Print this Article


ලද මොහොතේ ම පින් කර ගන්න පසුවට කල් නොතබන්න

හදිසියේ දුන් දානයක මහිමය:

ලද මොහොතේ ම පින් කර ගන්න පසුවට කල් නොතබන්න

අතීතයේ ශ්‍රී ලංකාව පිහිටි, මායා, රුහුණු කියලා කොටස් තුනකට වෙන් වෙලා. තිබුණා. රුහුණු රට කිව්වේ වර්තමාන දකුණ හා නැඟෙනහිර ප්‍රදේශවලට. ඉතා විශාල භූමි භාගයක් මේ රටට අයත් වුණා. වෙනම පාලනයකුත් මේ ප්‍රදේශයේ තිබුණා. වැඩි හරියක් ම මේ රට ප්‍රසිද්ධ වුණේ ගොයම් සඳහායි. එහෙමත් නැත්නම් වී වගාවට බොහෝ ම සරුසාර භූමියක් වුණා.

අදටත් ඒක එහෙම ම තමයි. මේ රටේ අතීතයේ ගමක් තිබුණා ‘කාකද්දවී‘ කියලා. ඒ ගමේ ‘මහාචූලී‘ කියලා ශ්‍රද්ධාවන්ත දානපතියෙක් හිටියා. ඔහු භික්ෂූන් වහන්සේට නිතර දන් දුන්නා. අසරණයන්ට උදව් කළා. ඒ නිසා ම ඔහුගේ කීර්තිය හැම තැන ම පැතිර ගියා. වෙනත් ගම් පළාත්වල මිනිසුන් මේ දානපතියා හැඳින්නුවේ ‘කාකද්දවී මහාචූලී දාන්පතියා’ කියලා, ඒ ගමේ නමත් එක්කමයි.

අද වගේ ම එදත් හිටියා කොතරම් පින් දහම් හා හොඳ දේ කළත් ඒ අයට විරුද්ධ වන, ඊර්ෂ්‍යා කරන අය. මේ ගමේත් හිටියා එහෙම කෙනෙක්. ඔහුට ඕනෑ කොහොම හරි මහාචූලී උපාසකට ලැබෙන කීර්ති ප්‍රශංසා අඩු කිරීමට. සමාජයේ ඔහුට විරුද්ධ මතයක් ඇති කිරීමට. ඇත්තම කියනවා නම් මේ මහාචූලී දානපතියා දන් දෙන්න ධනය හොයා ගන්නේ කුඹුරු වගා කරලා. එක කන්නක දී මොහු වී අස්වනු ගැල් දහසක් ලබනවා. එහෙම වුණාට ලෝභයෙන් ඒවා තියාගෙන ඉන්නේ නෑ.

ඊළඟ කන්නය එන කොට ඒවා අඹුදරුවන්ට කන්න බොන්න දීලා, භික්ෂූන් වහන්සේට හා අසරණයින්ට දන් දීලා ඉවර කරනවා. මෙහෙම ජීවත් වන මේ මහාචූලී මහ කන්නයේ කුඹුරු වගා කාලය පැමිණියාට පස්සේ කුඹුරු සී සෑවා. වී වපුරන දිනයත් උදා වුණා. මේ කාර්යය කරන්නේ බොහෝම උත්සවශ්‍රීයෙන්. ඒ නිසා දින වකවානු හැම දෙනා ම දන්නවා. මේ ගමේ හිටියා වෛරී, ඊෂ්‍යා සහගත පුද්ගලයෙක් ඔහු මෙහෙම දෙයක් කළා. දවසක් ‘කාකද්දවී‘ ගමට සමීප ගම්මානවලටත්, අවට ප්‍රදේශවලටත් ගිහින් එහි තිබුණු විහාරවල හා ආරණ්‍යවල වැඩ සිටිය භික්ෂූන් වහන්සේ පන්සිය නමකට ආරාධනා කළා.

