Print this Article


දුක් පීඩා කරදර වැඩි නම් පින බලවත් කර ගන්න

දුක් පීඩා කරදර වැඩි නම් පින බලවත් කර ගන්න

අපි මොන තරම් හොඳින් ජීවත් වුවත් අපගේ හොඳ ගතිගුණ, හොඳ ක්‍රියා, හොඳ සිතිවිලි ඇතැම් විට මේ ජීවිතයේ දී ම ප්‍රතිඵලයක් ලෙස ලැබෙන්නේ නැහැ.

අප සිතින්, කයින්, වචනයෙන් සිදු කරන කර්ම ක්‍රම තුනකට රැස් වෙනවා. ඒ අනුව දිට්ඨධම්මවේදනීය කර්මය, මේ ජීවිතයේ දී ම විපාක ලැබෙනවා. උපපජ්ජවේදනීය කර්මය ඊළඟ ජීවිතයේ දී විපාක ලැබෙනවා. අපරාපරියවේදනීය කර්මය, සංසාරේ කොතැනක හෝ විපාක දී අවසන් වෙනවා. ඇතැම්විට අප කළ කලු කර්මය මේ ජීවිතයේ දී කළ දෙයක් වෙන්න පුළුවන්. එහි විපාකය කල්ප කෝටි ගණනක් ජීවිත ගෙවා දැමූ පසුවයි ලැබෙන්නේ. එහෙම බියකරු සසරකයි අප ගමන් කරන්නේ. ඇතැම්විට අප මේ ජීවිතයේ කරන බොහෝ කර්ම ඊළඟ ජීවිතයේ විපාක පිණිස ආසන්න වෙන්න පුළුවන්. එසේ ආසන්න වුණත් සසරේ යම් කලු කර්මයක් ඉදිරිපත් වෙලා සුදු කර්මය යට යන්නත් පුළුවන්.

මේ ජීවිතයේ දස කුසල් කරමින් යම් කෙනෙක් ජීවත් වෙනවා. නමුත් ඔහු මිය ගිය පසු නිරයේ වුවත් උපදින්නට පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඒකට හේතුව සංසාරේ කළ නරක කර්මයක් බලවත් ව ඉදිරියට ඇවිත් ඔහුව නිරයේ උපතකට ඇද දමන්නට පුළුවන්කම තිබෙනවා.

අද සමාජයේ වුවත් ඉතාමත් ශ්‍රද්ධාවෙන්, කිසිවකුට වචනයකින්වත් බරක් නොවී ඉතා දුක් මහන්සියෙන් ධනය උපයා ගෙන, දානමාන පින් කරමින් ජිවත් වන අය සිටිනවා. ඒත් ඒ අයට නිතර ම කරදර එනවා. දරුවන්ගේ ප්‍රශ්න, ලෙඩදුක්, අමනුස්ස බය ආදියෙන් පීඩා විඳිනවා. එවිට ඔවුන්ට සිතෙන්නට පුළුවන් මෙ තරම් හොඳින් ඉන්න මට ඇයි මෙ තරම් කරදර කියලා.

භාග්‍යවතුන් වහන්සේ ඒ සඳහා උපමාවක් වදාළා. ඔහු දැන් හොඳින් ජීවත් වුණාට සංසාරේ වූ අකුසලයක් කලු කර්මයක් ලෙස ඉදිරිපත් වෙන බව. ඒක හරියට තරාදියකට බරක් වැටුණා වගේ කියනවා. යම් විදිහකට තරාදියේ ඒ බර ඉවත් වුණොත් තරාදි තැටිය උඩට එනවා. ඒ වගේ හොඳ සිතිවිලි තිබෙන පින්දහම් කරන අයටත් කරදර එන්න පුළුවන්. නමුත් ඔහුගේ ඒ විපාකය අවසන් වූ වහාම ඒ කරපු සුදු කර්මය ඔහු ඉහළට ගන්නවා.

එනිසා හොඳ කර්ම කරන අයට කරදර එනවිට සසරේ ස්වභාවය තේරුම් ගෙන ඒ දුෂ්කර කාලය ගෙවී යනතුරු ශක්තිමත් ව ජීවිතය අල්ලා ගෙන ඉන්න ඕන.

