සම්බුදු දහම
උපත නවතාලීමට මිස
මරණය නැති කිරීමට නොවේ
බුද්ධශාසන අමාත්‍යාංශයේ
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ
ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ ලේකම්
කේ.කේ. සුගතපාල
භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූයේ සම්මාදිට්ඨිය පෙරටු කොට ගත් ආර්ය අෂ්ටාංගික මාර්ගය
ලෝකෝත්තර වශයෙන් භාවිත කොට අප ශෛක්‍ෂ පුද්ගලයකු කරවීමටත්, (ශෛක්‍ෂ පුද්ගලයා යනු
සෝවාන් මාර්ග ඥානයේ සිට අරහත් මාර්ග ඥානය දක්වා වූ සත් පුද්ගලයන්ට නමෙකි) ඒ අටමඟෙහි
ලෝකෝත්තර සම්මා සමාධිය ඇත්තා හට සම්‍යක් ඤාණය හා සම්‍යක් විමුක්තිය යන දශ අංග උපදවා
රහත්භාවය ලබා දීමටත් ය. එකී රහත් භාවයට පත් උතුමෝ ලැබූ කය බිඳීයාමෙන් පසු නැවත
උපතක් නොලබති. (නන්‍ථිදානි පුනබ්භවොති)
මෙවන් ධර්මයක් ස්වයංභූ (තමාගේ ම) ඥානයෙන් අවබෝධ කොට ලෝකයා වෙත දේශනා කිරීමට එදා
හේතු වූයේ ඒ වන විට කය බිඳී යාමෙන් පසු නැවැත උපතක් සිදුවන ආකාරය පිළිබඳ පැවැති
බහුවිධ මත අතර ප්‍රමුඛස්ථානයෙහිලා තිබූ උච්ඡේදවාදය එනම් මරණින් පසු නැවත
උත්පත්තියක් නැතැයි යන මතය හා සස්සතවාදය එනම් ජීවිතය සදාකාලික ය යන ඉපිද මැරෙමින්,
ඉපිදමැරෙමින් සසර යනවා ය යන මතය යන මිථ්‍යාදෘෂ්ටිගත මතවාද ඛණ්ඩනය කිරීමට ය. එහෙත්
දෙආකාර වූ මෙම මත දරන ජනයා හා ඇදහීම් වත්මනෙහි ද අපට දක්නට ඇත.
මෙ පමණක් නොව, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන සමයෙහි දඹදිව දෙසැටක්
මිත්‍යාදෘෂ්ටි ගත අදහන්නවුන් සමඟින් ප්‍රධාන ගණයෙහි ලා සැලකූ ශාස්තෘවරු සය දෙනෙක් ද
වූවෝ ය. තථාගත ධර්මය හා ගැනීමෙහි දී ඔවුන්ගේ මතවාදයන් කෙතරම් බොළඳ වේ ද, ළාමක වේ ද
හා මිත්‍යාදෘෂ්ටික වේ ද යනු කෙටියෙන් විමසා දැන ගනිමු.
පූරණ කාශ්‍යප :– අන්‍යයනට හානිකර ක්‍රියා කිරීමෙන් පවක්වත්, එසේ නොකොට වැළකී
සිටීමෙන් පිනක් හෝ නොසිදුවේ එය අක්‍රියවාදී දෘෂ්ටිය යි.
මක්ඛලීගෝසාල :– එක්තරා කාලයක් සසර ඉපදෙමින් ගොස් ස්වභාවයෙන් ම විමුක්තියට පැමිණේ.
එය සංසාරශුධිවාද දෘෂ්ටියයි
පකුධකච්ඡායන :– සියලු සිදුවීම් විය යුතු සැටියෙන් ම සිදු වේ. වියයුත්ත වන්නේ ම ය.
කෙනෙක් අනෙකකු අවියකින් ඇන මැරූහු නම් එහි ධාතු මිටියක් ධාතු රැසක් මැදින් යෑම විනා
මරණයෙක් නොවී ය. ආත්මය මැරිය නොහැක්කෙකැ’යි මොහු කියයි. එනම් නියතවාදි දෘෂ්ටිය යි.
