Print this Article


උපමා නැති සෙනෙහසට විපුල අර්ථයක්

උපමා නැති සෙනෙහසට විපුල අර්ථයක්

අප සියලු දෙනා ජීවිතය ආරම්භ කරන්නේ දරවකුගේ භූමිකාවෙනි. එසේ ම අපි පසු කලෙක මව හෝ පියා හෝ ලෙස දරුවකුට ජීවිතය ඇරඹීමට දායක වෙමු. අපේ මව්පියන් සමඟ ජීවිත කාලයක් පුරාවට යහපත් සබඳතාවක් පවත්වා ගන්නා අන්දමත්, අපේ දරුවන්ට අවශ්‍ය දේ සපයා දෙමින් ඔවුන් සමඟ නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වා ගෙන යන ආකාරයත් බුදු දහම තුළ අපූර්ව ලෙස විස්තර කර ඇත.

පවුල ශක්තිමත් වන්නේ මවුපියන් ශක්තිමත් වූයේ නම් ය. ඔවුන් දරුවන්ගේ ජීවිතය ශක්තිමත් කරනු ඇත.

මව්පියන්ට ශාරීරික, මානසික හෝ භාවාත්මික පීඩාවක් නොදැනෙන ලෙස රැක බලා ගන්න. බැලූ බැල්මට මෙය පහසු කටයුත්තක් ලෙස පෙනේ. එහෙත් ක්‍රියාත්මක කිරීමේ දී අභියෝගාත්මක ය. මව්පියන්ට අවශ්‍ය කෑම බීම, ඇඳුම් පැළඳුම් හා ඉඳුම් හිටුම් සපයා දීම ආර්ථික අපහසුතා නැති අයකුට නම් පහසු ය. මෙ මඟින් සැපයෙන්නේ මව්පියන්ගේ භෞතික අවශ්‍යතා පමණක් බව අප තේරුම් ගත යුතු ය. මව්පියන්ගේ මානසික හා භාවාත්මක අවශ්‍යතා නිසි පරිදි සැපයීමට නොහැකි වූ විට ඔබ සහ ඔවුන් අතර සබඳතාව පලුදු වනු ඇත.

මනසට වෙහෙසක් කුමට ද?

මානසික හා භාවාත්මක අවශ්‍යතා මොනවාද? දරුවන් සෑම විට ම තම අදහස්වලට එකඟවීමයි. තමන් නිවැරැදි බව පිළිගැනීමයි. තමන් දරන මතය කුමක් වුවත් ඒ සඳහා එකඟ වීමයි. දරුවන් තමන්ගේ අදහස්වලට එකඟ නොවන විට, තමන්ගේ මතයට ගරු නොකරන විට එය මව්පියන්ගේ මනසට හා හැඟීම්වලට පීඩාවකි. මේ නිසා මව්පියන්ට සැලකීමේ දී ඔවුන්ගේ අදහස්වලට හා මතයට සෘජු ව විරුද්ධ නොවෙමින්, උපක්‍රමශීලී ව නිවැරැදි මාර්ගයට ඔවුන් යොමු කිරීම තුළින් සම්බන්ධතා නොබිඳී පවතිනු ඇත.

හැකි සෑම විට ම ඔවුන්ට උදව් වන්න. ඔබ පාසල් යන වයසේ දරුවෙක් නම් ඔබේ මව්පියන්ට නිවසේ වැඩ කටයුතු පහසුවෙන් කර ගැනීම සඳහා ඔවුනට උදව් වන්න. නිවස අතු පතු ගාන්න. ඉවුම් පිහුම් වැඩ කරන්න. රෙදි සෝදන්න. වත්තේ පිටියේ වැඩවලට උදව්වන්න. ඔබ වෘත්තිකයෙක් නම් මව්පියන් නියෝජනය කරමින් පන්සලේ, පල්ලියේ හෝ ග්‍රාම සංවර්ධන සමිතියේ වැඩවලට සහභාගී වන්න. ඥාති නිවෙසක පැවැත්වෙන දානයකට හෝ පිරිතකට හෝ සහභාගී වන්න. ඔබේ මව්පියන් ව්‍යාපාරික කටයුතුවල හෝ ගොවිතැන් කටයුතුවල හෝ නිරත වේ නම්, ඒ සඳහා අවශ්‍ය වන තාක්ෂණික දැනුම සපයා දෙමින් ඒවා සාර්ථක කර ගැනීමට උදව් කරන්න. මේ අයුරින් කටයුතු කරන විට මව්පියන් ඔබ සමඟ ඇති සම්බන්ධතා ඉතා ශක්තිමත් වන බව හිතට ගන්න.

