Print this Article


ලැබීම් නොලැබීම් දරා ගන්න සොබාදහමෙන් ඉගෙන ගනිමු

ලැබීම් නොලැබීම් දරා ගන්න සොබාදහමෙන් ඉගෙන ගනිමු

ජීවිතය ක්‍රමයෙන් වියපත් වෙනවා. ඒ අතීත මතකයන් ද අවදි කරමින්. විශේෂයෙන් ම තරුණ කාලය. තරුණ කාලය. මිහිරි මතකයන්ගෙන් ආවර්ජනය කළ හැකි නම් සිතට දැනෙන සතුට මොනතරම් ද? ඒත් අමිහිරි මතකයන් සිහිවන මොහොතක් පාසා දැනෙන්නේ පසුතැවීම්, කළකිරීම් නේ ද? ඒ නිසා තරුණ වියට අමිහිරි මතකයන් එක්කර නොගන්නට අපි උත්සාහ කළ යුතුමයි.

එදා බුදුරජාණන් වහන්සේ රාහුල පුංචි හාමුදුරුවන්ට පැවසූ අවවාද සිහිපත් කරන්න. අදටත් ඒ අවවාද කොපමණ වටිනවා ද?

ජලය උපමාවට ගෙන පාඩමක් ඉගෙන ගන්න. ජලයට අපවිත්‍ර දෑ එක් කළත්, කිරි මුසු කළත් ජලය අමනාපයකින් තොරව සියල්ල එක සේ පිළිගන්නවා. ගින්න උපමාවට ගෙන පාඩමක් ඉගෙන ගන්න. ගින්නට හසුවන ඕනෑම දෙයක් වෙනසක් නැති ව පුළුස්සා අළු කර දමනවා. සුළගින් පාඩමක් ඉගෙන ගන්න. කිසිදු වෙනසක් නොමැති ව සුළඟ සුවඳ වගේ ම දුගඳ රැගෙන හමා යනවා.

ජලය සියල්ල ඉවසනවා වගේ නින්දා, ප්‍රශංසා හා නපුරුකම් උපේක්ෂාවෙන් පිළිගන්නට ඔබටත් හැකි නම් කොපමණ අගේ ද? ගින්න සියල්ල පුළුස්සා හළු කර දමනවා වගේ වැරැදි දෑ කොතැන තිබුණත්, තමන් කළත්, අනුන් සිදු කළත් ඒවා ඉවත් කරන්න හැකි නම්, සුළඟට වෙනසක් නැතිව සුවඳත්, දුගඳත් රැගෙන යනවා සේ, කාගේ නමුත් හොඳ ගුණ තමන්ගේ ජීවිතයෙනුත් දකින්නට පුළුවන් නම්, එය බුදුරජාණන් වහන්සේ මිනිසත්කම ගැන දෙසූ ධර්මය ම බව වැටහෙනවා නේද?

ගලන ගඟක අපූරු රිද්මයක් තිබෙනවා. විටෙක ගල්බොරලු, මහ කළුගල් අතරින් ගඟ ගලා යනවා. තවත් විටෙක වේගයෙන් ගලනවා. පහතට ඇද හැලෙනවා. සුමුදු වැලිතලා මතින් ද ගලා යනවා. යම් කෙනෙක් ජලයට කිරි එකතු කරනවා. තවත් කෙනෙක් අපවිත්‍ර දෑ එක් කරනවා. ඒත් මේ සියල්ලම විඳ දරාගෙන ගඟ ගලා බසිනවා.

මනුෂ්‍ය ජීවිතයත් ඒ වගෙයි. අටලෝ දහමට මුහුණ දෙන්නට ම වෙනවා. සිතන පතන සියලු ම බලාපොරොත්තු ඉටු කර ගත් කිසිදු පුද්ගලයෙක් මෙලොව නැහැ. ඇයි මට පමණක් මේ දුක් කරදර කියා හඬන්න, ලතැවෙන්න එපා.

