Print this Article


වස්සාන කාලයට පින් සිතින් එක්වන්න

වස්සාන කාලයට පින් සිතින් එක්වන්න

‘අයං වස්සානකාලො’

මේ වස්සාන සමයයි. ඇසළ පුර පසළොස්වක දායින් පසුව බුද්ධ නියමයට අනුව සමස්ත බෞද්ධ ලෝකයේ ම වස් කාලය හෙවත් වස්සාන සමය ආරම්භ වී දැන් නිකිණි පුර පසළොස්වක දා වන විට එක් වස් මාසයක් ගෙවීමට ආසන්න සමයයි. ඉතින් තවත් මාස දෙකක් ඉක්මවා ගොස් වස්සාන සමය නිමාවට පත් වන්නේ චීවර මාසය ආරම්භ කරමින්.

මේ කාලය තුළ විශේෂයෙන් වස් වසා වැඩවාසය කරන උපසම්පන්න භික්ෂූන් වහන්සේ සතිය වඩාත් මුවහත් කර ගන්නා කාලයක් ලෙසයි සටහන් වන්නේ. නිවනට හෙවත් විමුක්තියට මඟ සිහිය පිහිටුවා ක්‍රියා කිරිමට හුරුවීම යි. සැබැවින් ම එදා සංචාරක ජිවිතයක් ගත කරමින් දනව් සැරිසරමින් ගමින් ගමට පා ගමනින් වැඩම කර චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය අත්ථාය හිතාය ලෝකානුකම්පාය යන මේ බුද්ධ නියමය හැට නමක් වූ ප්‍රථම රහත් ධර්ම දූත පිරිස අමතා ප්‍රකාශ කිරීමෙන් බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ මහත් දුෂ්කරත්වයෙන් අවබෝධ කර ගත් ලෝක තත්වය දුක් විඳීන ජනතාවට පහදා දීමටයි. වඩාත් වේගයෙන් බුදුදහම දඹදිව මධ්‍ය දේශය පුර ව්‍යාප්ත කරලීමට යි.

ඉතින්, ඒ නියමයට අනුව ඒ හැට නම ක්‍රමයෙන් සංඛ්‍යාත්මක ව වැඩි වුණා. තවතවත් එම උතුම් කාර්යය ඉටු කිරීමට දහස් ගණනින් භික්ෂූන් වහන්සේ දනව් සැරිසැරුවා.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් වසර විස්සක් ඇවෑමෙන් නියම කළේ දනව් සැරිසැරීම නවතා එක්තැන් වී ඒ ස්ථානයේ දායක පිරිස් විසින් කුටියක් සෙනසුනක් පූජා කරයි නම් ඒ ස්ථානවල නැවතී තමන් වහන්සේගේ මෙලොව පරලොව වැඩ සාදා ගෙන සසර විමුක්තිය උදා කර ගන්නා ලෙසයි. ඉතින් ඒ ආශ්‍රීත දායක සමූහයා සෙනසුනක් සකස් කර දී වස් විසීමට ආරාධනා කරත් නම්, ඒ පිරිස උන්වහන්සේට සිවුපසයෙන් ඇප උපස්ථාන කරමින්, ඒ අයත් පින් සිදු කර ගන්නා බවයි අදහස් කරන්නේ. ඉතින් ඒ පිළිවෙත අනුව වස්කාලය ආසන්න වෙත් ම අදත් දායක පින්වතුන් වස් විසූ භික්ෂූන් වහන්සේට ඉදිරි වස් තුන් මාසය වස් ඉටා වැඩ සිටිමට ආරාධනා කරනවා. ඒ වගේම චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපච්ච යන සිවුපසයෙන් උපස්ථාන කරන්නට අදිටන් කර ගන්නවා.

බුදුරජාණන් වහන්සේ දවස භික්ෂූන් වහන්සේ වස් විසීම පිණිස ඈත දුර බැහැර ප්‍රදේශවලට සැදැහැති දායක පිරිස් සොයා වැඩම කළා. සෙනසුනක් සපයා ගෙන වස් වසා වැඩ සිටියා. එම අවස්ථාවන්වල උන්වහන්සේ බුදුරජණන් වහන්සේගෙන් තමන් වහන්සේගේ චරිතයට සුදුසු කමටහනක් ලබා ගෙන ඒ සම්බන්ධයෙන් සිත දියුණු කොට විදර්ශනා භාවනාව වඩා රහත් වූ අවස්ථා බොහොමයි. එමෙන් ම ඇතැම් භික්ෂූන් වහන්සේ එසේ කමටහන් ලබා ගෙන ආරණ්‍යවාසී ව වස්කාලය ගත කළත් කිසිදු අධිගමයක් ලබා ගත නොහැකි ව නැවත බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ කමටහන් ලබා ගෙන ගොස් අවවාදයෙහි පිහිටා අධිගම ලබා ගත් ආකාරය අපේ ධර්ම සාහිත්‍යයෙහි කොතකුත් සටහන් වී තිබෙනවා.