‘ස්වාමිනි, ඔබ වහන්සේට හෙට උදේ අපගේ මහාචූලී උපාසක තුමාගේ ගෙදර දනට වඩින්න, එතුමා ආරාධනා කරන්න කිව්වා‘යි කියා භික්ෂූන් පන්සියයකට ආරාධනා කර මේ ඊර්ෂ්‍යාකාරයා ප්‍රදේශයෙන් සැඟ වී ගියා. පසු දින උදා වුණා. භික්ෂූන් වහන්සේත් ආරාධනාවට අනුව සිවුරු උභයාංශ කර ගෙන පාත්‍ර අතැති ව සංවර ගමනින් මහාචූලී උපාසකගේ නිවසට වැඩම කරන්න පටන් ගත්තා. මහාචූලී උපාසකත් තමන්ගේ පිරිස සමග බිත්තර වී කරත්තවල පුරවා ගෙන කුඹුර වපුරන්න යන්න පිටත් වෙන්න සූදානම් වෙමිනුයි උදේ හිටියේ. භික්ෂූන් වහන්සේ එක නම, දෙනම බැගින් නිවසට වැඩම කරන්න පටන් ගත්තා. වැඩම කළ භික්ෂූන් වහන්සේ වෙතින් මෙතරම් පිරිසක් වැඩම කිරීමට හේතු මොනවා දැයි විමසා දැන ගත්තා. සියල්ල වැටහුණු මහාචූලී බොහෝම ප්‍රීතියට පත් වුණා. ඔහු මෙහෙම කල්පනා කළා. ‘මා අපහසුතාවට පත් කරන්නත්, මට අපකීර්තිය, නින්දා ගෙන දීමටත් සිතා ගෙන යමෙක් මේ වැඩය කළා නම් ඔහුට මම පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් පින් දෙනවා. වෙහෙසක් නොමැතිව ම මහරහතන් වහන්සේ මගේ නිවසට වැඩමවා දුන්නා. නිවසේ වෙනත් දිය යුතු ධාන්‍යයක් ඇත්තේ නෑ. මේ බිත්තර වී ටික විතරයි මට තියෙන්නේ. මේ වී කුඹුරේ වැපුරුවාම අලින්ගෙන්, කුරුල්ලන්ගෙන් වගේම මොනරුන්ගෙන් ආදී සතුන්ගෙන් හානි පැමිණෙනවා. වැස්ස නැති වී නියඟ උදා වෙනවා. කොයි මොහොතේ අස්වැන්න විනාශ වී යයි ද කියන්න දන්නේ නෑ. අනික කොයි මොහොතේ අපගේ ජීවිතය නැති වෙයි ද කියන්න දන්නේ නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මහා සංඝයා නමැති පින් කෙතෙහි ම මේ වී ටික වපුරනවා‘යි තීරණය කර ගත්තා.

ඉක්මනින් ම ප්‍රධාන තෙරුන් වහන්සේ වෙතට ගිහින් පන්සියයක් වූ භික්ෂූන් වහන්සේට දහවල් දානය පූජා කරන බවත්, මදක් වැඩ සිටින ලෙසත් ආරාධනා කළා. දන් දීලා හොද පුරුද්දක් තියෙන නිසා හැකි ඉක්මනින් ම ගැල්වලින් බිත්තර වී නිවසට ගෙනවිත්, වංගෙඩියේ දාලා පිරිස ලවා කොටලා. එහි වූ සුන් සහලින් ඉක්මනින් ම කැඳ හදලා පන්සිය නමට ම පූජා කළා. ඒ අතරේ දහවල් දානය සකස් කළා. දහවල් දානය පන්සිය නමකට ම පූජා කළා. බොහෝම සතුටට පත් වුණා.

මහාචූලී උපාසකගේ දානයට පැහැදුණු දෙවියෝ ඔහුගේ කුඹුරුවල දේවානුභාවයෙන් බිත්තර වී වැපුරුවා. රහතන් වහන්සේ දානයෙන් පසු ආරාමවලට වැඩම කළා. නිවසේ දාන කටයුතු අවසන් කරපු මහාචූලීට හිතුණා කුඹුර පැත්තේ ගිහින් ආවා නම් හොඳයි කියලා. මහාචූලී තවත් දෙතුන් දෙනෙක් එක්ක කුඹුරට ගිහින් බලනකොට දැක්කා වී වපුරලා තියෙනවා. ඔහු මහත් ප්‍රීතියට පත් වෙලා හිතුවා ‘ක්ෂිණාශ්‍රවයන් වහන්සේට දන් දීලා මෙලොව දී මෙහෙම විපාක ලබනවා නම් පරලොව දී ලබන විපාක කියා නිම කරන්න බෑ.