සංජය බෙල්ලට්ඨිපුත්ත :– මොහු කිසිදු පැනයකට කෙළින් උත්තර නොදී ඉවතට පනී. ලිස්සා යාම
නිසා ආඳා අල්ලා ගැනීම දුෂ්කර වන්නාක් මෙන් ඒ මේ අතට පැන පැන යන්නෙකි. මොහු
අමරාවික්‍ෂෙප වාදියෙකි. එනම් අඥානවාදී දෘෂ්ටියයි.
අජිත කේසම්බල :– මහභූත සතරෙන් හැදී ඇති මේ කය මරණයේ දී බිඳී ගිය පසු කිසිත් ඉතිරි
නොවේ යැයි ද, මෙයින් මතු පරලොවක් නැතැයි ද මොහු කීය. සත්ත්වයන්ගේ පිරිසුදු වීමට
හේතුවක් නැත යන අහේතුක දෘෂ්ටිය ද පව්කළත් පාපයක් නැත යන අක්‍රියවාදී දෘෂ්ටිය ද,
දීමෙහි විපාක නැත යන නාස්තිවාදී දෘෂ්ටිය හා අප්‍රත්‍යවාදී දෘෂ්ටිය ද මොහු තුළ
තිබුණේ ය.
නිගණ්ඨනාතපුත්ත :- ජීවින්ගේ මුලක් - අගක් නැතැයි කියන මොහු කර්මවාදී ක්‍රියාවාදී
තවුසෙකි.
මහණෙනි, මොවුන්ගේ මේ කරුණු තථාගත වූ මම දනිමි. එයින් මත්තෙහි වූ සියල්ල ද දනියි.
එයට වඩා උසස් ධර්මයන් ද දනිමි. මේ සියල්ල දැන ගත් මා ලෝභ, ද්වේෂ, මෝහ වශයෙන් ඒවා
නොගෙන කාමාදියෙන් තොරව කෙලෙසුන් ගෙන් මිදුණෝ ය.
(මෙහිලා වැඩි විස්තර දීඝනිකාය - බ්‍රහ්මජාල සූත්‍රයෙන් බලා ගත හැකියි)
මෙවන් අධර්මවාදි මිථ්‍යාදෘෂ්ටික කරුණු මෙතෙක් දුරට පවා සඳහන් කළේ වර්තමානයෙහි ද
බොහෝ ආගම් හා ජනයා විසින් මේවා විශ්වාසයෙන් පිළිගෙන කටයුතු කරන හෙයිනි. මේ සියලු
කාරණා එකට කැටිකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මිත්‍යාදෘෂ්ටික යනු කවරේදැයි ආකාර
දසයකට ගෙන ලොවට මෙසේ වදාළ සේක.
දුන් දැයෙහි විපාක නැත, පුදන ලද්දෙහි විපාක නැත, පූජා පැවැත්වීමෙහිලා විපාක නැත,
කුසල් අකුසල් හි විපාක නැත, මෙලොවක් නැත (පරලොවක් විශ්වාස නොකිරීම) පරලොවක් නැත.
(මෙලොව ජීවත් වීමේ දී පරලොවක් නැතැයි සිතීම, මව් නැත, පියා නැත, දෙවියන් නිරිසතුන්
වැනි ඕපපාතික සත්ත්වයෝ නැත, ලොව යම් කෙනෙක් මෙලොවත්, පරලොවත් විශිෂ්ට ඥානයෙන් තමා ම
ප්‍රත්‍යක්ෂ කොට දැන ප්‍රකාශ කෙරෙත් ද, එබඳු සම්‍යක්ගත සම්‍යක්ප්‍රතිපන්න ශ්‍රමණ
බ්‍රාහ්මණ කෙනෙක් නැතැ යි යමෙක් සිතයි ද, එසේ ප්‍රකාශ කරයි ද, ඒ අනුව ජීවත් වන්නේ ද
මේ මිත්‍යාදෘෂ්ටිය නම් වෙයි.
