Print this Article


 සම්බුදු සසුන සුරැකීමේ පළමු පියවර තැබූ දා

 සම්බුදු සසුන සුරැකීමේ පළමු පියවර තැබූ දා

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ඇතැම් භික්ෂූන් වහන්සේ වෙතින් විවිධාකාර වූ විනය විරෝධී අදහස් පළවන්නට වූහ.

ඒවා සියල්ල ම මුලිනුපුටා දමා ශාසනය චිරාත් කාලයක් පැවතීමට තැබූ මුල්ම පියවර ප්‍රථම ධර්ම සංගායනාවයි.

බුදුරදුන් දේශනා කළ ධර්මය ක්‍රමානුකූල ව සකස් කොට එය ආරක්ෂා කරලීම සඳහා ගත් මූලික පියවර වශයෙන් ද එය හැඳින්විය හැකි ය. එබැවින් ප්‍රථම ධර්ම සංගායනාව වූ කලි ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශාසන ඉතිහාසයෙහි දැක්වෙන ආදීම වැදගත් සිද්ධිය වේ.

ප්‍රථම ධර්ම සංගායනා වාර්තාවෙහි එන පරිදි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මෙසේ භික්ෂූන් වහන්සේ ඇමතූ සේක.

“මම එක් දවසක පන්සියයක් භික්ෂූන් වහන්සේ ද සමඟ පාවා නුවරින් කුසිනාරා නුවර කරා දිවෙන දීර්ඝ මාර්ගයට පිවිසුනෙමි. ඉක්බිති ව මම මඟින් ඉවත් ව ගසක් මුල හුන්නෙමි. එහිදී එක්තරා ආජීවකයෙක් මදාරා මලක් අතින් ගෙන කුසිනාරා නුවර සිට පාවා නුවර කරා දිවෙන මෙකී මාර්ගයට ම පිවිසියේ ය. පැමිණෙන්නා වූ එම ආජීවකයා මම දුරදීම දුටුවෙමි. දැක මෙසේ ඇසීමි.

ඇවැත්නි, අපගේ ශාස්තෘන් වහන්සේ දන්නෙහි ද? එයට ආජීවකයා දුන් පිළිතුර මෙසේ විය.

එසේ ය. දනිමි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිනිවී අදට සත් දවසකි. ම විසින් මෙම මදාරා මල එතැනින් ගන්නා ලදි“

මෙලෙස ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණය සැල වූ එහි සිටි භික්ෂූන් වහන්සේ අතර ඇතැමෙක් අවීතරාගීහු (මාර්ගඵල නොලැබූ) වූහ. ඒ අතරින් ද ඇතැමෙක් ‘ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක! ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පෑ සේක! ඉතා ඉක්මනින් ලෝකයෙහි ඇස ඇතුරුදන් වූයේ යැ’යි කියමින් හිසෙහි අත් බැඳ හඬති. සිඳලූ දෙයක් බිමට වැටෙන්නාක් මෙන් වැටෙති. ඉදිරියට පෙරළෙති. පසුපසට පෙරළෙති.

එහි සිටි වීතරාගී භික්ෂූන් වහන්සේ සංස්කාරයෝ අනිත්‍යය ය. සංස්කාරයන්ගේ ස්ථිර පැවැත්මක් කොයින් ලැබිය හැකි දැයි, සලකා මනා සිහියෙන් හා නුවණින් යුතු ව මෙම සිදුවීම ඉවසූහ.

අනතුරුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මෙකී භික්ෂු සමූහයාට මෙසේ වදාළහ. “ඇවැත්නි, කම් නැත. ශෝක නොකරවූ, නොවැළපෙවු. පි‍්‍රයමනාප වූ සියල්ලෙන් ම වෙනස් වීම, වෙන් වීම, වෙනත් ආකාරයක දෙයක් සිදුවීම වන්නේ ය, යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ නොවේද? යමක් උපන්නේ ද? හට ගත්තේද? ලෞකික වූයේ ද? නැසෙනසුලු වේ ද? එය ඒකාන්තයෙන් නොනැසේවායි, යන මෙය කොහි ලැබිය හැකි වේ ද? ලැබිය හැකි නොවේ ම ය.

