Print this Article


සැනසුම වනසන මසුරු සිත

සැනසුම වනසන මසුරු සිත

ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසල මූලයන්ගෙන් පුහුදුන් සන්තානය පිරීගොස් ඇත. එහෙත් මිනිසා නැමති සත්වයාට උසස් චින්තනයක් ලැබී ඇති බැවින් ඕනෑම අකුසල මූලයක් මැඩපවත්වා ගැනීමට පුළුවන. අපගේ මනස තුළ හට ගන්නා ප්‍රධාන අකුසල්වලින් එකක් අභිද්‍යාවයි. එනම් දැඩි ලෝභකමයි.

අපගේ මනස තුළ සිදුවන ක්‍රියාවලිය තම තමාට ම පෙනෙනවා හැර අනුනට නොපෙනෙනවා සේ ම, පෙන්වීමට ද නොහැක. සමථ භාවනාවෙන් ලබන ත්‍රිවිද්‍යා තුළ “පරචිත්ත විජානන” (අනුන්ගේ සිත් දැන ගැනීමේ නුවණ) ප්‍රධාන එකකි. නමුදු සාමාන්‍ය පුහුදුන් සත්වයාට එවැනි නුවණක් නොමැත. පුහුදුන් සත්වයාට වුව ද සමථ භාවනාව දියුණු කොට ගෙන පංචාභිඥා නම් වූ අනුන්ගේ සිත් දැන ගැනීමේ එම ඤාණය ලබා ගැනීමට පුළුවන.

බුදුරදුන් ලොව පහළ වන විට සිටි අසිත, දේවල, ආලාරකාලාම, උද්දකරාමපුත්ත වැනි සෘෂිවරුන් එම ධ්‍යාන ලැබූ බව සඳහන් වේ.

සිතේ ස්වභාවය නොපෙනුනාට සිතින් මොහොතක් ගානේ අකුසල් සිදු වේ. එයට හේතුව සිත නොපෙනීම හා ස්පර්ශ කිරීමට නොහැකි වීමයි. තව කෙනකුට සිතේ ස්වභාවයන් වෙනස් කිරීමට අපහසු අතර, තම තමා විසින් ම සිතේ ස්වභාවය හඳුනාගෙන ඊට ප්‍රතිකර්ම කර ගත යුතු ව ඇත. ඒ සඳහා ශ්‍රී සද්ධර්මය තරම් ඖෂධයක් අපට තවත් නොමැත.

එනිසා මානසික රෝග සඳහා ධර්මය ම ඖෂධයක් කොට ගත යුතු ය. ශාරීරික රෝගාබාධ සඳහා නොයෙක් වෛද්‍යවරු සිටිය ද මානසික රෝගාබාධ සඳහා ඇත්තේ බුදුරජාණන් වහන්සේ පමණි. මහණෙනි, ධර්මය ඖෂධයක් කොට එය පානය කරන්න. යනුවෙන් දේශනා කළේ එබැවිනි.

බුදුරදුන් කල අධික මසුරුකමින් රෝගී ව සිටි මච්ඡරිය කෝසිය සිටාණන්ට බුදුරදුන් පිහිට වී ඔහුගේ තිබූ මසුරු මල දුරු කොට සෝවාන් තත්ත්වයට පත් කළ ආකාරය ඉතා අගනේ ය. එම කතා හි සඳහන් වන ආකාරයට මච්ඡරිය කෝසිය සිටාණෝ අසූ කෙළක් ධනය තිබූ සිටු කෙනෙකි. නමුදු මසුරු කමින් අනූන ය. තණ අගකින් තෙල් බිංදුවක් පමණකුදු කිසිවකුට, කිසිත් නොදෙන තරමට ම ලෝභකමින් යුක්තය හේ දිනක් කැවුමක් කන මිනිසකු දැක ඒ පිළිබඳ ආශාවක් ඇති කර ගත්තේ ය. නමුදු මසුරුකම හේතුවෙන් එය සිතේ දරාගෙන දුක් විඳ විඳ සිටීමෙන් ශරීරය පවා වැහැරී යන්නට විය. කෙසේ හෝ මේ කරුණ පිළිබඳ විමසා හේතු කාරණා දැන ගත් සිටු බිරිඳ ඔබ වැනි ධනවත් සිටුවරයකුට කැවුම් කන්නට එතරම් අපහසු දැයි අසා නගරයට, වීදියට, ගෙදර, දූ දරුවන්ට, තමන් දෙදෙනාට සෑහෙන තරමට කැවුම් පිසිමු දැයි ඇසීය. ඒ අයගෙන් මට වැඩක් නැත. මට පමණක් කැවුමක් සාදන ලෙස කීවේ ය. පසුව මාලිගාවේ සියලු දොර ජනෙල් වසා මතු මහලේ කැවුම් පිසීමට යොදා ගත්හ.