කලු කර්ම මහා භයානක දෙයක්. සත්වයා දුකට ඇඳ දමන දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාළා මේ සත්වයෝ ඉන්නේ කර්මය තමාගේ කර ගෙන බව. තමා සුන්දර නිවසක ජීවත් වෙන්න කැමැතියි. නමුත් ඔහුට නිවසක් නැහැ. ඒක සිදුවන්නේ පිනේ දෝෂයක්, අඩුවක් නිස යි. සුන්දර නිවසක ජීවත්වීමට සුදුසු පින කර ගෙන නැතිකමයි.

අතීතයේ බ්‍රහ්මදත්ත නම් රජුට අතිශයින් ආදරය කළ බිරිඳක් සිටියා. ඈ සුබද්‍රා. කාලයත් සමඟ රජු මිය ගියා. එදා මෙදා පටන් මේ සුබද්‍රා දිනකට තුන්වරක් සොහොනට ගොස් රජුගේ ගුණ කියමින් අඬා වැටුණා. කඳුළින් සොහොන තෙත් කරන එක ස්වාමියාට කරන ගෞරවයක් ලෙස ඇය සිතුවා. බුද්ධ ශාසනයක් නැති කාලයක මිනිසුන් කෙ තරම් මං මුළා වෙනවා ද? මේ සිදුවීම නාරද නම් එක්තරා සෘද්ධිමත් තාපසයෙක් දුටුවා. මේ තාපසයා හිමාලයේ සිට බරණැසට වැඩම කරලා ඇය හඬා වැටෙන සොහොන ළඟ වැඩ සිටියා. ඇය හඬාගෙන එදත් සොහොන අසලට ආවා. නාරද තාපසතුමා අසනවා

“පින්වත් රජබිසව, ඔබ මෙතැනට පැමිණ මෙ තරම් හඬා වැටෙන්නේ ඇයි?

“තාපසතුමනි, මාගේ මියගිය ස්වාමියා වෙනුවෙන්.

බිසවුනි, ඔබගේ කලින් ජිවිතයේත් ස්වාමියා නැති වුණා. ඊට පෙර ජීවිතවලත් ස්වාමියා නැති වුණා. මේ ජීවිතයේත් නැති වුණා. මොන ස්වාමියා වෙනුවෙන් ද ඔබ හඬන්නේ?

ස්වාමීනි, මම හඬන්නේ වෙන කවුරුත් වෙනුවෙන් නොවේ. මගේ බ්‍රහ්මදත්ත රජු වෙනුවෙන් කියලා.

බිසවුනි, බ්‍රහ්මදත්ත නමින් මේ ස්ථානයේ ම පුරුෂයෝ අසූහාරදහසක් ආදාහනය කර තිබෙනවා. ඒ කුමන බ්‍රහ්මදත්ත වෙනුවෙන් ද හඬා වැටෙන්නේ.

ස්වාමීනී, මම අඬන්නේ මගේම බ්‍රහ්මදත්ත රජු වෙනුවෙන්.

දේවි, ඒ සෑම බ්‍රහ්මදත්ත රජ කෙනකුගේ ම බිසව ඔබයි. ඔබ බ්‍රහ්මදත්ත කියන ඒ පුරුෂයන් වෙනුවෙන් මේ ස්ථානයේ ම හඬා වැටී තිබෙනවා.

එය ඇසූ ඇයට එකවර ම සසර බිය දැනුණා. සිහිය උපන්නා. ඇය තාපසතුමාගෙන් දිගින් දිගට ම ඒ ගැන ප්‍රශ්න කළා. ඇය වහා හැඬීම නතර කළා. බ්‍රහ්මදත්ත රජු වෙනුවෙන් පින් දහම් කළා.

එනිසා අප ගමන් කරන්නේ මේ සා දීර්ඝ සසර ගමනක කියලා අපට වැටහීමක් තිබෙන්න ඕනෑ. උපදින, මැරෙන සංසාරයේ තමා කරගත් දේ තමා පිටුපස එනවා කියා විශ්වාසයක් තිබෙන්නට ඕනෑ.

