Print this Article


ත්‍රිවිධ නර්තන සම්ප්‍රදායෙන් විචිත්‍රවත් වූබෙල්ලන්විල  ඇසළ මහා පෙරහර පූජෝත්සවය

ත්‍රිවිධ නර්තන සම්ප්‍රදායෙන් විචිත්‍රවත් වූ බෙල්ලන්විල  ඇසළ මහා පෙරහර පූජෝත්සවය

ඉතිහාසයේ පමණක් නොව වර්තමානයේ ද හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස මහනුවර දළදා පෙරහරට හිමි වන්නේ ගෞරවය මුසු අභිමානයකි. එවැනි ගෞරවනීය අභිමානනීය පෙරහර කීපයක් ම මේ රටේ ඇති අතර ඉන් ප්‍රමුඛතම සුවිශේෂ පෙරහරක් ලෙස බෙල්ලන්විල ඇසළ මහා පෙරහරට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි.

බෙල්ලන්විල ඇසළ මහා පෙරහර පූජෝත්සවයේ නිර්මාතෘවරයාණෝ අපවත් වී වදාළ අති පූජ්‍ය බෙල්ලන්විල සෝමරතන යතීශ්වරයාණෝ ය. ඒ යතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් හා අනුශාසකත්වයෙන් වර්ෂ 1950 දී ආරම්භ වූ මේ මහා පෙරහර මෙවර පැවැත්වෙන්නේ 74 වැනි වරට ය.

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති පදවියට වර්ෂ 1946 දී පත්වන්නේ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් ය. උන්වහන්සේට අපගේ සංස්කෘතිය හා සංස්කෘතිකාංග පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබුණි. නාහිමියන් නිසා බෙල්ලන්විල විහාරස්ථානය පමණක් නොව ඒ අවට සියලු ප්‍රදේශ දියුණු විය. ආලෝකවත් විය. ප්‍රදේශයේ නිවාස හා වැසියන්ගේ ආර්ථිකය ද සෞභාග්‍ය සම්පන්න විය. බෙල්ලන්විල පෙරහර ද ඒ සඳහා බලපෑ සුවිශේෂ සාධකයකි.

සෝමරතන නාහිමියන් 1950 දී බෙල්ලන්විල පෙරහර ආරම්භ කර ඇත්තේ සාම්ප්‍රදායික පෙරහරක් පැවැත්වීමේ අරමුණින් නොව ප්‍රදේශයත් එහි වැසියනුත් දියුණු කරලීමේ අරමුණින් යුතුව ය. සෝමරතන නාහිමියන් බෙල්ලන්විල විහාරයේ චිත්‍රණය සඳහා ගුරුකමට ගෙන ඇත්තේ ඒ වන විට ජනප්‍රිය වී තිබූ මහනුවර චිත්‍ර සම්ප්‍රදාය නොව පොළොන්නරු චිත්‍ර සම්ප්‍රදාය යි. මේ කරුණු නිසා පසුගිය වසර හැත්තෑ ගණනක් පුරාවට බෙල්ලන්විල රාජ මහා විහාරය ජන හද තුළ නිරතුරු ගෞරව බහුමානයට ලක් වී පවතින බව අතිශයෝක්තියක් නො වේ.

ශ්‍රී දළදා සමිඳුන්ට පූද පූජා පැවැත්වීමේ අරමුණින් මහනුවර ශ්‍රී දළදා පෙරහර ඇරඹුණු අතර, ඊට වෙනස් සංස්කෘතික හා සාමාජිය අරමුණු වෙතට පෙරහර ගමන් කළ සැටි නිරීක්ෂණයට ඇති හොඳ ම නිදසුන “ අගනුවර මහ පෙරහර” සේ සැලකිය හැකි බෙල්ලන්විල ඇසළ මහා පෙරහරයි.

උඩ-පහත, දෙරට හා සපරගමු නර්තන සම්ප්‍රදායයන්ගෙන් සමන්විත බෙල්ලන්විල පෙරහරේ ඇති සුවිශේෂතාව වන්නේ කාන්තාවන්ට ද කිසිදු බාධාවකින් තොරව සිය කලා කුසලතා ඉදිරිපත් කිරීමට හැකි පරිදි සාම්ප්‍රදායික සමාජ මතිමතාන්තර කරපින්නා ගෙන නිර්මාණය වී නොතිබීමයි. සාම්ප්‍රදායික කලාවත්, ඒවා විනාශ වන්නට නොදී දුෂ්කර ව හා දුක්බර ව පවත්වා ගෙන යන කලාකරුවන් හා තදනුබද්ධ සේවාවත් ඇගයීමට ලක් කෙරෙන කදිම අවස්ථාවක් ලෙස ද බෙල්ලන්විල පෙරහර මහ ජනතාවගේ ඇගයීමට හා ගෞරවයට නිතැතින් ම ලක් වෙයි.

