සාමණේරයන් වහන්සේ නමකගේ
ජීවිතය අලලා ලියැවුණු නවකතාව: පුර පෑළවිය සඳ - 10 කොටස
බඩල්ගම විපුලසිරි හිමි
මෙතෙක් කතාව
දමිත සාමණේරයන් පැවිදි බව ලබා ටික කාලයකි. පැවිදි වුව ද පුංචි දඟකාරකම් මඟහැර ගන්නට
සාමණේරයන්ට තවම අපහසු ය. කුඩා සාමණේරයන්ගේ පුංචි වරදක දී වුව එය විශාල කොට
පෙන්වමින් ලොකු හාමුදුරුවන් වෙතට රැගෙන යන්නේ පන්සලේ ඇබිත්ත මාමා ය. ඔහු සිරිමල් ය.
පන්සලේ ප්‍රධාන දායකයකු වන මුදලාලිට ද දමිත සාමණේරයන් ගැන පැහැදීමක් නැත. ඒ
සාමණේරයෝ ගිහි කල ඉතා දිළිඳු පවුලක වීම නිසා ය. මුදලාලිගේ බසට අවනත ව සාමණේරයන්ට
වැරැදි පිට වැරැදි පැටවීමට සිරිමල් මාමා නිතර උත්සාහ කරයි. ලොකු හාමුදුරුවන්ට පොඩි
හාමුදුරුවන් ගැන නැති වැරැදි කියයි. එහෙත් සිරිමල් මාමා පොඩි හාමුදුරුවන්ට කරන
අකටයුතුකම් නන්ද හිමියන්ට දැක ගන්නට ලැබුණි. නන්ද හිමි සිත දමිත පොඩිහාමුදුරුවන්
ගැන ඇති වූයේ මහා දුකකි.
දමිත සාමණේරයන් වහන්සේ තාමත් සිටින්නේ කජු පාර්සලය සඟවාගෙන ය. සවස සම්බුද්ධ
වන්දනාවේ යෙදුණු සැදැහැවත්හු ද නිවෙස් බලා යන්නට ගියහ.
පෝදා හිමිදිරියේ ම උපෝසථය සමාදන් වී පසුදා හිමිදිරිය දක්වා බණමඩුවට වී සිටින්නෝ
දැන් නැත. සැවොම සමාදන් වන්නේ භාග සිල් හෝ ඊටත් අඩු සීලයකි. සම්පූර්ණ උපෝසථ සීලය
පැය විසි හතරක කාලයක් රැකිය යුතු ය. අර්ධ උපෝසථයක් නම් පැය දොළහක කාලයක් එය රක්ෂා
කළ යුතු ය. ඒවා පිළිබඳ දැනීමක්, හැඳීනීමක් බොහෝ බෞද්ධයින්ට දැන් නැත.
බෝ මළුවේ දැල්වෙන පහන් සිළු ආලෝකවත් වුව ද පන්සලෙහි දැන් තිබෙන්නෙ පාළු ගතියකි.
මෙතෙක් වේලා පිරී ඉතිරී තිබූ පන්සල දැන් කිසිවකුගෙන් තොර හුදෙකලා ස්වභාවයක් ගෙන
තිබේ. බෝපත් අතරින් පෙනෙන පුර හඳ නම් වඩාත් බැබළෙමින් බැස යන්නට හැරී තිබිණි. ගත
දැවටී හමායන සුළඟ ද ඉතා සිසිල ය.
පැවිද්දෙකුට ඉර අවරට ගිය කල ආහාර වැළඳීම තහනම් ය. එසේ වුව ද කජු පිළිබඳ ආසාව
සාමණේරයන් වහන්සේට අත්හැර ගන්නටත් බැරි ය.
පිච්චූ කජුවල සුවඳ දැනෙන විට රස නහර අවදිවෙයි. කොහේ හරි සැඟවී එකක් හෝ හපන්නට
ඇතිනම් හොඳ යැයි සාමණේරයන් වහන්සේට සිතේ. එය කළ යුත්තේ කිසිවකුට නොපෙනෙන පරිදි ය.