විභාගය, රැකියාව ගේ දොර මෙන් ම යාන වාහන ආදී වූ බොහෝ දෑ පිළිබඳ බලාපොරොත්තු ඔබට ඇති ඒවා ඉටු කර ගන්නට දැඩි උත්සාහයක්, අධිෂ්ඨානයක් ඇති කර ගන්නට ඕනේ. එහිදී ධාර්මික බව නම් කිසිවිටෙකත් අමතක කරන්න එපා. සමහර තරුණ දරුවෝ සිතනවා “හොඳින් බැරි නම් නරකින් හරි අරමුණු ඉටු කර ගන්නට ඕනෑ කියා. එසේ නොවුණහොත් තමන් පරදියි කියා සිතනවා. ඒ, අධාර්මික මාර්ගය, ධාර්මික මාර්ගයට වඩා ඉක්මන් යැයි පෙනෙන නිසා. නමුත් ඒ අධාර්මික මාර්ගයට වැඩි ආයුෂ නැති බව ඔවුන් දන්නේ නෑ.

තමන් වැරැදි මඟ ගියොත් මම වැරැදියි නම් වූ සිතිවිල්ල නිතර ම සිතට වද දෙනවා. මේ මානසික පීඩනය අනාගතයේ දවසක ලෙඩ දුක් පිණිසත්, තම පවුලට ම කුමන හෝ විපතක් රැගෙන පැමිණෙන්නටත් පුළුවන්.

ඔබ අසමත් වූයේ නම් පසුතැවිලි වන්නට එපා. මට හැමදේ ම එපා වුණා.” යැයි අධෛර්යවත් වෙන්න එපා. තමන් අතින් සිදු වූ අඩුපාඩු නුවණින් බලන්න. අත්දැකීම් ඇති ගුරු මවුපිය හෝ සුදුසු යම් අයකු සමඟ සාකච්ඡා කර ධෛර්යවත් ව ඉදිරියට යන්න. ඔබ බලාපොරොත්තු වූ අරමුණු ඉටු වූවත් නැතත් ඔබ ජීවත් වෙන්න ඕනෑ. එසේ නම් බලාපොරොත්තු වූ දේ, පැතු දේ හරියට ම ඉටු කර ගන්න බැරිවුණා’යි අනාගතය ම අඳුරු කර ගැනීම යහපත් නෑ.

ලාභ - අලාභ එක සේ පිළිගැනීම සාමාන්‍ය මනුෂ්‍යයන්ට පහසු නැහැ. එහෙත් අලාභයක දී සිත හදා ගන්න පුළුවන්. මේ සඳහා සුදුසුම දෙය නම් යම් බලාපොරොත්තුවක් ඇති කර ගන්නා මොහොතේ ම යමක් සඳහා සැලසුම් කරන මොහොතේ ම මෙය ඉටු නොවුණොත්, මා ඊළඟට කළ යුත්තේ කුමක් දැයි සිතින් සැලසුම් කරන්න.

යස - අයස, නින්දා - ප්‍රශංසා, සැප - දුක සෑම ජීවිතයකට ම උරුම වූ පොදු ධර්මතා බව සිතන්න. ප්‍රශංසාව ඉදිරියේ පෘථග්ජන ඕනෑම කෙනෙක් සතුටක් ලබනවා. එහෙත් කවර මොහොතකවත් එය මානයක් බවට පත්කර ගෙන උඩඟු නොවිය යුතුයි. ඔබට එහිදී නිහතමානී වන්නට පුළුවනි නම් එයයි ගුණවත් මනුෂ්‍යයෙකුගේ ලක්ෂණය වන්නේ.

අපි මරණයට පත්වෙනවා. එය මොන වෙලාවේ ද කියන්න කිසිවෙක් දන්නේ නෑ. එසේ නම් ඇයි අපි නොමිනිසුන් ලෙස හැසිරෙන්නේ.