මෙය දිවැසින් දුටු බුදුරදුන් ඔහුට සෝවාන් වීමට පින පෑදී ඇති බව දැන මුගලන් තෙරුන් අමතා ඔහු දමනය කරන ලෙස දැනුම් දුන්හ. මුලගන් හිමි ද සිටු මාලිගයේ කැවුම් පිසින තැන සෘද්ධියෙන් වැඩ හුන්හ. පසුව සිටාණෝ “මම මෙවැනි ශ්‍රමණයන්ට බියෙන් මෙතැනට ආමි. එතැනටත් ආයේ යි තට තට යන අනුකරණයෙන් ගැහි ගැහී අහසෙහි ඇවිද්දත් යමක් නොදෙමියි කී ය. තෙරුන් අහසෙහි සක්මන් කළහ. පලක් බැද සිටියත් යමක් නොදෙමියි කී ය. තෙරුන් එසේත් කළහ. එළිපතට ආවත් නොදෙමී කීහ. තෙරුන් එතැනටත් වැඩියහ. දුම් දැමුවත් නොදෙමි’යි කීහ. තෙරුන් එසේත් කළහ. එවිට ගෙය දැවී යැතැයි බියට පත් සිටුතෙම ගිනි ගත්තත් නොදෙමි’යි නොකියා මොහුට කැවුමක් දී යවන්නැයි බිරිඳට කීය. ඇය ද පිටි බිඳක් කබලට දැමූ කල කබල පුරා කැවුමක් පිපී ගියේ ය. එවිට සිටු බිරිඳට තී පිටි ගොඩක් දැමුවා නොවේ දැයි බැණ වැද තමා ම පිටි ටිකක් දැමී ය. එය ඊටත් වඩා විශාල විය. පසුව සිටුතුමා ලොබ බැඳ එසේ නම් ඉවු කැවුම්වලින් එකක් පෙට්ටියෙන් ගෙන මේ ශ්‍රමණයාට දී පිටත් කරන්න යැයි කීය. එක කැවුමක් ගන්නට ගිය කල්හි සියලු කැවුම් එකට බැඳී ගියේ ය. පසුව දෙදෙනා ම කැවුමක් වෙන් කිරීමට දෙපැත්තට ඇද්දත් එය අසීරු දෙයක් වූ බැවින් මහන්සිය හේතුවෙන් ඩාදිය ගලන්නට විය. කැවුම් කෑම එපා විය. කැවුම් පෙට්ටිය ම මුගලන් හිමිට පිළිගන්වන්නැයි කීය.

පසුව මුගලන් තෙරුන් ඔවුන්ට පවසන්නේ දෙව්රම් වෙහෙර බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝ රත්නය වැඩ වසන බවත්, ඔබලා එහි ගොස් දන් පිළිගැන්වීම සුදුසු බවත් ය. එවිට සිටාණෝ දන් වළඳන වේලාවට කලින් එතෙක් දුර කෙසේ යන්නේ දැයි ඇසූ විට මාගේ සෘද්ධි බලයෙන් ඔබලාටත් එහි යෑමට පුළුවන් බව පවසා ඔවුන් ද සමඟ කැවුම් ද රැගෙන දෙව්රමට ගොස් බුදුන් ප්‍රමුඛ සියලු ම භික්ෂූන් වහන්සේට කැවුම් පිළිගැන්වූහ. නමුදු කැවුම් අවසන් නොවීය.

මෙම කතා පුවත තුළින් පැහැදිලි වන්නේ කෙනකුට කෙතරම් ධන සම්පත් තිබුණ ද නිවැරැදි මඟ පෙන්වීමක් ඇත්නම් ඔවුන්ගේ පුණ්‍ය ශක්තිය ඉස්මතු වන බවයි. තව පැත්තකින් ගත් කල්හි මසුරුකම ජීවිතයට පාඩුවක්, අලාභයක් මිස ලාභයක් වාසියක් නොවන බව ද තේරුම් ගත යුතු ය.

බුදුදහමේ ලෞකික සැප විඳීමට කිසිදු තහනමක් නැත. නමුදු එය පමණක් නම් මුළු ජීවිතය පුරා සිදුවන්නේ, එය එතරම් සුදුසු දෙයක් නොවේ. සමාජයක ජීවත් වීමේ දී ධනය සෙවීමත්, ඒවා නිසියාකාර ව වියදම් කිරීමත් කළ යුතු ය. අප විසින් සිදු කළ යුතු පූජා විධි 5ක් පිළිබඳ දේශනා කොට ඇත. ඒවා පංච බලි යනුවෙන් අ.නි. බලිවද්ද සූත්‍රය තුළ දක්වා ඇත.

එනම් රාජ බලි, අත්ථි බලි, පුබ්බපේත බලි, ආගන්තුක බලි හා දේවතා බලි යනුවෙනි. බලි යනු පූජාව, බිලි පූජාව, අය බද්ධ යන අර්ථය ගෙන දෙන පදයකි. ඒ අනුව අප සොයන ධන සම්පත් ගොඩගසා ගෙන රකුසන් සේ සිටීමට අපට නොහැකි ය. ඒවා තම ප්‍රයෝජනයට සේ ම සමාජ යුතුකම් සඳහා ද යෙදිය යුතු ය.