එකඟ නොවුණත් ප්‍රතික්ෂේප නොකරන්න

මෙයින් අදහස් වන්නේ මව්පියන්ට සමාජයෙන් ලැබුණ ගෞරවය ඔබ පවත්වා ගෙන යා යුතු බවයි. එම ගෞරවය ලබා ගැනීම සඳහා ඔවුන් ජීවත් වූ ගෞරවනීය ආකාරය සිහිපත් කරන්න. තමන්ගේ චරිතයට හානියක් වන්නට ඉඩ නොදී සාරධර්මවලට අනුව ඔබේ මව්පියන් කටයුතු කළ ආකාරයට ඔබත් කටයුතු කරන්න. එමෙන් ම ඔබේ මව්පියන් මෙතෙක් කලක් පවත්වා ගෙන ආ සම්ප්‍රදායන්ට ඔබ එකඟ නොවුනත් ඒවා ප්‍රතික්ෂේප නොකරන්න. ඒවාට ගරු කරන්න.

වගකීමට වග වෙන්න

ඔබේ මව්පියන් මෙතෙක් කලක් ගොඩනඟා ගත් ඒ වත්කම්, ධනය හා ව්‍යාපාර වැඩිදියුණු කර ගැනීම ඔබේ වගකීමක් බව හිතන්න. ඔබ පාසල් යන දරුවෙක් නම් නිවසේ බඩු භාණ්ඩ ප්‍රවේසමෙන් පරිහරණය කරන්න. ඔබේ මව හෝ පියා හෝ නිවසේ භාණ්ඩවලට දක්වන සැලකිල්ල ඔබත් දක්වන්න. නිවසේ මුළුතැන්ගෙයි උපකරණයක් භාවිත කිරීමෙන් පසු එය සෝදා පිරිසුදු කර තිබූ ස්ථානයේ ම නැවත තබන්න.

පිනට සමීප වෙමු

ඔබේ මව හෝ පියා හෝ කිසියම් දිනයක මිය යාම කිසිවකුටත් වැළැක්විය නොහැක. අප කටයුතු කළ යුත්තේ ඒ අවබෝධය ඇතිවයි. ඔබේ පියා මුලින් ම මිය ගියා යැයි සිතන්න. ඉන්පසු ඔබේ පියා වෙනුවෙන් විවිධ පුණ්‍ය ක්‍රියා කරන විට ඔබේ මවට දැනෙන්නේ මහත් වූ පී‍්‍රතියක්. ඒ නිසා ම ඇය ඔබ සමඟ ඇති සම්බන්ධතාව හොඳින් ශක්තිමත් වන බව හිතට ගන්න.

අපි දැන් මවක හෝ පියකු හෝ ලෙස අපේ දරුවන් සමඟ ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග විමසා බලමු.

දුරස් වුණොත්

දරුවන්ගේ සිරුරට, මනසට, හැඟීම්වලට හෝ චරිතයට හෝ හානියක් වන දේවලට ඔවුන් යොමුවීම වළක්වන්න.

උදාහරණ ලෙස මත් වතුර, දුම් වැටි, මත් ද්‍රව්‍ය, අශ්ලීල චිත්‍රපට, පොත් පත් හැඳින්විය හැකි වේ. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළින් වර්තමානයේ සිදුවන පුළුල් ප්‍රචාරණ ක්‍රියාවලිය ඔස්සේ මෙවැනි දේ වෙත දරුවන් නිරන්තරයෙන් ඇදී යාම සිදුවිය හැකියි. දරුවන් මෙවැනි දේවලින් වළක්වා ගැනීම සඳහා කටයුතු කිරීමේ දී ඔබ උපක්‍රමශීලී විය යුතු බව හිතට ගන්න. කිසිදු අයුරකින් ඔබ සහ දරුවන් අතර ඇති සම්බන්ධතාවට හානියක් නොවන ලෙස මේ කටයුත්ත කරන්න. ඔවුන් සමඟ හැකි තරම් සමීප වන්න. මේ අවස්ථාවේ දී ඔබේ දරුවාට ඔබ ව මිතුරකු ලෙස පෙනෙන අයුරින් ක්‍රියා කරන්න.

