Print this Article


සාමණේර හිමිවරු රැක ගන්නට නිසි ක්‍රමවේදයක් අත්‍යවශ්‍යයි

සාමණේර හිමිවරු රැක ගන්නට නිසි ක්‍රමවේදයක් අත්‍යවශ්‍යයි

ළමා වයස ගැන අමුතුවෙන් කිවයුතු නැත. සෙල්ලක්කාර වයස, ගති පැවතුම් අතින් වෙනස් කොට සැකසෙනු ඇත. ඒ සඳහා පදනමක් ද ඇත. ජන්මෙට වඩා පුරුදු ගති පැවතුම් එකපාරට ම වෙනස් කිරීම අපහසු ය. ඒ සඳහා පුරුදු පුහුණු භාවයක් අවශ්‍යය. ඒ අනුව පළමුව ළමයා පන්සලට හෝ පිරිවෙනට ගෙන යෑමෙන් පසු අවුරුද්දක් හෝ ඊට ආසන්න කාලයක් ඇබිත්තියකු වශයෙන් පුහුණුවක් ලැබීම අවශ්‍යය.

බණ දහම්, වැඳුම් පිදුම්, වත් පිළිවෙත්, ඒ ළමයාට පුහුණුවීමට සිදු වේ. ගෙදරින් ආ ළමයා නොව චර්යාමය වශයෙන් ද, මනෝභාවයන්ගෙන් ද වෙනස් කෙනෙකු ලෙස සසුනට ඇතුළත් කිරීම, ඇතුළත් වීම සිදු වේ.

හිස බෑම, පාත්‍රා සිවුරු පරිහරණය, වටාපත, ගොටු අත්ත, බණ පොත ආදිය ලැබීමෙන් ඔහු හික්මීමෙන් යුක්ත, දඩබ්බර ළමයින් අතරින් මතුවුන ශික්ෂාකාමී සාමණේර නමක් (හෙරණ කෙනෙක්) වනු ඇත.

පැවිදි වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව වැටහෙන්නේ එය ක්‍රමානුකූල ව හා ප්‍රමිතියට සිදුවීමෙන් පමණි. නමුදු වර්තමානය එදාට වඩා හාත්පසින් ම වෙනස් ය. රෑ දකින ළමයා උදේ වෙන විට සිවුර දරා සිටී. නමුදු එහි අසාර්ථකත්වය කල් යෑමෙන් ඉස්මතු වනු ඇත. චීවරයක් දැරීමට පින් තිබිය යුතු ය.

චීවරයට ගැළපෙන පිරිපුන් රූප සම්පත්තියක් තිබිය යුතු ය. අද වන විට පිනකට නොව අසරණකමට පැවිදි වන්නෝ හා පැවිදි කරන්නෝ එමට ය. පොඩි වුව ද පොඩියි, සැහැල්ලුයි, යනුවෙන් නොසිතිය යුතු වන්නේ නියම විදියට පොඩිහාමුදුරුකම ලැබුණොත් පමණි. රජකුමරු, ගින්දර, සර්පයා, පොඩි හාමුදුරුවෝ යන හතර කොට්ඨාශය ම සැහැල්ලුවෙන්, සුළුවෙන් නොසිතිය යුතු ය.

වර්තමාන යුගය තුළ පින්බර පොඩි හාමුදුරුවරු දැකීම උගහට ය. බහුල වශයෙන් දැකිය හැක්කේ දඩබ්බර, අකීකරු, පොඩි හාමුදුරුවරු ය. වැඩිහිටියන්ට ගරු සරුකමක්, වැඩිහිටියන් උදෙසා වත් පිළිවෙත් සිදු කිරීමක් දැකීම අසීරු ය. ගුරුවරයා විසින් ගෝලයාගේ කටයුතු කර දීමට සිදු වී ඇති තත්ත්වයක් උදා වී ඇත. ඒ බව කොසොල් රජු දුටු සිහින 16 තුළින් ද ප්‍රකාශ වී ඇත. පැවිදි වීමෙන් පොඩි හාමුදුරුවෝ කෙරෙහි ගිහි පක්ෂයට කරුණු දෙකක් විදහා දැක්විය යුතු ය.

