Print this Article


ධාර්මික වෙනසකට බාධා කුමට ද?

ධාර්මික වෙනසකට බාධා කුමට ද?

පසුගිය දිනෙක මා ඇමතූ මගේ මිත්‍රයෙක්, “ඔයා මොකක්ද හිතන්නෙ, කිසියම් උත්සව අවස්ථාවක මී විතක් තොල ගාන එක ගැන, ඒකෙන් පවක් සිදු වෙනවද?”යි විමසීය.

මේ ප්‍රශ්නය ඇසූ මුල් ම පුද්ගලයා ද ඔහු නොවේ.

එවැනි ප්‍රශ්නයක් අසන්න හේතුව කුමක්ද කියා මුලින් විමසා බලමු.

එසේ අසන තැනැත්තා ගේ හිතේ යම් තැනක මෙය වැරැද්දක් යන විශ්වාසය තිබේ. එහෙත් ඉඳහිට හෝ මධුවිතක් තොල ගෑමට ගිජුකම ද තිබේ. එම ගිජුකමේ බලපෑම, නුසුදුසු ය යන සිතිවිල්ලට වඩා බලවත් ය. දැන් අවශ්‍ය එය කළාට කමක් නැහැ යන පණිවුඩය සාධාරණීකරණය කර ගැන්ම ය.

ළමයෙක් නිවාඩු දවසක යහලුවන් සමඟ ගමනක් යාමට තම පියාගෙන් අවසර ඉල්ලා සිටියි. බැරිම තැන පියා, “ගියාට කමක් නැහැ ඉක්මනට එන්න ඕනෑ’යි කිවු විට, එය ම සම්පූර්ණ ගමනට දුන් අවසරයක් ලෙසයි ළමයා තේරුම් ගන්නේ. මන්ද ඔහු බලාපොරොත්තු වුණේ එය බැවිනි. මගෙන් ප්‍රශ්නය ඇසූ මිතුරාගේ බලාපොරොත්තුවත් එවැන්නකි.

මදයට සහ ප්‍රමාදයට හේතුවන රහමෙර පාවිච්චියෙන් වළකිමි කියා කෙනෙක් තෙරුවන් සරණ යාමෙන් පසු තමාට ම පොරොන්දු වන්නේ බුදු හිමි ඉදිරිපිට ය. මන්ද තමාට නිවන සාක්ෂාත් කර ගැන්මට අවශ්‍ය නිසා ය. අප්‍රමාදය යනු සති සම්පජඤ්ඤයෙන් යුතු ව ජීවත් වීම ය. බුදු හාමුදුරුවන්ගේ අවසන් බුද්ධ වචනයත් අප්‍රමාදී වන්න යන්න ය. මෙයින් ම බොදුනුවකුට සිහියෙන් සිටීම කො තරම් වැදගත් ද යන්න පැහැදිලි කර ගත හැක. මත්වීම අත්හළ යුතු යැයි උන්වහන්සේ අපට උගන්වා ඇත්තේ ඇයි, යන්න ගැඹුරින් විමසිය යුතු ය.

වෙනත් බාහිර කිසියම් රසායනිකයක බලපෑමකින් තොර වුවත් අප සිටින්නේ කෙතරම් නම් අව සිහියකින් ද? කෙතරම් නම් වික්ශිප්ත බවකින් ද? හිත කුසල අරමුණක රඳවා ගැනීම කෙතරම් නම් අමාරු ද? මොහොතක් ආනාපාන සතිය වඩන්නට උත්සාහ ගත්විට මෙය මොනවට පැහැදිලි වේ. එසේ නම් රසායනිකයන් මඟින් මොළයේ ක්‍රියාකාරීත්වය ඉහිල් කළ විට, සංයමය මුදාහළ විට කෙසේද හිත් තැන්පත් කර ගත හැකි වන්නේ.

එමෙන් ම , මෙම සෑම රසායනිකයක් ම පවතින යථාර්ථයෙන් පුද්ගලයා මුදවා ගෙන කිසියම් ව්‍යාජ සැහැල්ලුවක් අත් විඳින්නට සැලැස්වීම නිසා ම, යළි යළිත් එය ම සොයන ස්වභාවයකට පත්වීමත්, අවසන එයට ඇබ්බැහි වීම ද සිදු වේ. එවිට ත්‍රිලක්ෂණය වැනි ඉතා සියුම් සාමාන්‍ය ලෝක ස්වභාවයෙන් ඔබ්බට යන අවබෝධයක් ළඟා කර ගැන්ම කෙතරම් දුෂ්කර විය හැකි ද?

තුන් ලොව සියල්ල දන්නා සර්වඥතා ඥානය ගැන විශ්වාස කරන කෙනකුට, බුදුහාමුදුරුවන්ගේ උපදෙසකට වඩා වෙනත් මිතුරකුගේ නැති නම් වසර කිහිපයක් අත්දැකීම් තියෙන විශේෂඥයකුගේ උපදෙස් පිළිගැනීමට පුළුවන්.