මෙකී මිත්‍යාදෘෂ්ටීන් “මිථ්‍යාදෘෂ්ටි” වශයෙන් යමෙක් දැන ගනී ද අවබෝධ කර ගන්නේ ද ඒ
දැනුම ඔහුගේ සම්මාදිට්ඨිය නම් වෙයි. (මජ්ක්‍ධිම නිකාය - 3 මහචත්තාරීසක සූත්‍රය)
පින්වත්නි, මෙසේ යමකු එවන් මිත්‍යාදෘෂ්ටීන් පිළිගනී ද, ඒ සත්ත්වයා කෙළවරක් නැති මේ
සසර ඉපදෙමින් මැරෙමින් සසර ගමන් කරන්නේ අනන්ත දුක් විඳිමින් ය. විපස්සනා
සම්මාදිට්ඨිය හා මාර්ග සම්මාදිට්ඨිය යන ද්විවිධ සම්මාදිට්ඨිය දැන එය පෙරටු කොට අරි
අටඟි මඟ වඩා මාර්ගඵල අවබෝධ කොට සසර ගමන නවතාලන තෙක් මේ සත්ත්වයා සසර නැවැත උපදි යනු
බුද්ධ වචනයයි.
ඉහත කී සියලු කරුණු සම්පිණ්ඩනය කොට ගත් විට බුදුරජාණන් වහන්සේ පහළ වූ කාලයෙහි තිබූ
මිසදිටු ශාස්තෘ සාසනයන් හි දේශිත ඇදහීම් සමඟ තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනාව
කුමක් සඳහා ද යනු අපි මැනවින් වටහා ගත යුතු වෙමු. සසර ගමන නොනවතින බව සත්‍යයකි. ඒ
සත්ත්වයා අවිද්‍යාව (මුළාවීම) නිසා සකස් කර ගන්නා විඤ්ඤාණය (සිත) පවත්නා තෙක් ය.
යමකු පළමු කී දෙ ආකර සම්මාදිට්ඨිය පූර්වංගම කොට මේ සිත හැදෙන ආකාරය දැන ගෙන එය සකස්
නොවන වැඩපිළිවෙළ දැක ගනී ද එදාට අපි සිත හා කය කෙරෙහි කළ කිරෙයි. දැනටත් අප බොහෝ
දෙනා තම තමන්ගේ උගත්කම් අනුව ධර්මය දැන සිටිති. එය යහපතෙකි. එහෙත් අපි මේ උතුම්
ධර්මය තවමත් දැක නැත. ධර්මය දකින වැඩ පිළිවෙළේ අපි සියල්ලෝ ම සිටිනුයේ ඉතා දුරස්ථ ව
ය. මෙය දැක ගත හැක්කේ අසංවර සිත සංවර කර ගැනීමට කාලය වැඩියෙන් වෙන් කර භාවනාවෙහි
යෙදීමෙනි. ප්‍රඥාව පහළ වන්නේ මෙසේ සංවර වූ සිතෙහි ය. මේ සඳහා කය, වචන සංවර කෙරෙන
ශීලය අව්‍යශ්‍යම ය. මේ පහළ වන ප්‍රඥාව මහ පෙළොව තරම් පුළුල් වි ලෞකික ලෝකෝත්තර
සියලු ධර්ම දැකිය හැකි බව ධම්මපද මග්ග වග්ගයේ 10 ගාථාවේ ‘යොගා වෙ ජායති භූරි......”
යනුවෙන් පෝඨිල ස්ථවිර කතා වස්තුවේ සඳහන් ව ඇත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ
අනුත්තර (උතුම්) ධර්මය අපට දැකිය හැක්කේ අප සතු මස් සහිත ඇසින් නොව සිතේ සංවරය
තුළින් ඇති කර ගන්නා ප්‍රඥා ඇසින් බව පසැස් ඇති තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ
සේක. මේ ප්‍රඥාව නමැති ඇස පහළ වන්නේ ම සම්‍යක්සමාධිය දක්වා සංවර කර ගත් සිතෙන් ම
පමණි. මේ සඳහා මඟ පෙන්වූ සූත්‍රයන් දක්වා ඇති අයුරු කෙටියෙන් මෙසේ ය.
