Print this Article


පද්මාකාර ජීවිතයකට දුසිරිත් දුරැර සුසිරිත් වඩමු

පද්මාකාර ජීවිතයකට දුසිරිත් දුරැර සුසිරිත් වඩමු

නෙළුම හෙවත් පියුම යනු සුන්දර පුෂ්පයක්. බුදු දහමේ නොයෙක් තැන නෙළුම උපමා කොට දහම් දේශනා කර තිබෙනවා ඔබ දැක ඇති. නෙළුම් ගසක් වැවෙන්නේ මඩ සහිත අපිරිසුදු ජලය ඇසුරු කර ගෙනයි. ඒ වුණත් එහි හට ගන්නා නෙළුම පිරිසුදුයි. මඩෙහි ම පෝෂණය ලැබුවත් එහි නොගෑවී ඉන් උඩට මතු වී සුවඳවත් ව ප්‍රසන්න ව නෙළුම විකසිත වෙනවා.

නෙළුම් මලට ඔබත් හරිම කැමතියි නේද? අපගේ බුදුරජාණන් වහන්සේත් සුසිනිඳු, පිවිතුරු නෙළුමක් වැනි යැයි බුදු දහම පැහැදිලි කරනවා. උන්වහන්සේ රාගාදී කෙලෙස් කිලුටු නිසා දූෂිත වූ මිනිසුන් අතර වැඩ සිටියා. ඒ වුණත් කෙලෙස් මඩ වගුරෙහි ගිලුනේ නෑ. උන්වහන්සේ බැබළුනේ මඩ සහිත ජලයේ නොතැවරී ඉහළට මතු වූ නෙළුමක් වගේ.

මේ තුන් ලෝකයේ ම වෙසෙන සත්ත්වයන් ස්වභාවයෙන් ම රාගාදී කෙලෙස් සහිත සිත් ඇති අයයි. එහෙත් බුදුරජාණන් වහන්සේ කෙලෙස් මලින් තොර වූ පිරිසුදු සිත් ඇති උතුමකු වන සේක. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකය දුටුවේ පොකුණක් වගේ. විලෙහි හට ගන්නා නෙළුම් විවිධාකාරයි. සමහර නෙළුම් මඩෙහි ම හටගෙන මඩෙහි ම රැඳී සිටිනවා. සමහර නෙළුම් මඩ ජලය සමඟ වැතිරී සම ව සිටිනවා. සමහර නෙළුම් මඩෙන් ම යැපෙමින් උඩට මතු වී සිටිනවා. ඒවා විකසිත ව, ප්‍රබෝධවත් ව බබළනවා. ඒ වගේ තමයි දරුවනේ, විවිධාකාර සත්වයින් වාසය කරන මේ ලෝකයත් මඩ ජලය පිරුණු පොකුණක් වගේ. සමහර මිනිසුන් කෙලෙස් මඩ වගුරෙහි ම ඇලී ගැලී සිටිනවා. සමහර මිනිසුන් මඩ දිය හා සම ව සිටින නෙළුම වගේ කෙලෙස් හා සම ව සිටිනවා. එහෙත් මඩ වතුරෙන් ඉහළට මතු වී එහි නොගෑවී සිටින නෙළුම් මල් මෙන් බුද්ධාදී උතුමෝ කෙලෙස් මඩ වතුරෙන් ඉහළට නැඟී, එහි නො ගෑවී වැඩ සිටිනවා. එම ජීවිතය හඳුන්වන්නේ “පද්මාකාර ජීවිතය” කියලයි.

