Print this Article


හෙළ සංස්කෘතියේ ශ්‍රී විභූතියඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහර

හෙළ සංස්කෘතියේ ශ්‍රී විභූතිය ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහර

සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යය හෙළ සංස්කෘතියේ උදාරත්වය ප්‍රෞඪත්වය හා ශ්‍රී විභූතිය විදහා දක්වන කැඩපතක් වන් උඩරට නැටුම් කලාවේ එකම මහා වේදිකාව බඳු ය.

එහි විචිත්‍රත්වය හා අභිරමණීයත්වය දෙගුණ තෙගුණ කෙරෙන උඩරට නැටුම් කලාවේ ප්‍රභවය පිළිබඳ නිශ්චිත ව කිව හැකි මූලාශ්‍ර නොමැති වුව ද රාජනුග්‍රහයන් නොමඳ ව ලබා දිගු ඉතිහාසයක් පුරා චිරාගත සාම්ප්‍රදායික පුදසිරිත් ඇසුරු කොට පවත්වා ගෙන එනු ලබයි. පූජාව හා ශාන්තිය මුල් කොට ගත්, මෙම විචිත්‍ර කලා සම්ප්‍රදාය බොහෝ දෙනා මැනවින් අධ්‍යයනය නොකොට, මහනුවර යුගයේ ඇතිවූවක් ලෙස ම අර්ථගැන්වීම යුක්ති යුක්ත නොවන බව හැඟේ.

වත්මනෙහි පවත්නා සිංහල නැටුම්, ගැයුම්, වැයුම් කලාවේ ප්‍රභවය විජයාවතරණයට පෙරාතුව පටන් පැවැති කලාවන්ගෙන් ද පෝෂණය ලබා මෙරටට ම ආවේණික වූ පරිදි සැකසුණු නර්තන, වාදන, ගායන සම්ප්‍රදායන් මත ගොඩනැඟුණු බව පෙනේ.

ලක්දිව රාජධානි මාරුවීමත් සමඟ රාජධානියෙන් රාජධානියට පරපුරෙන් පරපුරට පවත්වාගෙන ආ මෙම හේවිසි පූජා චාරිත්‍ර පළමුවන විමලධර්මසූරිය (ක්‍රි.ව. 1592 - 1604 ) රාජ්‍ය සමයේ සෙංකඩගලපුර වෙත දළදා වහන්සේ වැඩමවීමත් සමඟ පෙර පැවති පුද සිරිත් සමඟ එලෙසම පැවැත් වූ බව පෙනී යයි.

මහනුවර රාජ සමය වන විට දඹදෙණි, කුරුණෑගල රාජධානිවල දී ගම්වර දී පත් කරන ලද හේවිසි පරම්පරාවලින් ඉහළ දොළොස්පත්තුව (කුරුණෑගල මාවතගම ඇතුළු ප්‍රදේශ) පහළ දොළොස්පත්තුව (හිරියාල හත්පත්තුව ඇතුළු ප්‍රදේශ) දුම්බර, මාතලේ ආදී ගම්වර ලැබූ හේවිසි පරම්පරාවන්ගෙන් පැවතගෙන එන අය අදටත් සෙංකඩගලපුර දළදා හේවිසි පූජාවන්හි යෙදෙති.

ශ්‍රී දළදා මාළිගාවේ සතර මංගල්‍යය අතුරෙන් අසිරිමත් දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්‍යය චිරාගත සාම්ප්‍රදායානුකූල ව අඛණ්ඩ ව පවත්වා ගෙන නො පැමිණියේ නම් ජාතික, ආගමික, සංස්කෘතික, සෞන්දර්ය හා අලංකාරය මූර්තිමත් කොට හෙළ සංස්කෘතියේ අසිරිමත් පැතිකඩක් ලෙස ප්‍රදර්ශනය කෙරෙන උඩරට නැටුම් කලාව මුසු වූ හෙළ සංස්කෘතිය අවනතියට හා පරිහානියට පත්වීමට සෑම අතින් ම ඉඩ තිබිණ.