දහමේ සඳහන් වන්නේ පිනක් කරන්නත් පිනක් තිබෙන්න ඕන කියලා. ඒක මේ වගේ දෙයක් කෙනකුට පහනක් දල්වන්න ඕන වෙනවා. ඔහු පහනක් ගෙන තෙල්, තිර දාලා තිබුණාට මදි. පහන පත්තු කරන්න ඒ සඳහා ගින්දරක් ඕන. පහනේ ගින්දර ඇවිලෙන්නට පිටතින් ගින්දර අවශ්‍ය වෙනවා. ඒ වගේ පිනක් කරන්නත් පිනක් ඕන. ඒ වගේ සංසාරේ කළ පිනක් ඉස්මතු වෙලා තල්ලුවක් දුන්නොත්, ස්තූප, බෝධීන් වහන්සේ, සංඝයා වහන්සේ ද මුල් කර ගෙන බොහෝ අයට පින් කර ගන්න පුළුවන්කම තිබෙනවා. අනාගතයේ අපට ලොකු පින්කම් කරන්න මේ ජීවිතයේ අප කරන පින උපකාරී වෙනවා. බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. කෙනකුට දෑත් දෙපා තිබෙනවා. බෝධීන් වහන්සේගේ බෝ පත් හැම තැන ම වැටී තිබෙනවා. ඒවා දුටුවා ම හිතෙන්න ඕන මේ කොළ මම ඇහිදිනවා කියලා. එහෙම හිතෙන්නේ සසරේ කළ පිනකට. පිනක් කරන්නට පිනක් ඕනෑ නම් නිවන් අවබෝධ කර ගන්නට කෙ තරම් කුසල් සම්භාරයක් අභ්‍යන්තර ව තිබෙන්න ඕනෑ ද?

බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වන කාලයක ඉපදෙන්නට, රැස් කර ගත් මහා පිනක් තිබෙන්න ඕනෑ. එවිට සුළු දෙයකින් වුව පින ඉස්මතු වෙනවා. පුණ්‍ය බීජ, කුසල් බීජ ඉස්මතු වී භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසීම, ධර්මය ඇසීම ආදී කළ යුතු දේ කර ගන්නවා. හේතුව පෙර පින යි.

ඇතැම් අය දුටුවිට අප කියනවා පින් කරන්නට මෙ තරම් අවස්ථාවක් තිබියදීත් මේ අය පිනක් කර ගන්නේ නැහැනේ කියලා. බාහිර පරිසරය හැදී තිබුණාට අභ්‍යන්තරව පිනක් නැත්නම් ඒ දේ කරන්නට ඔහුට හිතක් උපදින්නේ නැහැ. තමාගේ පහන තම තමා දල්වා ගන්න ඕනෑ. තමාගේ සිත පැහැදිලා නම්, එක මලත් ඇති පිනක් රැස් කර ගන්න. දෑත එකතු කරලා සාධුකාර දී වන්දනාමාන කිරීම තුළින් රැස් වෙන්නේ පිනක්. නමුත් අපගේ සිතේ පැහැදීම නැතිකමත් තුනුරුවන් ගැන හරිහැටි නො දන්නාකමත් පින් කර ගන්නට අපව මැලි කරනවා.

භාග්‍යවතුන් වහන්සේ දානමය වශයෙන් පින් කර ගන්නා විදිහ මෙසේ වදාළා. සතකුට කෑම වේලක් දුන්නොත් ආනිශංස සියයයි. දුස්සීල මනුස්සයකුට කෑම වේලක් දුන්නොත් ආනිශංස දාහයි. සිල්වත් කෙනකුට දානය දුන්නොත් ආනිශංස ලක්ෂය යි. සෘෂිවරයකුට දානයක් දුන්නොත් ලක්ෂ කෝටිය යි. සෝතාපන්න මාර්ගයේ ගමන් කරන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයකුට දානය දුන්නොත් ආනිශංස ගණන් කරන්න බැහැ. සෝවාන්, සකෘදගාමී, අනාගාමි උතුමන් ගැන කවර කතා ද? එහෙම නම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයක් තිබෙන මෙවන් කාලයක අපට කෙ තරම් පිනක් රැස් කර ගන්නට අවස්ථාව තිබෙනවා ද?

එනිසා අපට මේ ජීවිතයේ එන දුක්, කරදර, පීඩා සමනය කිරීමට වහ වහා කර ගත යුත්තේ පිනයි. ජීවිතයට රැස් කර ගත යුත්තේ පිනයි.