බෞද්ධයන් වන අපගේ පරමාදර්ශය වන්නේ බුදුරජාණන් වහන්සේත්, නික්ලේශී ශ්‍රාවකයන් වහන්සේත්, ඒ ආදර්ශයට අනුව අපගේ සිතුම් පැතුම් හා හැසිරීම් සකස් කර ගන්න ඕන. අපිත් උපත ලැබුවේ මිනිස් සමාජය නැමැති පොකුණේ තමයි. අපගේ උපත, පිළිසිඳ ගැන්ම, බිහි වීම අපිරිසුදු යි. අප හැදී වැඩෙන්නේ, අධ්‍යාපනය ලබන්නේ, දිනුම්, පැරදුම්, වාසි, අවාසි, නින්දා, ප්‍රශංසා විඳින්නේ, සතුටින් අසතුටින් වසන්නේ, මේ සමාජය තුළ ම යි. ඉතින් රාගාදී කෙලෙස් තුළ ම ඇලී ගැලී නො සිට බෞද්ධයන් වන අප සැම එයින් නිදහස් වන්න උත්සාහවත් විය යුතු යි. එම ලෝකයේ ම ඇලෙමින්, ගැටෙමින් සිටියොත් එය අඳුරෙන් අඳුරට යාමක් වෙනවා. වරදින් වරදට යාමක් වෙනවා. දුකින් දුකකට ම යාමක් වෙනවා.

බුද්ධාදී උතුමන්ගේ ආදර්ශයට අනුව සමාජයේ සිටින අප අපිරිසුදු ජලය ඉක්මවා ගිය නෙළුමක් වගේ සමාජය ඉක්මවා යා යුතු යි. අවිද්‍යා තෘෂ්ණාවට ම ඇලී ගැලී නො සිට සසර දුකෙහි නො ගැලී ඉහළට මතු විය යුතු යි.

වෛර කරන අය අතර වෛර නො කරන්න. රාගාදී කෙලෙස්වලින් රෝගී වූ මිනිසුන් අතර නීරෝගිවන්න. පස්කම් සැප ම හොයන මිනිසුන් අතර ඒවාට උනන්දු නො වන්න. එසේ සුව සේ ජීවත් වන්නට උත්සාහවත් විය යුතු යි.

පාසල් සිසුන් වන ඔබත් සමාජයේ කොටස්කරුවන් පිරිසක්. සමාජය තුළ නොයෙක් ආකාරයේ දුසිරිත් අපරාධ බහුලයි. ඒ වුණත් දුසිරිත් කරන මිනිසුන් අතර සුසිරිත් වඩමින් ජීවත් වන්නට ඔබ සමත් විය යුතුයි. එබඳු සමාජයක ජීවත් වන ඔබ විනය විරෝධී, නීති විරෝධී ක්‍රියාවන් අප වටා සිදු වන විට ඒවාට හසු නොවී සියල්ල ඉක්මවා ගිය පෞරුෂයක් ගොඩනඟා ගත යුතුයි. එවැනි වැරැදි ක්‍රියාවල යෙදෙන අපගේ මිතුරන් ඉන් මුදා ගැනීමට ක්‍රියා කළ යුතුයි. මඩ ගොහොරු සමාජ ක්‍රමයේ ම තවත් සාමාජිකයෙක් නොවන්නට කටයුතු කිරීම ඔබගේ වගකීමක්. එවිට ඔබත් පද්මාකාර ජීවිතයකට හිමිකම් කියන්නකු වනවා නො අනුමාන යි.

නරක වචන, නරක පුරුදු, නරක වැඩ සිදුවන්නේ නරක ආදර්ශ නිසා බව දැක්වෙන ජාතක කතාවකි මහිලාමුඛ ජාතකය.

ඉන්දියාවේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට සිටියා මඟුල් ඇතෙක්. ඉස්සර රජ්ජුරුවන්ට ගමන් බිමන් යන්න වෙනම ඇතෙක් සිටියා. මේ ඇතාට තමයි මඟුල් ඇතා කිව්වේ. මේ ඇතාට කවුරුත් කිව්වේ මහිලාමුඛ ඇතා කියලා.

මේ ඇතා හරිම කරුණාවන්තයි. මිත්‍රශීලීයි. බොහෝම ගුණගරුකයි. කිසිම කෙනකුට කරදරයක් කළේ නැහැ. ඒ නිසා කවුරුත් මේ ඇතාට ආදරය කළා. මේ ඇතාගේ ඇත් ගාල තිබුණේ පුංචි කැලයක් අද්දර. මේ ඇතාට කෑමෙන් බීමෙන් නම් අඩුවක් තිබුණේ නැහැ. රජතුමාගේ මඟුල් ඇතා කිව්වම කෑමෙන් බීමෙන් ඒ වගේ ම සැලකිල්ලෙන්, සොයා බැලීමෙන් අඩුවක් වෙන්නේ නැහැනේ.