ඉතින් මා මුලින් සඳහන් කළ ආකාරයට වස් ආරාධනා ලැබ සිහිය පිහිටුවා වස් කාලය තම සසර විමුක්තිය උදා කර ගැනීමට ක්‍රියා කරන ඇතැම් භික්ෂූන් වහන්සේට වඩා ඉදිරියට ගොස් සසර විමුක්තිය සලසා ගැනීමට සමත් වු ගිහි උවසු උවැසියන් ගැන අපේ බණ පොතේ සඳහන් වෙනවා.

බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි කොසොල් ජනපදයෙහි ඇලගමුව නම් ගමේ වාසය කළ මහත් සැදැහැ සිත් ඇති මාතිකමාතාවගේ කථා පුවත මෙහිදී අතිශයින් වැදගත් වෙනවා. එක අවස්ථාවක වර්ෂා සමය ආරම්භ වීමට ආසන්න ව බුදුරජාණන් වහන්සේගෙන් සුදුසු කමටහන් ද ලබා ඇලගමුවට වැඩම කළ සැටනමක් වූ භික්ෂූන් වහන්සේට සැදැහැති උපාසිකාව එදා හමු වුණා. එම භික්ෂූන් වහන්සේට දහවල් මහ දන් පවත්වා ඉදිරි වස්සාන කාලයෙහි වස් විසීමට ද සුදුසු සෙනසුන් පිළියෙළ කරවා දුන්නේ මහත් වූ සැදැහැ සිත නිසා ම යි. ඉතින් මේ හිමිවරු උවැසියට පින් සිදුවන ආකාරයෙන් සිවුපසය පරිභෝග කරමින් අප්‍රමාද ව කටයුතු කරනු පිණිස භාවනාවට සිත් යොදවා කල් ගත කරන්නට යොමු වුණා. පසුව දවසක් දා සෙනසුනට ආ උවැසියට කිසිදු භික්ෂූන් වහන්සේ නමක් දැක ගන්නට නො ලැබී මහත් දුකට පත් වුණා. එහෙම වුණත් දන්හලට වැඩම විමට සීනුව හෙවත් ගෙඩිය නාද කළවිට සතර අතින් මනා නිශ්ශබ්දතාවකින් පියවර මනිමින් භික්ෂූන් වහන්සේ දන්හලට වඩින ආකාරය දැකීමෙන් ම මහත් සතුටට පත් වූ උපාසිකාව භාවනානුයෝගී ව මේ වස්කාලය ගත කරන ආකාරය දැක තවතවත් සතුටට පත්ව තමන්ටත් මේ කාලය තුළ කමටහනක් වඩා සිත දියුණු කර ගැනීමේ හැකියාවක් ඇත් දැයි කල්‍යාණමිත්‍ර භික්ෂූන් වහන්සේ නමකගෙන් ඇසුවා. ඇයටත් ඒ හැකියාව ඇති බව දැනගෙන මහත් වූ සොම්නසට පත්වුණා. උන්වහන්සේගෙන් කායගතාසති භාවනා කමටහන දැන ඉගෙන සිත දියුණු කර ගෙන අනාගාමි ඵලයට පත් වුණා.

ඒ, වස් විසූ සැටනමක් භික්ෂූන් වහන්සේගෙන් කිසිදු භික්ෂුවකට සෝවාන් ඵලයටවත් පත් වීමට හැකියාවක් ලබා නොගත් තත්ත්වයක් උඩයි. මේ කථාව තවදුරටත් විස්තර වශයෙන් පෙන්වා දෙන්නට හැකියාව ඇතත් අප තේරුම් ගත යුතු වන්නේ කෙතරම් දුරට එම භික්ෂූන් වහන්සේ හැට නමට දන්පැන් පිළියෙළ කිරිම් ආදි කටයුතුවල යෙදෙමින්, සිවුපසයෙන් උපස්ථාන කරමින් ම තමන්ගේ සසර ගමන කෙටි කර ගැනීමට ලද විවේකය ප්‍රයෝජනයට ගත් ආකාරයයි.

තමන්ගෙන් ප්‍රත්‍ය පහසුකම් ලබන එම භික්ෂූන් වහන්සේ හැට නමට වඩා ඉදිරියෙන් එම වස්කාලය තුළ ම අධිගමයන් ලබා ගත් ආකාරය කෙ තරම් විශ්මය දනවනවා ද යන්නයි.

ඉතින් තමන්ගේ විවේකය ප්‍රයෝජනයට ගනිමින් ලත් අවස්ථාවෙහි සිත දියුණු කර ගැනීමේ ක්‍රියාවලියට ඇය පෙළඹුණේ මෙම වස් කාලය ඇයට වඩාත් ඵලදායක ලෙස ගෙවුණ නිසා බව මේ කරුණින් අපට ප්‍රකට වෙනවා.

