Print this Article


කීකරුකම දරුවාට ආභරණයකි

කීකරුකම දරුවාට ආභරණයකි

“පාට සුවඳ එක වගේ
තිබෙන රෝස මල වගේ
කීකරු පොඩි ළමයගේ
කවුරුත් පවසති අගේ”

පාට හා සුවඳ එක සේ ඇති රෝසමල්වලට සියලු දෙනා එක සේ ආදරය කරන්නේ යම් සේ ද කීකරු දරුවාට සමාජය සැමදා ආදරය කරයි. අගය කරයි. කීකරුකම ළමයාගේ උතුම් ගුණාංගයකි.

කීකරු දරුවා තුළ යහපත් ගුණාංග රැසක් දැකිය හැකි ය. කරුණාව, දයාව, අන් අයට උදව් කිරීම, සංවරකම, මිත්‍රශීලීබව, පි‍්‍රය වචන කතා කිරීම, කරුණාවෙන් දයාවෙන් අන් අයට පිහිට වීම, වැරැදි නො කිරීම, අන් අය සමඟ සුහදශීලී ව කටයුතු කිරීම වැනි උසස් ගුණාංග කීකරු ළමයා තුළ ඇත.

කීකරු ළමයා ගුරුවරු, වැඩිහිටියන් ලබා දෙන උපදෙස් පිළිපදියි. කීකරු ළමයා සැමදා ආදරයට, ප්‍රශංසාවට පත්වන්නේ අන් අයට පිහිටවීම, කරුණාව වැනි ගුණාංග තිබීම නිසාවෙනි. මිනිසාට පමණක් නොව පරිසරයට, සතාසිවුපාවුන්ට, ගස්වැල්වලට ආදරය කිරීමට ද, ආරක්ෂා කර ගැනීමට ද කීකරු ළමයා කටයුතු කරයි.

කුඩා කල සිට ම යහපත් පුරදු ඇති කර ගත යුතු ය. කීකරු ළමයාගේ සිත පිරිසුදු නිසා සතුටින් සිටියි. නීරෝගි වේ. යහපත් වචන කතා කරයි. ඒ නිසා හැම දෙනාගේ ම ආදරය දිනා ගැනීමට හැකියාව ලැබේ. කීකරුකම නිසා රුව ලස්සන වන අතර, ඉගෙනීමේ කටයුතු කර ගැනීමට මතක ශක්තිය තබා ගැනීමේ හැකියාව ද ඇතිවේ. කීකරු ළමයා තුළ හොඳ හැසිරීම දැකිය හැකි ය. හොඳ ළමයා කීකරු නිසා සැමදා ජය අත් වේ.

කීකරු දරුවාට මුළු මහත් සමාජය ආදරය කරයි. ඔහු සමාජයේ කැපී පෙනෙන පුද්ගලයෙක් බවට පත්වේ. කීකරු දරුවා සමාජයේ “පුර පක්ෂයේ සඳ මෙන් දිනෙන් දින බබළයි.”

ආභරණයක් පළඳින පුද්ගලයාට ලස්සනක් එක් වන්නා සේ කීකරුකම ඇති දරුවා සැමට පි‍්‍රය වේ. කීකරු නොවන දරුවාට සියලු දෙනා ම අකැමැති ය. අකීකරු දරුවා ප්‍රතික්ෂේප කරයි. අකීකරු දරුවා අව පක්ෂයේ සඳ මෙන් දිනෙන් දින පිරිහෙයි. කුඩා කාලයේ සිට ම වැඩිහිටිවිය දක්වා ම කීකරුබව අවශ්‍ය වේ.

බුද්ධ කාලයේ ජාතක කතා තුළින් ද අකීකරු ව කටයුතු කිරීම නිසා කරදරයට පත්වන අවස්ථා සඳහන් වේ. සම්මෝදමාන ජාතකයේ එන වටු කුරුල්ලන් වටු කුරුලු රැලේ නායකයාගේ උපදෙස්වලට කීකරු නොවීම නිසා අවසානයේ අකීකරු වූ වටු කුරුල්ලන්ට විනාශය ළඟා විය. එබැවින් අකීකරු ව ක්‍රියා කරන ඕනෑම අයකුට අවසානයේ විනාශය ළඟා වෙයි. එබැවින් පුංචි අපිත් කුඩා කල සිට ම කීකරු ව කටයුතු කිරීමට පුරුදු විය යුතු ය.

ඉහත කී කරුණු සියල්ලක් දෙස අවධානය යොමු කිරීමෙන් කීකරුකම දරුවාට ආභරණයක් බව පෙන්වා දිය හැකි ය.


දැයේ දූ දරුවන්ගේ යහපත් ආකල්ප, ගුණධර්ම හා ලේඛන කුසලතා ඔප් නංවනු පිණිස බුදුසරණ පුවත්පත හා බුදුසරණ ඩිජිටල් අංශය සංවිධානය කළ සියපත් සුවඳ දීප ව්‍යාප්ත රචනා තරගයට දූ දරුවන් විශාල ප්‍රමාණයක් රචනා එවා තිබුණි. ඒ රචනා අතරින් පළමු, දෙවැනි හා තෙවැනි වශයෙන් ජයග්‍රාහි දරුවන්ගේ රචනා මෙසේ පළ කෙරේ. ඉදිරි බුදුසරණ අන්තර්ජාල කලාපවල සාර්ථක නිර්මාණ එවූ අනෙක් දරුවන්ගේ රචනා ද පළ කෙරේ.