ඔන්න ඉතින් දවසක් මේ කැලේට සොර රංචුවක් ආවා. එයාලා හිටියේ මේ ඇත්ගාල අද්දරම යි. සතියක විතර කාලයක් මේ සොර රංචුව මෙතැනට ආවා ගියා. ඉතින් මේ මහිලාමුඛ ඇතාට මේ සොර රංචුව කතා කරනවා හොඳට ඇහෙනවා. එයාලා කතා කළේ ම සොරකම් ගැන. ඒ විතරක් නොවෙයි, ගහන්න, මරන්න, වරෙන්, යමං වගේ නරක වචන මේ මහිලා ඇතාට ඇහුණා. කවදාවත් මේ කතා අහල නැති මේ ඇතා තමාට මේ විදිහට හැසිරෙන්න කියනවා කියලා හිතුවා. ඒ අනුව එයා වෙනස් වෙන්න ගත්තා.

පහුවදා වෙනකොට ඇත් ගාලේ හිටියේ නපුරු ඇතෙක්. එයා ගාවට සුපුරුදු විදිහට ඇත්ගොව්වා එනකොට පයින් ගහල මැරුවා. ඒ විතරක් නොවෙයි. කෝපයෙන් දඟලන්නත් ගත්තා. කෑ ගහන්නත් ගත්තා. කාටවත් කිට්ටු වෙන්න බැරි වුණා.

මේ ආරංචිය රජතුමාගේ කනට වැටුණා. මහිලා ඇතාගේ මේ වෙනස්වීම ගැන රජතුමාට පුදුමයි. කවදාවත් නැතිව ඇතා නපුරු වීම ගැන රජවාසලේ කවුරුත් කතා වුණා. ඒ රජතුමාගේ පුරෝහිත බමුණුතුමා වෙලා හිටියේ අපගේ මහ බෝසතාණන් වහන්සේ යි. එතුමා රජතුමාගේ නියමය අනුව ඇතාගේ වෙනස්වීමට හේතුව සොයන්න පටන් ගත්තා. මිනිසුන්ගෙන් අහලා සොයා බැලුවා. මේ අනුව ඇතාගේ වෙනස්වීමට හේතු වුණ කරුණ පුරෝහිතතුමා සොයා ගත්තා.

“රජතුමනි, මේ මහිලා ඇතාගේ ඇත්ගාල ගාවට සොර රංචුවක් පසුගිය සතිය පුරා ම ඇවිත් තියනවා. එයාලා කතා කරපු වචන අහල තමයි මේ ඇතා වෙනස් වෙලා තියෙන්නේ.”

“ඒ කියන්නේ ඇමතිතුමා නරක ආදර්ශ නිසා මේ ඇතා වෙනස් වුණා කියලද?”

“ඔව් එහෙම තමයි. අපි මහිලා ඇතාට ඇහෙන්න ම යහපත් වචන කතා කරමු. යහපත් දේවල් පෙන්නමු.”

පුරෝහිතතුමා කිව්වා. ඒ අනුව එදා පටන් මහිලාමුඛ ඇතා වෙනස් වෙන්න පටන් ගත්තා. එයාට හැම දවසෙම අහන්න ලැබුණේ හොඳ වචන. ඉඳ ගන්න, එන්න, යන්න ආදී වචන නිසා මේ ඇතා තුළින් ඉවසීම, කාරුණික බව මතු වෙන්න ගත්තා.

අපිරිසුදු සිත් ඇති මිනිසුන් අතර පිරිසුදු සිත් සතන් ඇති ව විසීමටත්, වැරැදි කරන්නවුන් අතර නිවැරැදි දේ කිරීමටත් ඔබත් උත්සාහවත් වන්නට සිතට ගන්න. එය බුද්ධාදී උතුමන්ගේ ආදර්ශය යි. පද්මාකාර ජීවිතය යි.