Print this Article


උගත්කම බබළවන්නේ සංවේදී සිතයි

උගත්කම බබළවන්නේ සංවේදී සිතයි

“අචරිත්වා බ්‍රහ්මචරියං
අලද්ධා යොබ්බනේ ධනං
ජිණ්ණ කොඤ්ඤාව ජායන්ති
ඛීණ මච්ඡේව පල්ලලේ

මේ ගාථා ධර්මය ධම්මපදයේ එන්නකි.

තරුණ කාලයේ කළ යුතු කාරණා දෙකක් එහි සඳහන් කරයි. බඹසර විසීම හා ධනය ඉපයීම යි. යමෙක් මේ ද්විත්වයෙන් එකක් හෝ නො කර තරුණ කාලය ගත කරන්නේ නම්, මසුන්ගෙන් හිස් වුණු දිය සිදුණු විලක් අසලට වී පියඹා යෑමට නොහැකි ව, පසුතැවෙන කොස්වා ලිහිණියාට උපමා කරයි.

නීති විරෝධී මාර්ගයෙන් ධනය ඉපයීමට ගොස් බොහෝ අකරතැබ්බයන්ට හා තම ජීවිතය පිරිහීමට ලක් කර ගන්නා අයුරු අද ඕනෑ තරම් ය. ඒ සෑම කෙනකුට ම බොදු පිළිවෙත් හා ධර්මෝපදේශ අනුගමනය කිරීම තුළ මෙම තත්ත්වයෙන් මිදී දැහැමි දිවි පෙවෙතකට බුදු දහමින් මඟ පාදා දෙන අයුරු අපූර්ව ය.

ලෝකෝත්තර දිවියට මෙන් ම ලෞකික ජීවිතයේ යහපැවැත්ම උදෙසා ද බුදු දහම පූර්වාදර්ශ සපයයි. බඹසර විසීමට, දස පංචශීල ප්‍රතිපත්තිය රැක ගෙන ධාර්මික ක්‍රමවේදයන්ට අනුව කටයුතු කිරීමට, බුදුදහමින් නිතැතින් ම මාර්ගෝපදේශ ලබා දෙයි.

තරුණ අවධියේ වටිනාකම මනාව වටහා ගත් බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ සිතුම් පැතුම් පමණක් නොව හැකියාවන්ට ද උචිත ලෙස ධර්ම කරුණු පෙන්වා දෙයි. ව්‍යග්ඝජජ්ජ සූත්‍ර දේශනාව තුළ තරුණ කාලය තුළ ම ජීවිතය සමෘද්ධිමත් කර ගත යුතු අයුරු පෙන්වා දී තිබේ.

අංගුත්තර නිකායේ පෙන්වා දෙන්නේ යොවුන් වියට එළඹෙන ඕනෑම කෙනකුගේ කායික, වාචසික මෙන් ම මානසික වශයෙන් බොහෝ විපර්යාසයන් ඇති වන බවත් මෙම විපර්යාසයන් තුළින් එළඹෙන අයහපත් පැතිකඩ වැඩි බවත් යහපත් පැතිකඩ අල්ප බවත් ය.

මේ ස්වභාවයේ අයහපත් ගතිපැවතුම්වලට නූතන සමාජයේ තරුණ පිරිස් බොහෝ සෙයින් නැඹුරුවී ඇති බව දක්නට ලැබේ. මානසික වශයෙන් ආවේගශීලි ව, වැඩිහිටි උපදෙස් නො සලකමින් ඔවුන් කරදරයක් මෙන් සිතන, ආගම දහම, සාරධර්ම පිළිනොගන්නා, අදූරදර්ශී ක්‍රියා කරන පිරිසක් බවට පත්ව ඇත. උගත්කම පමණක් ජීවිතය ජය ගැනීමට ප්‍රමාණවත් නොවේ. බුද්ධිමත් බව ද මානව පැවැත්ම තුළ තිබිය යුතු ප්‍රබල ගුණාංගයකි.

බොදු පිළිවෙත් අනුගමනය කරමින් පහත් ලාමක දේට වටිනා තුරුණු අවධිය කැප නො කොට හරවත් සදාචාරවත් බොදු පිළිවෙතකට සිත යොමු ව කටයුතු කිරීමට අප හැමගේ තරුණ දිවිපැවැත්ම නිතැතින් ම පත්කර ගැනීමට කටයුතු කළ යුතු වේ.