සුභද්‍ර නම් වූ මහලු ව පැවිදිවූවෙක් එදා මෙම පිරිස අතර සිටියේ ය. ඉක්බිති එම පැවිද්දා භික්ෂූන් වහන්සේ අමතා මෙසේ කීය.

“ඇවැත්නි, කම් නැත. ශෝක නො කරවු, නො වැළපෙවු. අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මනාව මිදුණෝ වෙමු. මෙය තොපට කැප ය. මෙය තොපට නො කැප යැයි කීමෙන් උපද්‍රවයට ද පත්කරන ලද්දෝ වෙමු. දැන් අපි යමක් කැමැති නම් එය කරන්නෙමු. යමක් නො කැමැත්තෙමු නම් එය නො කරන්නෙමු.”

මෙම දැඩි විනය විරෝධී ප්‍රකාශය හමුවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තීරණය කළේ අධර්මය බැබළීමටත්, ධර්මය බැහැර කරනු ලැබීමටත් පෙර, අවිනය බැබළීමටත් විනය බැහැර කරනු ලැබීමටත් පෙර අධර්මවාදීන් බලවත් වීමටත්, ධර්මවාදීන් දුබල වීමටත් පෙර අවිනයවාදීන් බලවත් වීමටත් විනයවාදීන් දුබල වීමටත් පෙර ධර්මය ද, විනය ද සංගායනා කළ යුතු බවයි.

සුභද්‍ර වැනි දුර්වල පුද්ගලයකුගේ ඒක පුද්ගල ප්‍රකාශයක් පමණක් ම සංගායනාවක් පැවැත්වීම කෙරෙහි හේතු නොවී ය. සුභද්‍ර හා සමාන ආකල්පවලින් යුතු පසුතලයක පිහිටා සිට ක්‍රියා කළ දුර්වල පුද්ගලයන් රැසක් හා ඔවුන් හා අනුගත ව සිටි අනුගාමිකයන් රැසක් ද එකල සිටියහ.

බුදුරජාණන් වහන්සේ හමුවේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් යටපත් වුව ද සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු පශ්චිම ජනතාවගේ අවබෝධය සඳහා ධර්ම විනය සුරක්ෂිත කොට තැබීම ශාසනභාරධාරී මහතෙරුන් වහන්සේගේ වගකීමක් ව පැවතිණ.

ඒ අනුව තෘතීය මහා ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දුර්මත නිරාකරණය පිණිසත්, බුදුරජාණන් වහන්සේ ඒ ඒ ස්ථානවල දී දේශනා කළ නා නා වර්ගයනට අයත් ධර්ම කොට්ඨාසයන් ක්‍රමානුකූල ව සකස් කොට බොහෝ කල් පවත්වා ගැනීම පිණිසත් ධර්ම සංගායනාවක අවශ්‍යතාව තීරණය කළහ.

නිකිණි පොහොය දිනෙක ආරම්භ වී සත් මසක් මුළුල්ලේ පැවති ප්‍රථම ධර්ම සංගායනාව අවසානයේ දී ස්ථාවර කරගත් ධර්මය මතු අනාගතය සඳහා කටපාඩමින් සුරක්ෂිත කර ගැනීම භාණක භික්ෂු පරම්පරාවනට පවරා දුනි.

ත්‍රිපිටකය ලක්දිව දී ග්‍රන්ථාරූඪ වන තෙක් ම බුදු දහම චිරාත් කාලයක් පවත්වා ගෙන ඒම සඳහා හේතු වූයේ මෙම භාණක භික්ෂු පරම්පරා ක්‍රමයයි.

මේ අනුව බුදුදහම ක්‍රමානුකූල පදනමක් මත ස්ථාවර වූයේ ප්‍රථම ධර්ම සංගායනාවෙන් පසුවයි.