේතු හතරක් දක්වයි. මිනිසුන් මෙන් ම සතුන් ද ජීවත්වීමට කැමති වෙති. එය ජිවිතුකාමා යනුවෙන් දැක්වෙයි. කිසිවෙක් මරණයට කැමති නොවෙති. එය අමරිතුකාමා යනුවෙන් දැක්වෙයි. අප මෙන් ම සතුන් ද සැපයට කැමැති ය. එය සුඛකාමා යනුවෙන් සඳහන් ය. හැම දෙනාම දුකට අකමැති ය. දුක පිළිකුල් කරයි, දුක්ඛ පටික්කුලා යනුවෙන් ඒ බව දැක්වෙයි.

බෞද්ධ ඉගැන්වීම මිනිසුන් ගැන පමණක් සිතා කටයුතු කිරීමට නොව, සතුන් පිළිබඳ ව ද එලෙසින් ම කටයුතු කිරීමටයි. එය තමන් උපමාවට ගැනීමෙන් ක්‍රියාත්මක කළ හැක. අත්තුපනායික ධම්ම පරියාය යනුවෙන් එය ඉගැන්වේ.

මගේ ජීවිතයට තව කෙනකුගෙන් තර්ජනයක් එල්ල වනවාට මා අකැමැති ය. එමෙන් අනෙකකු ද ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වනවාට අකමැති ය. එබැවින් මා විසින් තව කෙනකුට හිරිහැර නොකළ යුතු යි. එලෙස සිතා හැම වරදක් ම, හැම දුරාචාරයක් ම නොකර අත්හළ යුතු බව මේ න්‍යායෙන් ඉගැන්වේ.

“රටේ ලෝකේ මිනිස්සු අපට හදන්නට බැහැ, අපි හැදුනම ඇතියි” සමහරු සිතති. එය බෞද්ධකම නොවේ. තමන් දුසිරිතෙන් වැළකී, අනෙක් අයත් වළකාලීමට කටයුතු කිරීම සැබෑ බෞද්ධයාගේ වගකීම බව, මේ සූත්‍රයේ පැහැදිලි කෙරෙන ත්‍රිකෝටි පාරිසුද්ධියෙන් අනාවරණය කෙරෙයි. ඒ අනුව පුද්ගලයකු තුන් ආකාරයකින් පිරිසුදුකම ඇති කර ගත යුතුයි. එනම්, තමන් වරදින් වැළකීම පළමුවැන්නයි. දෙවැන්න අනුන් වරදින් වළකාලීමයි. තෙවැන්න වැරැදි නොකිරීමේ ගුණය අගය කිරීමයි. බෞද්ධයින්ගෙන් වැඩි දෙනා පළමුවැන්න ඉටු කරති. තමන් වරදින් වැළකී සිටිති. එහෙත් දෙවැනි තෙවැනි කරුණු අමතක කරති.

අඹු දරුවන් පෝෂණය කරමින්, රැකියාවල යෙදෙමින් කාමභෝගී ජීවිතයක් ගෙවන ගිහියාට, දහමට අනුව කටයුතු කිරීම උගහට යැයි සමහරු සිතති, දුක ගැන කතා කරන දහමක, සැපවත් ජීවිත ගෙවීමට ඉඩක් තිබේ දැයි ඇතැමුන් විමසති. මේ ගැටලුවලට කදිම විසඳුමක් මෙම සූත්‍රයෙන් ලබා ගත හැක. දහම් මඟ පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත් කෙනකුට, සැබවින් ම ගිහි ජීවිතයට අදාළ සියල්ල කරමින් සතුටින් ජීවත්විය හැකි බව, මෙහි දැක්වෙන සෝතාපන්න අංග හතරෙන් හෙළි කරයි.

අවේච්චප්පසාදයෙන් යුතුව බුදු රජාණන් වහන්සේ, ධර්ම රත්නය හා සංඝරත්නය සරණයාමත්, අරියකාන්ත සීලය ආරක්ෂා කිරීමත් යන මේ සතර සෝතාපන්න අංග වේ. බුදුන් සරණයාම යනු බුද්ධත්වය පිළිගැනීමයි. එසේ පිළිගැනීමක් ඇති තැනැත්තා බාහිර බලවේග පිළිබඳ විශ්වාස නොකරයි. දහම නුවණ හෙළි කරන මඟ බැවින්, දහම සරණ යන්නාට අනෙකකු සරණයෑමේ අනුවණකම වැටහෙනු ඇත.

ආර්ය සංඝයා තුළ පැවති උදාර ගුණ, තමන් තුළ ඇති කර ගැනීම සංඝයා සරණ යාමයි. කරුණු දැන තෙරුවන් සරණ යන තැනැත්තා අකුසලයෙන් වැළකී, කුසලයෙහි යෙදෙයි, අන් අය ද අකුසලයෙන් වළකාලයි. එපමණක් ද නොව, ඔහු තමන් සමාදන් වන සීලය පළුදු නොකර ගෙන, සිදුරු නොකර ගෙන ආර්යයන් වහන්සේගේ ප්‍රසාදය ඇතිවන පරිදි, ආරක්ෂා කරයි. එසේ රකිනු ලබන සීලය අරියකාන්ත සීලය ලෙස දක්වා තිබේ.

මුලින් දක්වන ලද කාය වාග් සුචරිතයේ අංග හත සපුරාගෙන, සෝතාපත්ති අංග හතර දියුණු කර ගත් තැනැත්තාට, “මම නිරයෙන්, ප්‍රේතලෝකයෙන්, තිරිසන් බවෙන් මිදුනෙක් වෙමියි” සහතික විය හැක. එබැවින් ඔහුගෙන් කිසිවකුටත් නපුරක්, නරකක් සිදු නොවේ. යහපතක් ම, සැපතක් ම සිදු වෙයි.