Print this Article


අදීන දේශයක පුණ්‍යවන්ත උරුමය අපේ දළදා හාමුදුරුවෝ

අදීන දේශයක පුණ්‍යවන්ත උරුමය අපේ දළදා හාමුදුරුවෝ

සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු උන්වහන්සේ ආදාහනය කළ කුසිනාරා නුවර මල්ලව රජදරුවන්ගේ උපවර්තන සල් උයනේ දී අකු ධාතූන් වහන්සේ දෙනමත්, ලලාට ධාතූන් වහන්සේ, ග්‍රීවා ධාතූන් වහන්සේ හා සතර දළදා වහන්සේ පමණක් ඉතිරිවී සෙසු ධාතූන් වහන්සේ අබ පියල් මුන් පියල් ප්‍රමාණයට කැඩී ඉතිරිවූ බව මහා පරිණිබ්බාණ සූත්‍රය ආදී ඓතිහාසික වාර්තා අනුව සඳහන් වේ.

එම සතර දළදා වහන්සේ එක නමක් තව්තිසා දෙව්ලොව ද, එකනමක් නාගපුරයෙහි (නාග ලෝකය හෝ වර්තමාන නාග්පූර්), එකනමක් ගන්ධාර දේශයේ ද, එකනමක් කලිඟුරටේ ද වැඩ වසති.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පා වසර 218 ක් ගතවන මොහොතේ මහා භාරතයේ අධිරාජයා බවට පත්වූ ධර්‍මාශෝක මහ රජතුමා ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව යුද්ධයෙන් මියගිය නිසා අසීමිත සංවේගයට හා දුක්‍ඛදෝමනස්සයටන්ට පත්විය. නව හැවිරිදි නිග්‍රෝධ රහතන් වහන්සේ දැක ඉමහත් සතුටට පත්විය. මහකෙළ නාගරාජයා විසින් මවා පෙන්වන ලද සම්බුද්ධ ශරීරය හෙවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ කාය දැක ඉමහත් බුද්ධාලම්භන ප්‍රීතියට පත්වීය. මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගෙන් ධර්‍මය පිළිබඳ අවබෝධයක් ලබා ගත් රජතුමා අසූහාරදහසක් ධර්මස්ඛන්ධය පිළිබඳ අසා වෙහෙර විහාර අසූහාරදහසක් සාදවා එකම දිනයේ ඒවායේ නිධානොත්සව ආදිය සිදු කරවිය.

ඉන් අනතුරුව, 3 වන ධර්‍ම සංගායනාව ද පවත්වා සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සැලසූ ආකාරයත්, ස්වකීය පුතණුවන් වන මිහිඳු මහරහතන් වහන්සේ, දියණිය වන සංඝමිත්තා තෙරණියත් ශ්‍රී ලංකාද්වීපයට එවා සම්බුද්ධ ශාසනය පිහිටුවීමට මූලාධාර වීම ද ධර්‍මාශෝක මහරජතුමන්ගේ සුවිශේෂී උදාරතම ශාශනික සද්ක්‍රියාවයි.

ඉන් අනතුරුව රජතුමා සම්බුද්ධ දේහය සියැසින් දැක අපමණ බුද්ධාලම්භන ප්‍රීතියට පත්වූයේ සම්බුද්ධ රූපය ප්‍රතිමාවකට නඟා බුදුරජාණන් වහන්සේ උදෙසා පෙරහර පාඨලී පුත්‍ර, ඉසිපතන, ලුම්බිණි, කුසිනාරා, සාංචි ආදී බෞද්ධ සිද්ධස්ථානවල පවත්වා තිබේ.