බෙල්ලන්විල රාජමහා විහාරාධිපති බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වර්ෂ 1983 දී අපවත් වූ පසු උන් වහන්සේගේ සෙවණේ හැදුණු වැඩුණු ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ වූ ද, මාගේ ආචාර්යෝත්තමයන් වහන්සේ ද වූ බෙල්ලන්විල රාජ මහා විහාරයේ වර්තමාන විහාරාධිපති සහ සිංගප්පූරුවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන සහ අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන යන යතීන්ද්‍රයන් වහන්සේ බෙල්ලන්විල ඇසළ පෙරහර මහා පූජෝත්සවයේ නූතන යුගයේ පුරෝගාමීහු වෙති.

ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි සහ අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිවරුන් විහාරස්ථානය සෑම අංශයකින් ම දියුණුවෙන් දියුණුවට පත් කරන ලදී. විමලරතන නාහිමියන් හදිසියේ අපවත් වූ පසු එම නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨ සොහොයුරාණන් වූ මාගේ ආචාර්යෝත්තම සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ධුරන්ධර ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෙල්ලන්විල

විහාරස්ථානයේ සියලු කටයුතු සොයා බලා අනුශාසනා කරමින් එහි දියුණුවටත්, පළාතේ බොදු ජන හදවත් තුළ බොදු බැතිය ජනිත කිරීමටත් කටයුතු මෙහෙයවන්නේ ඇසළ පෙරහර සහ පූජෝත්සවය අභිමානවත් ලෙස හා ගම්භීර ලෙස පැවැත්වීමටත් අවශ්‍ය මෙහෙයවීම් ද සිදු කරමිනි.

ත්‍රිවිධ නර්තන සම්ප්‍රදායයන්ගෙන් විචිත්‍ර වු සංස්කෘතික මංගල්‍යයට අලි ඇතුන්ගෙන් අභිමානය හා ප්‍රෞඪත්වය ලැබෙන අතර, උඩැක්කි නැටුම්, පන්තේරු නැටුම්, රබන් කරකැවීම, වඩිග පටුන, ලී කෙළි සෙල්ලම්, ගිනි බෝලකරුවන්, කසකාරයන් ආදීන් පෙරහරට එක් කරන්නේ විසිතුරු බවකි.

ආශිර්වාදයට ප්‍රමුඛස්ථානය ලබා දෙන බෙල්ලන්විල පෙරහර තුළ දෙවියන් සම්බන්ධ කටයුතුවලට ද අද්විතීය ස්ථානයක් හිමි වෙයි. කුඹල් පෙරහර හා මල් පෙරහරවලින් ආරම්භ වන බෙල්ලන්විල පෙරහර මංගල්‍යයේ මූලිකාංගය වන්නේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කරඬුව ප්‍රධාන කර ගත් සතර මහා දේවාල පෙරහරයි.

අවසාන දිනය වෙන් වන්නේ රන්දෝලි මහා පෙරහර සඳහායි. මේ මහා පෙරහරෙහි විෂ්ණු, කතරගම, සමන් හා විභීෂණ යන දේවරූප හා දේවාභරණ ද වැඩම කෙරේ. පෙරහර මංගල්‍යය අවසන් වන්නේ දිය කැපීමේ මංගල්‍යයෙනි. බෙල්ලන්විල පෙරහරේ දිය කැපීම සඳහා යොදා ගනු ලබන්නේ වේරැස් ගඟයි. එහි දිය කැපීමේ මංගල්‍යය සිදු කොට විහාරස්ථානයට පෙරළා ගෙවදින දිය කැපීමේ පෙරහර අවසන් වන්නේ ගරා යකුන් නැටීමේ ක්‍රියාවෙන් පසු දේවදානය පිරිනැමීමෙනි. එය භුක්ති විඳීමට භක්තිවන්තයන් පැමිණෙන්නේ මහත් භක්තියෙන් හා උනන්දුවෙනි.

මෙවර අගෝස්තු මස 07 දින බෙල්ලන්විල වාර්ෂික ඇසළ පුණ්‍ය මහෝත්සවය විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ඇරඹිණි. දේවදූත පෙරහර හා කුඹල් පෙරහර අගෝස්තු 17 දින ද 24 දින රන්දෝලි පෙරහර ද 25 වන දින දිය කැපීමේ මංගල්‍යය ද පැවැත්වේ.

බෙල්ලන්විල පන්සල ප්‍රදේශවාසී ජනතාවගේ ආගමික කටයුතු ඉටු කර දීම පමණක් සිදු කරන පන්සලක් නො වේ. මේ රටේ ආගමික හා දේශපාලනික වැනි තිීරණාත්මක ප්‍රශ්න උද්ගත වූ සෑම මොහොතක ම රජයට හා ජනතාවට උපදෙස් හා අනුශාසනා සැපයූ ප්‍රධාන පන්සලක් ලෙස බෙල්ලන්විල පන්සල සැලකේ.

බෙල්ලන්විල ඇසළ මහා පෙරහර මංගල්‍යය හුදී ජන හිත සුව පිණිස තවත් සියවස් ගණනක් යන තෙක් අභිමානනීය හා ගෞරවණීය ලෙස පවත්වන්නට ශක්තිය හා ධෛර්යය ලැබේවා’යි ප්‍රාර්ථනා කරමි.