මේ අනුව ඔබට පැහැදිලි වෙනවා නොවේද මෙම කුකුස පිළිබඳ අපගේ ප්‍රවේශය කුමක් විය යුතු ද යන්න.

මගේ මිතුරාගේ දෙවැනි ප්‍රශ්නය වූයේ,’ කලින් අප සමඟ එකට කා බී විනෝද වුන යහලුවන් දැන් අපගේ නිවසට පැමිණි විටෙක, ඔවුන්ට පෙර පරිදි සංග්‍රහ නො කර පුලුවන්ද?”

සැබැවින් ම මෙය ඉතා වැදගත් ලෙස පෙනෙන ප්‍රශ්නයකි. එක් අතකින් නියම යහලුවන් කවුද?

ජීවිතයේ විවිධ කාලයන් හි දි සිටින යහලුවන් ගේ ස්වභාවය කුමක්ද?

ඊටත් වඩා ගැඹුරින් කල්පනා කළ යුත්තේ අප තවත් කෙනෙක් ඇසුරු කරන විට අපගේ මනස ක්‍රියා කරන ආකාරය යි.

බොහෝ විට අප අනෙක් තැනැත්තා පිළිබඳ අපගේ දෘෂ්ටි කෝනයෙන් යම් ප්‍රතිරූපයක් ගොඩනඟා ගෙන ඒ ප්‍රතිරූපයට ගැළපෙන ලෙස අනෙක් තැනැත්තා හැසිරිය යුතු යැයි සිතා කටයුතු කරමු. යම් කෙනකුගේ අතීත ස්වභාවය ම පදනම් කර ගෙන වර්තමානයේ දී එයම අපේක්ෂා කරමු. අනිත්‍ය සහ අනාත්මය ඉගැන්වෙන දහමක් ඉගෙන ගන්නා අය ලෙස මෙම ස්වභාවය කෙතරම් බොළඳ ද කියා විමසන්න.

යළිත් මගේ මිතුරාගේ ප්‍රශ්නය දෙස හැරී බලමු.

මගේ තවත් පාසල් මිතුරකුගේ ජීවිතයෙන් ඊට පිළිතරු සපයමි. ඔහු දුම්පානය, මත්වතුර පානය ආරම්භ කළේ සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නා සමයේ ය. ඒ කාලයේ ඔහු මගේ සමීප මිතුරෙක් නොවී ය. මන්ද ඔවුන්ගේ කටයුතුවලට මගෙන් සහායක් නොවුන නිසා ය. කාලය ගෙවී ගොස් වසර හතළිහකට පසු ව්‍යාපාරික හමුවක දී මට ඔහු යළි හමුවිය. ඒ සාර්ථක ව්‍යාපාර ගණනාවක හිමිකරුවෙක් ලෙස ය. මේ වන විට ඔහු සම්පූර්ණයෙන් ම මත්වතුරෙන්, දුම්පානයෙන් පමණක් නොව මස් මාංශවලින් පවා වැළකී සිටින, දහම පිළිබඳ ඉතා උනන්දුවක් දක්වන, විශාල වශයෙන් ශාසනික කටයුතුවල නිරත වන පුද්ගලයෙකි.

ඔහුගේ වෙනස ගැන විමසූ විට ඔහු පැවැසුවේ, එක්තරා දිනෙක එතෙක් ගත කළ ජීවිතයේ නිසරු බව වැටහුනු බවය. එදින ම, ඒ සියල්ල නතර කළ බවත්, ඔහු පැවසීය. එදා පටන් ඔහුගේ ජීවිතයේ සියල්ල ඉතා සුභදායක ලෙස වෙනස් වූ බවත්, ඒ අතර ම අතීතයේ කන බොන ලෙස ම එක්වුන බොහෝ යහලුවන් ඔහුගෙන් දුරස් වුන බවත්, නමුත් එය තමන්ට කිසි පාඩුවක් නොවන බවත්, ඉන් කිහිප දෙනෙක් තමාගේ වෙනස් ජීවිතයට, ගරු කරමින් තවමත් ඉතා හොඳින් ඇසුරු කරන බවත් ය.

යම් මිතුරකුට ඔබගේ ජීවිතයේ ධාර්මික වෙනසක් ඒ ආකාරයෙන් පිළිගන්නට බැරි නම්, එවන් කෙනෙක් ඔබගේ නියම මිතුරෙක් වන්නේ කෙසේද?

අද බොහෝ විට අප අතර සිටින නාමික බෞද්ධයන් තුළ හිඟ ව තිබෙන්නේ තෙරුවන් කෙරෙහි අවබෝධාත්මක ශ්‍රද්ධාව යි. ඒ නිසයි බුදු හිමි උපදෙසට වඩා, පුහුදුන් අයගේ ප්‍රකාශවලට මුවාවෙමින් අකුසලයට ඉඩ හරින්නේ.