ධර්මාශෝක අධිරාජයා රාජ්‍ය කළ පාඨලීපුත්ත නගරයේ දී බුද්ධ ප්‍රතිමා සහිත පෙරහරක් පිළිබඳ විසිතුරු වර්ණනාවක් චීනජාතික පාහියං භික්‍ෂූවගේ වාර්තාවල සඳහන් වේ. එකී වාර්තා අනුව සෑම අවුරුද්දේ ම දෙවැනි මස අටවක දා බුදුරදුන්ට උපහාර දැක්වීම පිණිස පිළිම පෙරහරක් පැවැත් වූ අතර, ඒ සඳහා රෝද සහිත රථත්, උණ ලීයෙන් සාදන ලද අඩි 20 ක් පමණ උසැති මාලක සාදා ඒවා තුළ බුද්ධ රූප තැන්පත් කොට විවිධ දේවතා රූපයන්ගෙන් අලංකාර කරන ලද රන් රිදී මුතු මැණික්වලින් සරසන ලද, ධජ පතාක වියන් ආදියෙන් සමන්විත ව සතරකොණ චෛත්‍ය ගෘහ හතරකින් සමන්විත එවැනි රථ විස්සක් පමණ පෙරහර සඳහා යොදාගත් බවත්, එකී පෙරහර දිනයන්හි සියලු භික්‍ෂූහු ද, ගිහිපිරිස ද එක්රැස් ව සුවඳ දුම්, මල් ආදිය පුදමින් නැටුම් ගැයුම් වාදන ද පැවැත් වූ අතර, බමුණන් එතැනට පැමිණ සියලු බුද්ධ ප්‍රතිමාවන් පිළිගත් ආකාරය ද සඳහන් කොට ඇත.

පාහියංගේ මෙබඳු වාර්තා අනුව අශෝකාධිරාජ්‍ය සමය පටන් ම බෞද්ධ සංස්කෘතියට පෙරහර අංගයන් ඇතුළත් වූ ආකාරය දැක්වේ.

සංඝමිත්තා මහරහත් තෙරණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයට වැඩම කරවීමේ දී පෙරහර සම්බන්ධ වූ බව සඳහන් කර ඇත. එතැන් පටන් ලක්දිව පෙරහර ද ආරම්භ වන්නට ඇතැයි සැලකේ.

අද මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩවසන වාම ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වන පෙරහර එදා ගුහසීව රජු මරණයට පත්වීමෙන් අනතුරුව හේමමලා දන්තකුමරු දෙපළ දළදා වහන්සේ නොයෙක් උවදුරු මධ්‍යයේ ලංකාවට වැඩමවා රා.ව. 301 දී කිත්සිරිමෙවන් රජුට භාරදීමෙන් අනතුරු ව රජතුමාට ඇතිවූ සැකය දුරලමින් දළදා වහන්සේ අහසට පැන නැඟ ප්‍රාතිහාර්යය පෑ ආකාරය දැකීමෙන් අසීමිත බුද්ධාලම්බන ප්‍රීතියට පත් රජතුමා දළදා වහන්සේ රජ ගෙදරට වැඩමවා සිංහාසනයේ වඩා හිඳුවා. නොයෙක් පුද පෙරහර පවත්වමින් මුළු ලක්දිව ම තුන්වතාවක් දළදා වහන්සේට පූජා කළ ආකාරය මහාවංසය ආදී ග්‍රන්ථයන් හි සඳහන් වේ.

එතැන්පටන් අභයගිරියෙහි ද, දළදා වහන්සේ වඩා හිඳුවමින් රාජ්‍ය සංකේතය බවට පත් කොට සෑම රජ කෙනෙක් ම ස්වකීය මාලිගාවේ ම තබමින් පුද පූජා පවත්වනුයේ, බුද්ධෝපස්ථානය කළ ආකාරය සඳහන් වේ.

අනුරාධපුර යුගයෙන් පසු පොළොන්නරු යුගයේ ද විජයබා, පරාක්‍රමබාහු හා නිශ්ශංකමල්ල ආදී රජවරු ද ඒ ආකාරයෙන් ම දළදා වහන්සේ සඳහා පුද පෙරහර පැවැත් වීය.