සිරිමල් මාමා දුටුවොතින් නම් එක දහය කොට ලොකු ස්වාමීන් වහන්සේට කියන්නේ ය. එවිට
වන්නේ වේවැල් පහර කන්නට ය. නැතිනම් දණගසාගෙන දුක් විඳීන්නට ය.
පුංචි හිතකට රසවත් දෙයක් සපා ගිල දැමීමට ඇතිවෙන ආසාව ඉතා අවිහිංසක ආසාවකි. කසට
සිවුරක් දැරූ පමණින් එම ආසාවන් ඉවත් ව යන්නේ නැත. නමුත් බොහෝ උපාසක උපාසිකාවන්
සිවුරු දැරූ අහිංසක ළදරු සාමණේරයන් වහන්සේ නමක් තුළිනුත් රහතන් වහන්සේ කෙනෙක්ගේ
සීලය හා සන්සුන් බව බලාපොරොත්තු වෙති. එය කොතරම් අනුවණ ලාමක මානසිකත්වයක් දැයි
ඔවුහූ නොදනිති.
දමිත සාමණේරයන් වහන්සේ විහාර මන්දිරය තුළට පිවිසියේ සම්බුද්ධ වන්දනාවට නම් නොවේ.වෙන
දෙයකට ය.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ මලසුන පුරා කහ වර්ණ අරලිය මල් පිරී තිබේ. ඒවායෙන් එන
සුවඳ ඉතාමත් සෞම්‍ය ය.
බුදුරජාණන් වහන්සේගේ වතකමල මෛත්‍රියෙන් සහ කරුණාවෙන් පිරී තිබේ. සාමණේරයන් වහන්සේත්
ඒ මෛත්‍රියට සහ කරුණාවට ඉතාමත් කැමැති ය. සාමණේරයන්ට ඒ මෛත්‍රිය හෝ කරුණාව හෝ
ලැබුණේ ජීවිතයේ ඉතාමත් අඩු වශයෙනි.
ලොව්තුරා සම්බුද්ධ ප්‍රතිමාවට දෙපසින් විවිධාකාර බුද්ධ චරිතයේ සිදුවීම් මූර්තිමත්
කොට තිබේ. ආලවක දමනයෙහි ආලවක යක්ෂයාගේ ප්‍රතිමාව නම් ඉතාමත් බියකරු ය. ආලවක යක්ෂයා
බුදුසරණ ගොස් සෝවාන් වූ බැවින් ඔහුට දැන් බියවිය යුතු නැත. ඒ කාටත් නපුරක් නොකරන
නිසා ය.
තමන්ටත් පාසල් කාලයේ දී ආලවකයා යැයි පාසලේ ළමෝ ඇමතූ හැටි සාමණේරයන් වහන්සේට
සිහිවෙයි. එයට හේතුව තමන්ගේ නම ආලෝක වීම ය. ‘ආලෝක’ යන්න ඔවුහූ ‘ආලවක’ කළහ.
ආලවක යක්ෂයාගේ පාමුල හිඳගත් සාමණේරයන් වහන්සේ කජු එකින් එක හපන්නට වූහ. කජුරස නම්
ඉතාම මිහිරි ය. ඒවායේ රසය වඩ වඩාත් දැනෙන්නට ගත් විට යසෝ අම්මා කෙරෙහි සාමණේරයන්
තුළ වූ සෙනෙහස ද ඒ තරමට ම වැඩී ගියේ ය.
කජු මුලින් කාලක්වත් අවසන් වන්නට පෙර ධාරානිපාත වරුෂාව පටන්ගත්තේ ය. එළියට බසින්නට
නොහැකි තරම් මහ වැස්ස ය. ඒ මදිවාට අකුණුත් ගසන්නේ ය. හෙන හඬින් අහස ගුගුරන්නේ ය.
සාමණේරයන් වහන්සේගේ කුඩා හිතට දැන් නම් හොඳටෝ ම බය ය. ඒත් කරන්නට දෙයක් ද ද නැත.
