දුක අවබෝධ කර ගෙන දුකින් නිදහස් වෙමු
“දුල්ලභංච මනුස්සත්තං” මිනිසත් බව දුර්ලභ ය. “සුඛො බුද්ධානං උප්පාදො” බුදුරජාණන්
වහන්සේගේ උපත සුවයකි. ඒ බුද්ධෝත්පාද කාලයේ දී යි අප මේ ජීවිතය පවත්වන්නේ. එවන්
කාලයකින් ප්‍රයෝජනයක් ගත යුතුයි යන අදහස නිතර දැකිය යුතුයි.
එසේ නොවන, මේ ධර්ම මනසිකාරය නොපවත්වන වැඩි පිරිසක් මොනතරම් කරුණාවෙන් පෙන්වා
දුන්නත් ලබා ගත් මනුෂ්‍ය ජීවිතය මොනතරම් වටිනවා ද යන්න අමතක කොට දුෂ්‍ය වූ සිතින්
හැසිරෙනවා.
සතර අපායෙන් එකක් වන තිරිසන් ලෝකය ගැනවත් අඩුම තරමේ දකින්න. මනුෂ්‍ය ලෝකයේ ජනගහණය
කෝටි පන්සියයකට ටිකක් වැඩි වුණත් එක් කූඹි ගුලක කූඹි ප්‍රමාණය මොනතරම් ද කියා
සිතන්න. මිනිසාගේ ආහාරය පිණිස එළුවන්, ගවයන්, කුකුළන්, බැටළුවන් වැනි ඝාතනයට ලක්වන
සතුන් මෙන් ම ස්වභාවික ව මිය යන සතුන් මොන තරම් ද? ඇසෙන පෙනෙන මෙ කරුණූ දහමත් සමඟ
ගළපා ගන්න. මම, බුදුරජාණන් වහන්සේ සරණ යනවා යැයි “බුද්ධං සරණං ගච්ඡාමි” යනුවෙන්
වචනයට පමණක් සීමා නොකරන්න. මේ දුර්ලභ ව ලැබූ මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන
ගන්න.
ගෙවා ගෙන ආ මේ සංසාර ගමනේ අපි ද ඉපිද දුක්විඳ ගෙල කැපී මොනතරම් මිය යන්න ඇති ද?
දුක් විඳින්න ඇති ද? බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ එවැනි සතුන් ව ඉපිද ගෙල
කැපෙන විට, ගලා ගිය රුධිරය සිවු මහා සාගරයේ ජල කඳටත් වඩා වැඩි බවයි.
මනුෂ්‍ය ජීවිතයක උපරිම වයස අවුරුදු සියය එකසිය විස්ස ආයුෂය ලෙස සැලකුවත් ඒ කෙසේ
නමුත් පටිසන්ධි ව්ඤ්ඤාණය සකස් වූ මවුකුසේ සිට වැඩෙන දස මසක කාලය ඇතුළු ව මේ ජීවිතයේ
ඕනෑම අවස්ථාවක ජීවිතය අවසන් විය හැකියි. එනම් ඕනෑම රාත්‍රියක් අවසන් රාත්‍රිය කර
ගෙනයි මේ ජීවිතය පවත්වන්නේ. ඒ වගේ ම ඕනෑම හිරු උදාවක්, ඕනෑම මධ්‍යහ්නයක්, ඕනෑ ම
සන්ධ්‍යාවක් ජීවිතයේ අවසන් හුස්ම පොදට අවස්ථාවක් කර ගෙන නොවේ ද මේ ජිවිතය
පවත්වන්නේ.
අප තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ මියයන මනුෂ්‍යයින්ගෙන් නැවතත්
මනුෂ්‍ය උප්පත්තියක් ලබන්නේ ඉතා ම අඩු පිරිසක් බවයි. වැඩිම පිරිසක් මනුෂ්‍යයන් නොවන
වෙනත් ස්ථානයන්හි, වෙනත් ආත්මයන් හි උප්පත්තිය ලබන බවයි. අප්‍රමාණ කාලයක් දුක් විඳ
සම්මතයේ අවුරුදු සියයක් ආයුෂ තිබෙනවා යැයි කියා සිතාගෙන සිටියත් වැඩි පිරිසක් වසර
සියයක් ආයු නොලබා ජීවිතය අවසන් කරන බව සිහිපත් කරන්න.
