Print this Article


අරුත්බර වෙසක් පෝදාක අසිරිය විඳිමු

අරුත්බර වෙසක් පෝදාක අසිරිය විඳිමු

බක් මාසයේ සිංහල අලුත් අවුරුද්දට පසුව එළඹෙන්නේ වෙසක් මාසය යි. එම මාසයේ අපගේ බෞද්ධ ජනතාව ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන තෙමඟුල සමරයි. “වෙසක් උත්සවය” යන නම මඟින් ඉහත කී බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල හඳුන්වයි. ඉන්දියාවේ මහායාන බෞද්ධ සම්ප්‍රදායයක් තුළ එම දිනය වෙසක් යන්නට සමාන සංස්කෘත වචනයක් වූ වෛශාඛ යනුවෙන් හැඳින්වේ.

කෙනකුගේ බල කිරීමකින් තොරව සියලු දෙනා කැමැත්තෙන් කරනු ලබන වෙහෙර විහාර, පන්සල් භූමි ආලෝකවත් කිරීම, තීන්ත ආලේප කිරීම, බුද්ධ චරිතයේ විවිධ අවස්ථාවන් නිර්මාණය කර වර්ණ ගැන්වීම ආදී කටයුතු කෙරෙන වෙසක් සමය ඇත්තෙන් ම පී‍්‍රති ප්‍රමෝදයෙන් පිරුණු කාලයකි. එමඟින් සුහද බව හා සහයෝගිතාව වර්ධනය වේ.

වෙසක් පොහොය දින හිමිදිරියේ බෞද්ධ සැදැහැවතුන් වෙහෙර විහාරවලට ගොස් භාවනා ඇතුළු ආගමික වැඩසටහන්හි ද දාන, ශීල, භාවනා වැනි වැඩසටහන්වල ද නිරත වේ. සැදැහැවතුන් විහාරස්ථානයට එන විට රැගෙන එන මල්, හඳුන්කූරු, පොල්තෙල් පහන් යනාදිය ද ජීවිතයේ අරුත වටහා දෙයි. මෙසේ පූජා කරන ලස්සන මල් මඳ වේලාවකින් වියළී පරවී යයි. හඳුන්කූරු දැවී අවසාන වේ. මෙයින් ජීවිතය ද ජරාවට පත් වී අවසාන වන බව සංකේතවත් කරයි. “පුප්ඵංමිලායාතී යථා ඉධම්මේ - කායො තතායාති විනාසභාවං” මෙම මල් මෙන් කය ද විනාශ වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.

වෙසක් පෝ දිනය වෙනුවෙන් මත්පැන් අලෙවි සැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, මස් වෙළඳ සැල් යනාදිය රජයේ නියෝගය මත වසා තබයි.

කූඩුවල සිර කර ගෙන සිටින කුරුල්ලන් සහ වෙනත් සිරකරුවන් මුදා හරිනු ලබන්නේ බුදුරදුන් වදාළ නිදහසේ අරුත සංකේතවත් කිරීම පිණිස ය. මෙම අකුසල් රැස් කරන ක්‍රියා නැවැත්වීම වෙසක් දිනයට පමණක් සිමා නොකර හැම දිනකම නොකර සිටීමට වගබලා ගත යුතු ය.

එමෙන්ම වෙසක් කූඩු මඟින් ද ජීවිතයේ අනිත්‍යතාව පෙන්නුම් කරයි. නෙත් පිනවමින් පරිසරය ආලෝකවත් කරමින් ද, අලංකාර දසුන් මවමින් ද එය සිදු කරයි. වෙසක් තොරණ ද, දන්සල් ද වෙසඟේ ආකර්ෂණීය භාවය හා පි‍්‍රයමනාප බව ඉස්මතු කරයි.

බත්, කඩල, සව්, බෙලිමල්, අයිස් ක්‍රීම්, සිසිල් බීම, කොත්තු, රයිස්, මඤ්ඤොක්කා යනාදිය වෙසක් දන්සල්වල දැකිය හැකි ය. දන්සල් දීම යනු තමා සතු දෙයක් ලෝභයකින් තොරව සතුටු සිතින් ලබා දීමයි. එය සැදැහැයෙන් ශ්‍රද්ධා සිතින් දිය යුතු ය. එහෙත් වර්තමානයේ ඇතැම්, ජනයා අනෙකාට දෙවැනි වීමට නොහැකි නිසාත්, තමා හට ධනය ඇති බව පෙන්වීමටත් දන්සල් දෙයි. එයින් පිනක් අත්කර ගැනීමට වඩා තමාගේ බලය පෙන්වීමට සමහර දෙනා පෙළඹෙති.

එමෙන් ම වැඩිහිටියන්ට, ආබාධිත පුද්ගලයන්ට සහ රෝගීන්ට උපස්ථාන කිරීම, වැඩිහිටි නිවාසවල සිටින අයට ද කෑම බීම සපයා ඔවුන් සතුටු කර උපස්ථාන කිරීම, වෙසක් දිනයේ සුවිශේෂී පින්කම් අතර වේ. මෙම කාර්යයන්ට පුණ්‍යායතන මඟින්ද බෞද්ධයෝ මුදල් තෑගි පිරිනමති.

බුදුන් වහන්සේ වැඳ පුදා ගැනීමට විහාරස්ථානවලට පැමිණෙන සැදැහැවතුන්ට නිර්මාංශ ආහාර සැකසීමට ද සැදැහැවත් බෞද්ධයෝ එක්වෙති. ලොව පවතින සැම දෙයක් ම වෙනස් වීමේ දහමට අනුව වැනසෙන බව ද ධර්මය සදාකාලික බවත් බුදුරජාණන් වහන්සේ පහදා දුන් මඟ ඔවුහු අවබෝධ කර ගනිති.

බුදුන් වහන්සේ වදාළේ තමන්ට වැඳිය යුත්තේ හුදෙක් මලින්, සුවඳින්, පහනින් පමණක් නොවන බවත් තමන්ගේ ධර්මය අනුව ජීවත්වන්නේ නම් එය තමනට කරන වැඳීමක් වන බවත් ය. කෙනකු නැවත උතුම් ජීවිතයක් ගත කිරීමට අධිෂ්ඨාන කර ගැනීමත්, මනස සංවර්ධනය කර ගැනීමටත්, ආදරය, කරුණාව පතුරුවමින් මනුෂ්‍ය වර්ගයා කෙරෙහි සහජීවනය සහ මනුෂ්‍යත්වය දැක්වීමත් යනාදී කරුණු සිදු කිරීම වෙසක් සැමරුවා නම් වෙයි.


දැයේ දූ දරුවන්ගේ යහපත් ආකල්ප, ගුණධර්ම හා ලේඛන කුසලතා ඔප් නංවනු පිණිස බුදුසරණ පුවත්පත හා බුදුසරණ ඩිජිටල් අංශය සංවිධානය කළ සියපත් සුවඳ දීප ව්‍යාප්ත රචනා තරගයට දූ දරුවන් විශාල ප්‍රමාණයක් රචනා එවා තිබුණි. ඒ රචනා අතරින් පළමු, දෙවැනි හා තෙවැනි වශයෙන් ජයග්‍රාහි දරුවන්ගේ රචනා මෙසේ පළ කෙරේ. ඉදිරි බුදුසරණ අන්තර්ජාල කලාපවල සාර්ථක නිර්මාණ එවූ අනෙක් දරුවන්ගේ රචනා ද පළ කෙරේ.