එනම්, අප්පසන්නානං පසාදාය” (නොපැහැදුනුවන්ගේ පැහැදීම ඇතිවීම පිණිස ය.)

පසන්නානං හී්‍යයෝභාවාය” පැහැදුණු අයගේ පැහැදීම තවත් වැඩි දියුණු වීම පිණිස ය.

නමුදු අද සිදුවන්නේ එහි අනිත් පැත්ත ය. එයට හේතුව සමහර ළමයි තුළ පවතින දුෂ්ඨ ගති පැවදි වූවා ම නැති වෙනවා වෙනුවට තව තවත් වැඩි වන බවක් දක්නට ලැබීම ය. බණ දහම් පොත වෙනුවට ජංගම දුරකථනය අද අතේ දක්නට ඇත. දැන හෝ නොදැන හෝ අනුනට, වසන ආයතනයට අලාභ සිදුවන බොහෝ දේ සිදු කරති.

බුදුරදුන්ගෙන් ආරම්භ වූ මෙම බුදු සසුන සෝභමාන කළේ, කරන්නේ පැවිදි පක්ෂයයි. බුදුරජාණන් වහන්සේගේ කල පටන් වර්තමානය දක්වා ම එය එසේ සිදු විය. ඒ අතර බුදු සසුන කිලිටි කරන අශෝභමාන, පැවිදි වීමට පිනක් නොමැති අය ද පැවිදි වීමෙන් සසුන් කෙත අවලක්ෂණ වනු ඇත. බුදුරදුන් කල ද එය සිදු විය.

එකල එක් පොඩි හාමුදුරුනමක් කොතරම් දුෂ්ඨ ද කියනවා නම් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ කුටියට ගිනි තැබීම පවා සිදු කළේ ය.

බුදුරජාණන් වහන්සේ දෙව්රම්වෙහෙර වැඩ වසන සමයක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රජගහ නුවර අසල වන ලැහැබක කුටියක වාසය කළේ ය. උන්වහන්සේ ළඟ සාමණේර දෙනමක් ද විසීය. එයින් එක් නමක් හොඳ ගති පැවතුම් තිබූ අතර, අනෙක් නම නරක ගති පැවතුම්වලින් යුක්ත ය. එම දෙනමගෙන් හොඳ පොඩි හාමුදුරුවෝ වත් පිළිවෙත් කිරීම්, කලට වේලාවට ගුරු හිමිට දැහැටි පැන් දීම්, නෑවීම්, මළුපෙත් නැමදීම්, ආදී සාමණේර හිමි නමකට අවශ්‍ය සියලු දේ මනාව සිදු කරති.

අනෙක් සාමණේර නම කුසීත ය. ගුණමකු ය. ගුරු ඇවතුම්, පැවතුම් සිදු නොකරන, වත් පිළිවෙත් නොකරන දුෂ්ඨ ගති පැවතුම්වලින් යුක්ත ය. අනිත් සාමණේර නම කරන ගුරු ඇවැත් පවා තමා කළ විදියට බොරු කීම ද සිදු කරන එම සාමණේර නම දිනක් බොරු සිද්ධියක් රඟදැක්වූවාට පසු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, දැන දැන බොරු කීමෙන් වාග් දුශ්චරිතය සිදුවන බවට පැහැදිලි කොට අවවාද කළහ. නමුදු එම පොඩි හාමුදුරුවන්ගේ දුෂ්ඨ ගති නැති වූයේ නැත.

නිතර නිතර මහා කාශ්‍යප හිමි අවවාද කිරීම නොරිස්සූ එම හාමුදුරුවෝ දිනක් මහා කාශ්‍යප හිමිගේ කුලුපග දායක නිවසකට ගොස් තෙරුන් වහන්සේ අසනීප කියා කැමති කැමති දේ ලබා ගෙන අනුභව කළේ ය. තව දිනක පන්සලේ කවුරුත් නැති වේලාවක සියලු බඩු මුට්ටු පොඩි කොට පන්සල ගිනිතබා පලා ගියේ ය.