ජාතියේ ප්‍රෞඪත්වය කියාපාන උඩරට නැටුම් කලාවේ අදීනත්වය හා දේශීයත්වය අදටත් සුරක්ෂිත කොට පෝෂණය කිරීමට දායක වන උඩරට නර්තන වාදන පරම්පරා පූජා විෂයාත්මකවූත්, නිර්ව්‍යාජවූත්, සෞන්දර්යාත්මකවූත් කලාවක් වශයෙන් උඩරට නැටුම් කලාව අදටත් සුරක්ෂිත ව පවත්වා ගෙන යාමට සෑම අතින් ම දායකත්වය ලැබුණේ ජීවය ලැබුණේ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය තුළිනි.

ඇසළ පෙරහර මංගල්‍යයේ සුවිශේෂත්වය කියාපාන උඩරට නැටුම් කලාවේ වැදගත් අංග ලක්ෂණයක් වන්නේ ගුරුවරුන් හා වැඩිහිටියන් කෙරෙහි දක්වන ගෞරවාදරය හා සාම්ප්‍රදායික චාරිත්‍රවිධීන්ට අනුව තම කලාකුසලතා එළි දැක්වීම අඛණ්ඩ ව පවත්වා ගෙන යෑමයි.

පෙරහරේ මුල සිට අග දක්වා එකම නාදරිද්මයකට අනුව ඒකමත්වය හා චමත්කාරය, මධුරත්වය හා පූජනීයත්වය මැනවින් පවත්වා ගැනීමට දායක වන්නේ දළදා මාළිගාවේ තේවා පුද සත්කාරයන්ට හේවිසි පූජා පවත්වන පණික්කි මුර හතරේ ප්‍රධාන ශිල්පීන් හතර දෙනාගේ මූලිකත්වයෙන් ගමන් ගන්නා හේවිසි කණ්ඩායම යි.

නර්තන වාදන ශිල්පීහු පෙරහර ආරම්භ කිරීමට පෙරාතුව දළදා වහන්සේ වැඳ නමස්කාර කොට දියවඩන නිලමේතුමන්ට ආචාර සමාචාර කොට අවසර ලබාගෙන පනික්කි මුරයේ ප්‍රධානියන්ගේ සිට අනුපිළිවෙළට වැඩිහිටියනට ආචාර කොට වාදන, නැටුම්, ගායන ඇරඹීම සිදුකරති.

මහවාහල්කඩ ඉදිරිපිට ඇති සඳකඩපහණ ඉදිරිපිට දී පෙරහර පිටත්වීමේ කාලය එළඹි විට දේව පදය වාදනයෙන් වාදනය ආරම්භ කරති. අනතුරුව ආලත්ති පදය වාදනය වෙද්දී සියලු වාදන ශිල්පීහු හා නර්තන ශිල්පීහු ශ්‍රී දළදා මාළිගාවට හා පෙරහර කරඬුවට නමස්කාර කොට දියවඩන නිලමේතුමන්ට වැඳ ආචාර කොට එකිනෙකාට ආචාර දක්වා පෙරහරේ ගමන් කිරීමට සැරසෙති.

භේරීවාදන හා නර්තන පරම්පරා අනුගමනය කරන විවිධ චාරිත්‍ර පවතී. ඒ අනුව භේරී වාදකයන් පෙළ ගැසෙනුයේ ප්‍රවීණත්වය හා වයස් සීමා අනුව ය. පළමුව වාදනය පිරීම නායකයා විසින් සිදු කරනු ලබයි. පෙරහර ඉදිරියට ගමන් කිරීම, ගෙවැදීම හා අවසන් කිරීම අනික් අයට සන්නිවේදනය කරනුයේ පෙරමුණෙහි ගමන් ගන්නා හේවිසි කණ්ඩායම විසිනි. ඇසළ පෙරහරේ භේරී වාදනය සිදු වනුයේ උතුම් පෙරහර කරඬුව වැඩමවන මංගල හස්ති රාජයාගේ ගමන් විලාසයත්, දියවඩන නිලමේතුමාගේ ගමන් විලාසයත්, නැටුම් ශිල්පීන්ගේ රැඟුම් රිද්මයත් මිශි‍්‍රත වූ නාද රිද්මයකට ය.