කුඩයක් පෙනෙන මානයක නැත. වේගයෙන් වැඩම කළ හැකි වුවත් සිවුරත් ඇඟත් තෙත බරිත වන්නේ
ය. ඊටත් වඩා අකුණු ගැසීමටත් හෙනහඬටත් සාමණේරයන් වහන්සේ වැඩිපුර ම බයයි.
අම්මා ළඟ හිටියානං කියා තදටම දැනෙන්නේ මේ වගේ වෙලාවට ය. බලාපොරොත්තු වූවාට වැඩක්
නැත. මහණ පින්කමෙන් පසු අම්මාගේ රූපය තියා කටහඬවත් තෙරුන් වහන්සේට අසන්නට නොලැබිණ.
ඉක්මනින් ම එන්නම් ය කීවාට අම්මා අද වන තෙක් ආවේ ම නැත.
අකුණක් ගසන විට, ගෙරවිලි හඬක් ඇසෙන විට සාමණේරයන් වහන්සේගේ හිතත් ඇඟත් ගැස්සෙයි.
බලා ඉවසා සිටින්නට නොහැකි ම තැන සාමණේරයන් වහන්සේ විහාරගෙයි දොර වසා නැවතත් ඇතුළට ම
පිවිසියහ. ඊළඟට ආ අකුණෙන් මුළු පන්සලේ ම විදුලිය විසන්ධි වී ගියේ ය. ආලෝකයක් ඇත්තේ
බුදුරජාණන් වහන්සේ ළඟ දල්වා ඇති පහන්වල පමණි.
කළුවරත්, සීතලත්, හෙන හඬත්, අකුණුසැරත් තනිකමත් යන සියල්ලෙන් පීඩාවට පත් දමිත
හිමියන් බුදුරජාණන් වහන්සේ සමීපයේ වකුටු වී අසරණ ව බිම ඉඳගත්හ. හිමියන්ගේ නෙතට
නොදැනීම කඳුළු පිරිණි.
“අනේ අම්මේ.... ඔයා කොහෙද ඉන්නේ ? මට බයයි අම්මේ...”
අරුණ නැඟෙන්නට පෙර ම අවදිවීම නන්ද හිමියන්ගේ සිරිත ය.පොළොව තෙතබරිත වී තිබුණත්, පොද
වැස්ස වැටුණත් නන්ද හිමියන් තම හිසට තුවායක් නමා දමාගෙන ඇමදීම ආරම්භ කළ සේක. එය
අතරමග නතර කරන්නට සිදු වූයේ හීල් දානය ගෙනා පින්වතුන්ට සම්බුද්ධ පූජාව පිළියෙළ කර
දිය යුතු වූ නිසා ය.
පිළියෙළ කර දුන් සම්බුද්ධ පූජාව දෝතට ගත් අංගොනෝනා උපාසිකාව හෙමින් හෙමින් බුදු
මැදුර වෙත පියමං කළා ය. ඊයේ රාත්‍රියේ පටන් තවමත් විහාරස්ථානයට විදුලිය ලැබී නැත.
කළුවරේ විහාර ගෙට පිවිසෙන්නට අංගනෝනා උපාසිකාවත් බය ය.
බයෙන් බයෙන් විහාරගෙට පිවිසෙද්දීම ඇසුනේ ‘බුදු අම්මෝ’ යනුවෙන් මහත් කෑගැසිල්ලකි. ඒ
හඬින් බිය වී පසුපසට පැන්න අංගොනෝනා උපාසිකාව බුද්ධ පූජාවත් සමඟ ම බිම ඇදගෙන
වැටුණි.
හඬ ඇසී නන්ද හිමියන් විහාර මන්දිරය දෙසට වැඩම කරන අතර හිස අල්ලා ගත් දමිත සාමණේරයන්
වහන්සේ හඬමින් ම වේගයෙන් ආවාසය දෙසට දිවයන හැටි දැක ගන්නට ලැබුණි.
(මතු සම්බන්ධයි) |