මහණෙනි, මම එකවරට ම රහත් බැව් හි පිහිටීම නොකියමි. එතෙකුදු වුවත් අනුපූර්ව
ශික්‍ෂායෙන (පිළිවෙලින්, හික්මීමෙන්) අනූපූර්ව ක්‍රියායෙන් (පිළිවෙළින් කටයුතු
කිරීමෙන්) අනුපූර්ව ප්‍රතිපදායෙන් (පිළිවෙළින් පිළිවෙත් පිරීමෙන්) අරහත්වයෙහි
පිහිටීම වෙයි. මහණෙනි, කෙසේ පිළිවෙළින් හික්මීමෙන්, පිළිවෙළින් කටයුතු කිරීමෙන්,
පිළිවෙළින් පිළිවෙත් පිරීමෙන් රහත් බවට පැමිණීම වේ ද? මේ ශාසනයෙහි ශ්‍රද්ධාව ඇති
තැනැත්තා ගුරුන් කරා එළඹෙයි. ගුරුන් කරා එළඹෙනුයේ ගුරුන් ආශ්‍රය කෙරෙයි. (සමීපයෙහි
හිඳියි) ගුරුන් ඇසුරු කරනුයේ ඇසීමට කන් යොමු කරයි. මෙසේ නතු කළ කන් ඇත්තේ බණ අසයි.
ඇසූ බණ හොඳින් දරා ගනී. දැරූ ධර්මයන්ගේ අර්ථය නුවණින් විමසයි. අර්ථය විමසන්නා හට
වැටහෙන නුවණ උපදියි. වැටහෙන නුවණ ඇති කල්හි කත්තුකම්‍යතාකුසලඡන්දය (කුසල් කිරීමේ
බලවත් කැමැත්ත) උපදී. බලවත් කැමැත්ත ඇත්තේ උත්සාහ කරයි. එසේ උත්සාහ කොට අනිත්‍ය,
දුක්ඛ, අනාත්මය විමසා බලයි. විමසා බලා දැන මාර්ගය ලබා ගැනීමට උත්සාහ කරයි. මාර්ගය
ලැබීමට උත්සාහ කළේ නාමකයින් (සිතෙන්) නිවන (අර්හත්වය) අවබෝධ කරයි. (කථඤ්ච භික්ඛවේ
අනුපුබ්බ සික්ඛා........පඤ්ඤාය චනං පටිවිජ්ඣ පසසති) නමුත් මහණෙනි, යමකුට ඒ
ශ්‍රද්ධාව නොවීද ගුරුවරුන් වෙත එළඹීම ද නොවේ. ගුරුන් ඇසුර ද නොවේ......බණ ඇසීම ද
නොවේ. මේ හිස් පුරුෂයෝ කොතරම් දුර මේ ශාසනයෙන් ඉක්ම ගියේ වේ ද?
(මජ්ක්‍ධිම නිකාය - 2 කීටාගිරි සූත්‍රය 248 - 249 පිටු)
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ මඟෙහි පිළිවෙත් පුරා යමකු අර්හත්වය
ලබන්නේ ද, ඔවුහු සියලු දුකින් මෙලොව දී ම නිවුනේ වෙති. මතු දුක් ලබා දෙන උපත ද
නවතාලූයේ වෙයි. මේ අයුරින් ම බුද්ධත්වයට පත් වු ඒ ගෞතම ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ
ධර්මාවබෝධය ලැබීමේ දී සත්ත්වයකු සසර හට ගන්නා අයුරු ද දොළොස් ආකාර වූ
පටිච්චසමුප්පන්න දේශනාවෙන් පැහැදිලි කළ සේක.
අවිද්‍යාව (නොදැනීම) හේතු කොට සංස්කාරයෝ ද, සංස්කාර හේතු කොට විඤ්ඤාණය ද, විඤ්ඤාණය
හේතු කොට නාමරූප ද, නාමරූප නිසා ඇස, කන ආදී ආයතන සය ද, ආයතන සය නිසා ස්පර්ශය ද,
ස්පර්ශය නිසා වේදනාව ද, වේදනාව නිසා තණ්හාව ද තණ්හාව නිසා උපාදානය ද, උපාදානය නිසා
භව ද, භව නිසා ජාතිය ද, (උපත) ජාතිය නිසා ජරා මරණාදී සියලු දුක් ද හට ගන්නා බව දෙසූ
සේක. එහෙයින් අවිද්‍යාව නසා විද්‍යාව ලබා තමාගේ උපත නැති කර ගන්නා ලෙස බුදුරජාණන්
වහන්සේ වදාළ සේක. |