වෙස් නැටුම -

උඩරට නැටුමේ මුදුන් මල්කඩයි. ප්‍රවීණ ශිල්පීන් විසින් මෙම නැටුම ඉදිරිපත් කෙරේ. වෙස් නැටුමෙහි ඇඳුම් කට්ටලයේ සුවිශේෂත්වයක් දක්නට ලැබේ. එය නැටුම් පරම්පරා පමණක් නොව අවශේෂයන් පවා ශුද්ධ වස්තුවක් කොට සලකයි.

උඩරට නැටුමට අදාළ කවි ගායනා කරමින් ප්‍රවීණ වාදන ශිල්පීන්ගේ බෙර වාදනයට අනුව ඉදිරිපත් කරන මෙම වෙස් නැටුම ශ්‍රී දළදා කරඬුව සහ ගරු දියවඩන නිලමේතුමා ඉදිරියේ කණ්ඩායම් දෙකක් වශයෙන් රංගනයේ යෙදෙති.

මෑත ඉතිහාසයේ මහනුවර ඇසළ පෙරහරේ සුවිශේෂ නැටුම් අංගයක් වන්නේ උඩරට වෙස් නැටුම යි. මෙම නර්තන අංගය මහනුවර ඇසළ පෙරහර මංගල්ලයට එක්වී ඇත්තේ ක්‍රි.ව. 1919 පුංචිබණ්ඩා නුගවෙල දියවඩන නිලමේතුමන්ගේ කාලයේ දී බව කියැවේ.

අතීතයේ දී වෙස් නැටුමෙන් ඇසළ පෙරහර මංගල්ලය ශෝභාවත් කළ නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ දෙස් විදෙස් නරඹන්නන්ගේ නෙත් සිත් ඇද බැඳ ගත් විශිෂ්ට නර්තන ශිල්පියෙකි. වර්තමානයෙහි වෙස් නැටුම් ශිල්පීන් අතර ප්‍රවීණ නර්තන ශිල්පියකු වශයෙන් හඟුරන්කෙත, පොල්වත්තේ, අරුප්පල මුණ්ඩාදෙණියේ ගෙදර ශ්‍රී ලංකාතිලක පිටර් සූරසේන නර්තන ශිල්පියා හඳුන්වාදිය හැකි ය. ඔහු උඩරට නැටුම් කලාවේ මහත් කුසලතා පූර්ණත්වයක් දැක්වූ හඟුරන්කෙත සොබනා ගුරුන්නාන්සේගේ මුනුපුරා ය. දක්ෂ නැට්ටුවකු වූ මුණ්ඩාදෙණියේ ගෙදර ගුණයා ගුරුන්නාන්සේගේ ආදරණීය පුත්‍රයා ය.

දේශීය පංචතූර්ය වාදනයේ සුසිර කොටසට අදාළ ව මිහිරි නාදයක් උපදවන නළා විශේෂයක් වශයෙන් හොරණෑවට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි.

චාමර නැටුම -

ශ්‍රී දළදා වහන්සේට සහ රජවරුන් ඇතුළු ප්‍රභූන්ට පවන් සැලීම සඳහා චාමරය යොදාගෙන ඇත. එම කාර්යය විදහා දක්වමින් පසු කාලයක රාජසභා නර්තනයක් වශයෙන් චාමර නැටුම සංවිධානය වී ඇත.

ලී කෙළි නැටුම -

ඉතා සරල වූ නැටුම් විශේෂයකි.

පන්තේරු නැටුම -

උඩරට නර්තන සම්ප්‍රදායේ විශේෂ වූ නර්තන අංගයකි. සූවිසි විවරණ, සත්සතිය, පන්සාළිස්වස වැනි නර්තන අවස්ථා පන්තේරු නැටුමෙන් වර්ණවත් වී ඇත. පත්තිනි දේවියගේ සලඹ අනුසාරයෙන් පන්තේරුව සැකසී ඇති බව ප්‍රකට මතයකි. ගැටබෙරය හෙවත් උඩරට බෙරය මෙහිදී වාදනය සඳහා යොදාගනී.