කාලිංග මාඝ චන්‍ද්‍රභාණු ආක්‍රමණ නිසා දඹදෙණියට රාජධානිය ගෙනගිය අතර, භික්‍ෂූන් වහන්සේ ද දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ කොත්මලේ පුසුල්පිටිය සමීපයෙහි සපුගහක සඟවා බුරුමයට පැන ගියහ.

2 වැනි පරාක්‍රමබාහු රජතුමා ස්වකීය මාළිගාව සමීපයෙහි ම දළදා මාළිගාවක් සාදා නොයෙක් පුද පූජා පැවැත් වූ අතර, පරසතුරු ආක්‍රමණ හා රාජ්‍ය තුළ ඇති වූ ගැටුම් නිසාත්, දළදා වහන්සේ රැගෙන ගම්පොලට ද, එයින් කෝට්ටේට ද ගෙනගිය අතර, සිතාවක රාජසිංහ රාජ්‍ය කාලය වන විට දළදා වහන්සේ රත්නපුරය කුරුවිට දෙල්ගමුව රාජමහා විහාරයේ කුරහන්ගල යට සඟවා තබමින් රහසිගත ව පුද පූජා පැවැත්වීය.

පළමු රාජසිංහයන් නිසා ඇති වූ සම්බුද්ධ ශාසනයේ විනාශයෙන් එකදු උපසම්පදා භික්‍ෂුවක්වත් නැති වූ අතර, ධර්‍ම ශාස්ත්‍රීය ග්‍රන්ථ ද විනාශයට පත් විය. නැවත රා.ව. 1542 දී වික්‍රමබාහු රජතුමා කන්දඋඩරට සෙන්කඩගල රාජධානිය පිහිටුවා ගෙන රජ ගේ සමීපයෙහි දෙමහල් පෝය ගෙයක් බඳවා, ඒ සමීපයෙහි දාගැබෙහි පාත්‍රා ධාතූන් වහන්සේ නිදන් කොට පෝයමළු විහාරය නමින් නම් තබා ඒ අවට වෙහෙර විහාර 86 ක් සාදවා උපසම්පදා භික්‍ෂූන් වහන්සේ 355 නමක් ඇති කොට ධර්‍මකීර්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සම්බුද්ධ ශාසනයෙහි කටයුතු සැලැස්වූ ආකාරය මහාවංශයේ 92 පරිච්ඡේදයෙහි දැක්වේ.

පළමු විමලධර්මසූරිය රාජ්‍ය කාලයේ දී දෙල්ගමුවේ සිට මහනුවරට වැඩමවා මාලිගාවක් සාදවා එහි තැන්පත් කොට පෝයමළු විහාරයේ හා අස්ගිරි විහාරයේ භික්‍ෂූන් වැඩමවා පුදපූජා පැවැත්වූ අකාරය ද මැනවින් සඳහන් වේ.

ධර්‍ම ශාස්ත්‍රීය අධ්‍යාපනය වැඩිදියුණු කළ වැලිවිට සරණංකර හිමියන් ඇතුළු මහා විහාරයීය භික්‍ෂූන් වහන්සේ සියම් රටෙන් උපසම්පදාව වැඩම වූ උපාලි හිමියන් ඇතුළු භික්‍ෂූන් වහන්සේත්, සතර දේවාල පෙරහර බලන අවස්ථාවේ දී දළදා වහන්සේ උදෙසා ද මෙවන් පෙරහරක් පැවැත්වීම සුදුසු යැයි කරන ලද යෝජනා හා අදහස් ද, කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට ඉදිරිපත් කළෙන් රජතුමා අසීමිත සතුටට පත්ව පෙරහරක් සංවිධානය කරවා සතර දේවාල පෙරහරට පෙරටුව වීදි සංචාරය කිරීමට සැලැස් වීය.