සංවරකම ඕනෑ

දරුවන්ට සාරධර්ම ගැන පහදා දෙන්න. ඉන්ද්‍රීය සංවර්ධනයෙන් යුතු ව කටයුතු කිරීම සඳහා ඔවුන් මෙහෙයවන්න. වැඩිකල් නොගොත් මෙවැනි හැසිරීම්වල ප්‍රතිඵල ඔවුන්ට ලැබෙන නිසා දරුවන් ඔබ සමඟ ඇති සම්බන්ධතා හොඳින් සවිමත් වෙයි.

කෝපය එපා

දරුවන්ට කුඩා කල සිට ශිල්ප හා කුසලතා ලබා දීමට කටයුතු කරන්න. නිවසේ වැඩකටයුතු සඳහා සහභාගී කර ගන්න. සංගීතය, ක්‍රීඩාව වැනි විවිධ කුසලතා වර්ධනය වන දේ සඳහා ඔවුන් යොදවන්න. යම් අවස්ථාවක දී දරුවන් මේ සඳහා අකැමැත්තක් දැක්වූවත් පසු කලෙක දී ඔවුන් මේවා අගය කරන බව හිතන්න. නමුත් මෙහිදී අවශ්‍ය වන්නේ සම්බන්ධතාවලට හානියක් නොවන ලෙසට දරුවන් උපක්‍රමශීලී ව මෙවැනි දේ සඳහා යොදවා ගැනීමයි. ඔවුන් යම් විටෙක දී මෙවැනි වැඩ ප්‍රතික්ෂේප කරන විට හෝ ඒවා ගැන උනන්දුවක් නොදක්වන විට හෝ කෝපයට පත් නොවී ඔවුන්ට වඩාත් සමීප වෙමින් ඔවුන් සමඟ එක්ව එවැනි වැඩවල යෙදෙන්න. පසු කලෙක දී ඔවුන් එම ශිල්ප හා කුසලතා යොදා ගනිමින් තමන්ගේ ජීවිත සාර්ථක කර ගන්නා විට ඔවුන් ඔබට වඩාත් සමීප වනු ඇත.

අත්‍යවශ්‍ය මොහොත මඟ නොහරින්න

දරුවා සහ ඔබ අතර සම්බන්ධාතව වර්ධනය වීමට හෝ බිඳ වැටීමට හෝ ඔබේ දරුවාගේ සහකරු හෝ සහකාරිය හෝ විශාල දායකත්වයක් සපයන නිසා ඒ ගැන සැලකිලිමත් විය යුතු බව හොඳින් හිතට ගන්න. මෙයින් අදහස් වන්නේ “ඔබේ දරුවාගේ සහකරු හෝ සහකාරිය හෝ තෝරා ගත යුත්තේ ඔබ ය’ යන්න නොවේ. ඔබේ පවුලේ සම්ප්‍රදායයන් අගය කරන, ඔබේ සිතැඟිවලට ගැළපෙන කෙනෙක් තෝරා ගැනීම සඳහා ඔබේ දරුවාට සහය වන්න. ඒ සඳහා ඔහුට හෝ ඇයට හෝ පහසුකම් සපයා දෙන්න. එවිට ඔවුන් ඔබට වඩාත් ළං වනු ඇත.

දිය යුතු වෙලාවට ම දෙන්න

නිසි කල වයස පැමිණි විගස තමාගේ වත්කම් දරුවන්ට පවරා දෙන්න. අද දවසේ සමහර දරුවන් සහ මව්පියන් අතර සබඳතා බිඳ වැටීමට හේතු වී ඇත්තේ මව්පියන්ගේ වත්කම් නිසි කලට දරුවන් අතර බෙදා නොදීම නිසා බව අප දන්නා කරුණක්.

ඔබේ දරුවන් අයහපත් දේ කරමින් ධනය විනාශ කිරීමෙන් වළකා යහපත් දේ කිරීම සඳහා ඔවුන් උනන්දු කරමින් ඔවුන්ට අවහ්‍ය ශිල්ප ප්‍රගුණ කිරීම සඳහා පහසුකම් සපයා දෙමින් ගැළපෙන විවාහ කර ගැනීමට සහය දුන් පසු විශ්වාසයෙන් යුතු ව ඔබේ දරුවන්ට ඔබේ වත්කම් පවරා දිය හැකි බව හිතට ගන්න. එසේ කටයුතු කරන විට දරුවන් සහ ඔබ අතර ඉතා ශක්තිමත් සබඳතාවක් ගොඩනැඟෙනු ඇත.