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටි සමයෙහි, දිනක් තමන් වහන්සේගේ
නිය මතට පස් ස්වල්පයක් ගෙන උන්වහන්සේ අබියස වැඩ සිටි භික්ෂූන් වහන්සේ නමකගෙන් මෙසේ
ප්‍රශ්න කළ සේක.
“මහණෙනි, මාගේ මේ නිය මත තිබෙන පස් ස්වල්පය ද වැඩි, මහ පොළොවේ තිබෙන පස් ද වැඩි
යනුවෙනි. ඒ අවස්ථාවේ දී භික්ෂූන් වහන්සේ පවසා සිටියේ මහ පොළොවේ පස් ප්‍රමාණය වැඩි
බවයි.
ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ “මහණෙනි” යම් කෙනෙක් මරණින් මතු
මනුෂ්‍යයෙක් ලෙස උත්පත්තියක් ලබන්නේ නම්, ඒ ඉතාම අල්ප වූ අවස්ථාවකි. ඒ වගේ ම යම්
කෙනෙක් මිනිස් ලොවෙන් වෙනත් තැනක උත්පත්තියක් ලබන්නේ නම් ඒ සත්වයෝ ප්‍රමාණය ඉතාම
වැඩි බවයි. මේ උපමාව ඉතාම සරලයි. ඔබත්, අපත් මේ ලැබූ උතුම් මනුෂ්‍ය ජීවිතය පිළිබඳ
කුමන ආකාරයකින් සිහිපත් කළ යුතු ද කියා නුවණින් විමසා බැලීම මොන තරම් වටිනවාද?
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ නිය මතට හසු වූ පස් ප්‍රමාණය තරම් සුළු
ප්‍රමාණයක් තමා මනුෂ්‍යයන් ව උත්පත්තිය ලබන්නේ. මනුෂ්‍යයන් නොවී අන් තැනක උත්පත්ති
ලබන සත්වයෝ මේ මහ පොළොව හා සමානයි. ඒ අතර ද බ්‍රහ්ම ලෝක විස්ස, දිව්‍ය ලෝක හය,
මනුෂ්‍ය ලෝකය හැරුණ විට වඩාත් ම සත්වයින් ප්‍රමාණයක් උපත ලබන්නේ සතර අපායන්හි ය.
කෙළවරක් දකින්නට නැති, ආරම්භයක් නොපෙනෙන මේ සංසාර ගමනේ සත්වයා අවිද්‍යාව නිසා ඇලීම
සහ ගැටීම ඇති කර ගන්නවා. එහි අකුසල කර්ම රැස්වෙනවා. තෘෂ්ණාවේ බැඳෙනවා. ඇවිද යනවා.
දුවගෙන යනවා. ඒ කියන්නේ මේ සංසාර චක්‍රය තුළ දුක් විඳිමින් ගමන් කරනවා යන අදහසයි.
ඉපදෙමින් මරණයට පත්වෙමින්, ගමන් කරනවා යන්නයි.
සත්වයා පැමිණි මේ සසර ගමනේ ඉතා තියුණුූ ලෙස දුක් වින්දා. ඒ වගේ ම මහත් ව්‍යසනයන්ට
ලක්වුණා. මේ මහ පොළොවේ සෑම බිම් අඟලක් ම සුසානයක් බවට පත්ව තියෙනවා.
සතර අපාය මුල් කර ගෙන විඳින්නට සිදුවෙන දුක පිළිබඳ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න.
සෑම කෙනෙක් ම දීර්ඝ කාලයක් මේ සංසාර ගමනේ දුක් වින්දා. මේ මනුෂ්‍ය ලෝකයේ උත්පත්තිය
ලබා අවිද්‍යාවට හසුව බොහෝ දුක් වින්දා. හේතුව ප්‍රත්‍යය කර ගෙන සකස් වන යම් දෙයක්
වේ ද ඒ හේතූන්ගේ විසිර යෑමෙන් මේ සියලු සංස්කාර ධර්මයෝ වහ වහා නැසී යනවා.