මෙහි දී ඉතාමත් වැදගත් කරුණ වන්නේ අපට ලබා ගත හැකි කල්‍යාණ මිත්‍ර සම්පත්තියේ තරමට ගිහි පැවිදි දෙපක්ෂයට ම මේ වස්සාන සමය වඩාත් ඵලදායක කර ගැනීමට ඇති හැකියාව අප විසින් අවබෝධ කර ගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාව යි.

ඒ වගේම තමා වස්කාලය පින්දහම් කටයුතුවලට ම වෙන් කර ගෙන ක්‍රියා කරන කල්‍යාණ මිත්‍ර ඇසුර ඇති ගිහි ජනතාව ද අප අතර සිටිනවා. එදත් එහෙම සිටි බවට කො තෙකුත් නිදසුන් අපේ බෞද්ධ සාහිත්‍යයේ සටහන් වෙනවා. එපමණක් නොවෙයි. අදත් එදා වගේ ම වස් ආරාධනා ලැබ සිවුපසය පරිභෝග කරමින් සුව සේ වස් කාලය ගත කරන ඇතැම් භික්ෂූන් වහන්සේටත් වඩා ඉදිරියට ගොස් මේ කාලය තුළ නිති පන්සිල්, පොහොය අටසිල්, දසසිල් පවා සමාදන් වී තම සසර විමුක්තිය උදෙසා ගිහි උවසු උවැසියන් ක්‍රියා කරන අවස්ථා අපට දැක ගන්නට හැකියාව තිබෙනවා.

වෙහෙර විහාරස්ථානවල නිති ධර්ම දේශනා, බෝධි පූජා, ආදි කොට ඇති විවිධ පින්කම් සිදු කිරීමට බොහොම සිහි බුද්ධියෙන් යුතු ව භික්ෂූන් වශයෙන් අප විසින් සංවිධානය කළ යුතු වෙනවා. ඒ හැම ක්‍රියාවක් ම බොදු පොදු මහජනතාවගේ ශ්‍රද්ධාව දියුණු කරන්නක් විය යුතු වෙනවා. ප්‍රඥාව දියුණු කර ගැනීමට යොමු කළ යුතු වෙනවා.

ශ්‍රද්ධාව හා ප්‍රඥාව මුහුකුරා යාම නිවන යි. විමුක්තිය යි. සසර නැවැත්ම යි. අද අපේ සමාජයේ හැම ක්‍රියාවක් ම වාණිජ අරමුණ අනුව පෙළගැසී තිබෙනවා. ඒ තත්ත්වය ඇතැම් විට මෙවැනි වස් කාලය තුළ සිදු වන බෞද්ධාගමික සිරිත් ස්වභාවයෙන් සිදු වන පින්කම්වලට වංචක ධර්ම වශයෙන් ඇතුළත් වී තිබෙනවා. ඒ තත්වය කෙසේවත් අප විසින් අගය කරන්නට පුළුවන්කමක් ඇත්තේ ම නැහැ.

එහි දී ඊට අනුශාසනා කරන අපේ කල්‍යාණමිත්‍ර භික්ෂූන් වහන්සේ වඩාත් සිහිය ඇති ව බොදු ජනතාවගේ මෙලොව පරලොව යහපත් අරමුණු ඇති කර ගෙන තෙරුවන් විෂයයෙහි ශ්‍රද්ධාව වැඩි දියුණු වන ආකාරයෙන් ම එවැනි ආගමික වත් සිරිත් සංවිධානය කිරීමට වගබලා ගත යුතු වෙනවා. එය භික්ෂුවගේ බරපතළ කාර්යභාරයක්.

මොකද? පුඤ්ඤකම්‍යතා ලෙස වංචක ධර්ම ක්‍රියාත්මක වී යමක් උපයා ගැනිම, සාමාන්‍ය බොදු පොදු ජනතාව මුළාවට පත් කොට තමන්ට යමක් ලබා ගැනීමේ, සැප සම්පත් ළඟා කර ගැනීමේ, අරමුණෙන් වස්කාලය තුළ ඇතැම් පින්කම් සංවිධානය, පෙරහර පැවැත්වීම වැනි විවිධ පුද පූජා ක්‍රම යොදා ගැනීමෙන් ජනතාව මුළා කර සිදු කරන වස්කාලයේ පින්කම් ද ඇතැම් විට දක්නට ලැබෙනවා.

මේ සියල්ල ම සසර ගමන නවතනු වෙනුවට සසර ගමන දිගු කරන වංචක ප්‍රයෝග ලෙසයි දහමෙහි විස්තර වන්නේ.

එහෙත් යහපත් සිතින් පින් සිතිවිලි වැඩෙන ආකාරයෙන් යම් පින් කටයුත්තක් පිළිබඳ විමසා සිටින උවසු උවැසියන්ට එවැනි පින්කම්වල අනුසස් කරුණාව දයාව මුල් කරගෙන පෙන්වා දීම භික්ෂූන් වහන්සේගෙන් අනුශාසනා වශයෙන් සිදු විය යුතු වෙනවා.