ආර්ය මහා සංඝයා කියන්නේ පින් කෙතක් ම තමයි යැයි නැවත නැවත හිතමින් සතුටට පත් වුණා. ගොයම් පැල සේවකයන් ලවා වන සතුන්ගෙන් ආරක්ෂා කර ගත්තා. ක්‍රමයෙන් වැඩී පැහී අස්වැන්න බර වී ගියා. වී බැත කර ගෙන එන්න කාලය උදා වුණා. ඒ වගේම දින නියම කර ගත්තා ගොයම් කපලා වී කරලා කරත්තවලින් ගෙන එන්න. අර වෛරී පුද්ගලයා ගිය වතාවේ පන්සිය නමකට ආරාධනා කරලා මහාචූලී උපාසක ව අපහසුවට පත් කරන්න හිතුවා. ඒත් බැරි වුණා. මේ වතාවේ හිතුවා දහස් නමකට ඔහුගේ නිවසට ආරාධනා කරලා ඔහු ව අපහසුවට ලක් කරන්න.

මහාචූලී වෙනදා වගේ ම පිරිස හා ගැල් සූදානම් කර ගෙන ගොයම් කපන්න පිටත් වෙන්න හදනකොට ම දහසක් භික්ෂූන් වහන්සේ නිවසට වැඩම වන්න පටන් ගත්තා. උපාසකයා බොහෝම සතුටට පත් වෙලා. මෙයත් පෙර දිනක මා අපහසුවට ලක් කරන්න කටයුතු කළ පුද්ගලයාගේ ම වැඩක් බව දැනගෙන ඔහුට පළමුව පින් දීලා තිබුණු සහලුත්, ණයට අසල්වැසියන්ගෙන් ඉල්ලා ගත් සහල්වලිනුත් දානය සකසලා පෙරදා වගේම දානය පූජා කළා. බොහෝම සතුටට පත් වුණා. කිසිදු ආරාධනාවක් නො කර තමන්ගේ නිවසට දහස් නමක් වැඩම වීම සම්බන්ධයෙන්. සවස් වරුවේ යොදාගත් පරිදි පිරිසත් එක්ක ගැල් අරගෙන කුඹුරට යන්න පිටත් වුණා. ටික දුරක් යන කොට ගැල් දහසක් අරගෙන පිරිසක් එනවා දුටුවා.

ඒ අය මහාචූලී උපාසක සමීපයේ නතර වෙලා කුඹුරේ අස්වැන්න නෙළූ බවත්, එය රජතුමාගේ නියෝගයෙන් සිදු වූ බවත් පවසා රාජ නියෝගය අනුව නිවසට ම ගෙන ගොස් අටු සකසා පුරවා දෙන ලෙසත් පැවසුවා‘යි දේවතාවෝ මනුෂ්‍ය වේශයෙන් රාජ සේවකයන් සේ අස්වැන්න නිවසට අරගෙන ගිහින් අටු දහ අටකට ගැල් දහසේ වී පුරවා,

‘මෙයින් තොප සිත් සේ අනුභව කරව, අඹු දරුවන් පෝෂණය කරව, කැමැති සේ දන් දෙව.‘යි කියා දෙවියන් එතැනින් අන්තර්ධාන වුණා.

දෙවියන්ගේ ආනුභාවයෙන් ඒ අටු දහ අට ජීවිතාන්තය දක්වා ක්ෂය නො වී පැවැතියා. මහාචූලී උපාසක සිත් සේ දන් පිරි නැමුවා. ආයු කෙළවර මිය ගොස් සැපවත් දිව්‍ය ආත්ම භාවයක් ලැබුවා‘යි සීහළවත්ථුප්පකරණයේ කථා පුවතක් සඳහන් වෙනවා.

බලන්න පින්වතුනි, තමන්ට අපකීර්තියක්, අලාභයක්, නින්දාවක් පැමිණීමේ අදහසින් කළ කටයුත්ත නිසා, මෙලොවත් පරලොවත් සුව සේ, සැප සේ ජීවත් වීමට අවස්ථාව උදා වුණ ආකාරය දිහා. කොයි ම මොහොතකවත් තමන්ට පින් කිරීමට ලැබෙන අවස්ථාව මොනම හේතුවක් නිසාවත් අත්හැර ගන්න එපා. කෙසේ හෝ හිතේ සතුටින් ඒ දේ කර ගන්න. එය මෙලොව හා පරලොව සැප සම්පත් ලැබීමටත්, කීර්ති ප්‍රශංසා ලැබීමටත් හේතු වෙනවා.