හිස බඳින රෙද්ද, කරවට බඳින සුරය, කඩුක්කන්තෝඩු, වළලු, පිජාමාව, අඳින රෙද්ද, පච්චවඩම, සිලම්ඹු, කළුලේන්සුව, හවඩිය ඇඳුම් ආයිත්තම් අතර දක්නට හැකි ය.

තාලම් වාදනය -

ගැමි නැටුම් විශේෂයකි.

නෛයඩි නැටුම -

හිසවෙස් ආභරණ රහිත ව නෛයඩි රංගාභරණයෙන් සැරසුණු ප්‍රවීණ ශිල්පීන් විසින් ඉදිරිපත් කෙරෙන උඩරට සම්ප්‍රදායික නැටුමකි. ගැටබෙරය වාදනය සඳහා යොදා ගන්නා අතර උඩරට නැටුමට අදාළ වූ කවි ගායනා යොදාගනී. (කණ්ඩායම් දෙකකි) උඩරටට ආවේණික නැටුම් විශේෂයකි.

වෙස් නැටුමට පෙරාතුව හැදෑරිය යුතු නැටුම් විශේෂයකි. වෙස් නැටුමට පෙර කලඑළි රංගනයට ද යොදා ගනී.

කඩු සරඹ -

කඩු සරඹ පදනම් කර ගනිමින් ජන නැටුමක් වශයෙන් ජනපි‍්‍රය වූ නර්තන අංගයකි. ප්‍රශස්ති සහ හටන් ගී මෙහි ගායනා වශයෙන් යොදා ගනී.

අත් රබන් වාදනය -

ශ්‍රී ලංකාවේ රබන් වාදන අතර මහ රබන්, අත් රබන් සහ විරිදු රබන් වශයෙන් කොටස් තුනකට වෙන් කළ හැකි ය. මෙහි අත් රබන් කොටසට අයත් ව අතින් වාදනය කරමින් රබාන කරකවමින් සුවිශේෂ වූ ශිල්ප දක්වමින්, උඩ දැමීම, දෑත් වටා කර කැපීම ආදී ශිල්ප දැක්වීම මෙහි වැදගත් ලක්ෂණයකි. රබන් වාදනයට අදාළ කවි ගායනා සහ ප්‍රශස්ති ගායනා යොදා ගනී. යට කලිසම මඳක් ඉහළින් අඳී. දුඹුරු පාට රෙද්ද, මන්තය, අවුල් හැරය කඩුක්කන්, සිලම්ඹු, ඇඳුම් පැලඳුම් වශයෙන් භාවිත කෙරේ.

උඩැක්කි නැටුම -

ආතත භාණ්ඩයක් වන උඩැක්කිය අතින් ගෙන එක් අතකින් වාදනය කරමින් බුදුගුණ ගයමින් එයට ම ආවේණික වූ රංග වස්ත්‍රාභරණයකින් සැරසී සරල නැටුමක් ඉදිරිපත් කිරීම මෙහි විශේෂත්වය යි.

තම්මැට්ටම් වාදකයෝ -

පංච තූර්ය වාදන භාණ්ඩයක් හා හේවිසි වාදන භාණ්ඩයක් වශයෙන් විශේෂ තැනක් ගන්නා තම්මැට්ටම පමණක් යොදා ගනිමින් ඉදිරිපත් කරන වාදන ඛණ්ඩයකි.

පතුරු නැටුම -

ලී පතුරක් අතැති ව නටන ගැමි ගැටුමකි.

අනුරපුර කිත්සිරිමෙවන් රජු සමයේ කිතුවසින් 310 වැන්නේ සිට රාජධානියෙන් රාජධානියට අවිච්ඡින්න ව පවත්වා ගෙන විත්, අද වන විටත් කන්ද උඩරට සෙංකඩගලපුර පවත්නා වූ ඇසළ පෙරහර මංගල්ලය, ජාතික, ආගමික, සංස්කෘතික, කලාත්මක දායාදයන් පෝෂණය කරමින් අපේ උරුමයක් වශයෙන් ජාතියට දායාද කොට තිබීම ජාතියේ මහත් අභිමානයට හේතු වන්නක් බව සිතා සතුටින් සැනසුම් සුසුම් හෙළිය හැකි ය.