මේ ආදී වශයෙන් ගති පැවතුම්වලින් යුක්ත සාමණේවරු අද ද බුද්ධ ශාසනයට ඇතුළත් වී ඇත. ඔවුන්ගේ චරිත ලක්ෂණ හරිහැටි නොදැන තෙරවරු ද ඔවුන් සංඛ්‍යා පූර්ණත්වය උදෙසා පැවිදි කරති. නමුදු කුඩා ළමයකු ඉක්මනින් ම පැවිදි නොකොට, ගිහි කාලය තුළ කාලයක් රඳවා, බණ දහම් උගන්වමින් ඔහු පිළිබඳ අවධානය යොමු කළ යුතු ය. ඔහු පැවිදි වීමට පින් ඇත්තෙක් නම් හොඳ චරිතයකින් යුක්ත ව පැවිදිවීමට අවශ්‍ය බණ දහම් ටිකත් හදාරා නිසි කාලය තුළ පැවිදි වී සසුන් කෙත බබළවමින් පැවිදි ජීවිතයේ ඔටුන්න බදු උපසම්පදාව ද ලබා විනයගරුක ධර්මධර තෙර නමක් වනවාට කිසිදු සැකයක් නැත.

සාමණේර නමක් වූ කල්හි සාමණේර දස ශීලය, සාමණේර ප්‍රශ්න, ද්වත්තිංසාකාරය, ප්‍රත්‍යවේක්ෂාව, හෙරණ සිඛ, දින චරියාව, සේඛියා ආදී මූලික දහම් කොටස් හැදෑරිය යුතු ය. පැවිදි වීමට පෙර පන්සලේ සිටින කාලය තුළ ඒවා කට පාඩම් කිරීමට, හැදෑරීමට හැකි නම් තවත් වැදගත් වේ. ලොකු හාමුදුරු කෙනෙක් වන්නේ පොඩි හාමුදුරුවෝ ම යි. විවිධ හැකියාවන්ගෙන් හා දක්ෂතාවන්ගෙන් සසුන්කෙත බැබළවීමට පොඩි හාමුදුරු කෙනකුට හැකියාව ඇත. නමුදු දුෂ්ඨ ගති ඇත්නම් මඩවලක සිටින්නා සේ පිරිහෙනු ඇත. කාය, වාග්, මනෝ යන ත්‍රිවිධත්වාරයෙන් ම අසංවර කෙනකු ලෙස කටයුතු කරන්නේ එවිට ය.

ගිහි බෞද්ධයින් සිව්පසයෙන් උපස්ථාන කරන්නේ පොඩි හාමුදුරුවෝ ප්‍රසන්න හා පැවිදි ඇවතුම් පැවතුම් අනුව ක්‍රියා කිරීමෙන් ය. පොඩි හාමුදුරුවන්ට ලොකුම ශක්තිය වන්නේ ගුරු හිමිගේ නිසි මඟ පෙන්වීමයි. ඒ සඳහා බුදුරදුන් දෙසූ ධර්මයත්, ජාතක කතාත්, බුදුරදුන් කල සිටි ශ්‍රාවක චරිතයන්හි ඇති ගුණාත්මක භාවයන් ඉස්මතු කොට දැක්වීමත්, එතුළින් ආකල්පමය වශයෙන් පරිවර්තනයක් සිදු කිරීමත් කළ යුතු ය. රාහුල හිමි වැනි ශ්‍රේෂ්ඨ ශ්‍රාවක චරිතයක් හරහා පොඩි හාමුදුරුවන්ගේ මනෝභාවයන් වෙනස් කළ හැකි ය. ඉදිරි අනාගත බුදු සසුන බැබළවීමට සිටින පොඩි හාමුදුරුවන්ට අවශ්‍ය උපදෙස් හා අධ්‍යාපනය ලබා දීමටත්, පොඩි හාමුදුරුවරු රැක ගැනීමත් සංඝ සමාජයේ අප කාගේත් වගකීමක් වන්නේ ය.