අවිද්‍යාව නිසා මනුෂ්‍ය ලෝකයේ ඉපිද තම මව වෙනුවෙන්, පියා වෙනුවෙන් වැගිරූ කඳුළු, තම
සහෝදරයා, සහෝදරිය, පුතා, දුව වෙනුවෙන් ඥාතීන් වෙනුවෙන් ඒ වගේ ම භෝග ව්‍යසනයේ දී ලෙඩ
දුක් ඉදිරියේ දී වැගුරූ කඳුළු සිවු මහා සාගරයේ ජල කඳටත් වඩා වැඩි බවයි. ධර්මයේ
සඳහන් වන්නේ.
එමෙන් ම පි‍්‍රයයන්ගෙන් වෙන්වන විට අපි‍්‍රයයන් හා එක් වන විට මේ දෙකම එක තැන සකස්
වෙනවා. මනාපයන්ගෙන් වෙන්වනවා යැයි අකැමැති දෙයක් සිද්ධ වෙනවා කියන අදහසයි. එනම්
අමනාප ව සිතිවිලිවලට මුහුණ දෙනවා. මනාපයන්ගෙන් වෙන්වන විට අමනාපයන් හා එක්වන විට
වැගුරූ කඳුළු සිවු මහ සාගරයේ ජල කඳට වඩා වැඩි බව දැක්වෙනවා. එසේ නම් ඒ මොන තරම්
දුකක් ද? යන්න පැහැදිලියි. මේ ආකාරයෙන් පැහැදිලි කළේ මනුෂ්‍ය ලෝකයේ ස්වභාවය යි.
නරකයේ කොටස් එකසිය තිස් හයයි. අවීචිය වැනි තැනක ඉපදුණොත් අඩුම තරමේ කල්පයක් තරම්
දුකක් විඳින්න සිදුවන බව නුවණින් දකින්නට ඕනෑ. ඔබ ද මා ද ඇතුළු ව මනුෂ්‍ය ලෝකයේ
ජිවත් වෙනවා යැයි පවසන කෝටි හත්සියයකට ස්වල්පයකට වැඩි සියලු මනුෂ්‍යයෝත්, සදෙව්
ලොව, බ්‍රහ්ම ලෝකයන්හි වාසය කරන දෙවියන් බඹුන් ඇතුළු මේ කාමාවචර බ්‍රහ්ම ලෝක වගේ ම
රූපාවචර, අරූපාවචර සියලු ම ලෝකවල සියලු ම සත්වයෝ අවීචියේ ඉපිද සංසාර ගමනේ මොන තරම්
නම් දුක් විඳින්නට ඇති ද?
දුර්ලභ ව ලබා ගත් මනුෂ්‍ය ජීවිතයේ පරමාර්ථ ධර්මය අවබෝධ කර ගන්න. ඒ සියලු සංස්කාර
ධර්මයෝ අනිච්ච, දුක්ඛ, අනන්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට දැක සම්මුතියට මම මගේ යැයි
පරිහරණය කළත්, පරමාර්ථ වශයෙන් කර්ම සකස් නොවන තැනකට සිත සිහිය පිහිටුවා ගන්නට ඕනෑ.
අපහසු වුණොත් කර්ම රැස්වීම දුර්වල වන, අඩු වන ආකාරයට සිහිය පිහිටුවා ගන්න උත්සාහ
කරන්න. එයත් අපහසු වුණොත් එහි දී කර්ම විඤ්ඤාණය වැඩෙනවා. කර්ම භවය, උත්පත්තිභවය
සකස් වෙනවා යැයි සඳහන් කළේ එයයි. මේ ස්වභාවයට පත් නොවී කර්ම ක්ෂය කොට දුකින්
නිදහස්වීමට මේ ලබා ගත් මනුෂ්‍ය ජීවිතය අපට ඉතා ම හොඳ අවස්ථාවක් වෙනවා.
- දීපා පෙරේරා |