Print this Article


ධර්මය නිවැරැදි ව දකින්න

ධර්මය නිවැරැදි ව දකින්න

ශීලය තමයි බුදුදහමේ මූලික පදනම. ශීලය සමඟ ගොඩනැඟෙන නීති පද්ධතියක් ද අපට හඳුනා ගැනීමට පුළුවන්. එය අප හඳුන්වන්නේ විනය නමින්. විනය සහ ශීලය කියන්නේ අංශ දෙකක්. නූතනයේ මෙම අංශ දෙක පටලවා ගන්නා ස්වරූපයකට පත්ව තිබෙනවා. එනිසයි අපට මොකක්ද ධර්මය කියා හඳුනාගැනීමට නොහැකි ව තිබෙන්නේ

සමාජයේ යහපැවැත්මට ධර්මය අත්‍යවශ්‍යය. සමාජගත මිනිසාගේ සංවරය ඇති කරනුයේ ධර්මය විසිනි. කෙසේ නමුත් “ධර්ම” කියන වචනය බුදුදහමේ අර්ථ දක්වන ආකාරයට ම අන්‍ය ආගම්වල සහ දාර්ශනික මතවල අර්ථ දක්වන ආකාරයට සමාන වන්නේ නැහැ.

“ධර්ම” යන වචනය සෑදී ඇත්තේ “ධර්ම” ධාතුවෙනි. පාලි, සංස්කෘත, හින්දු ඇතුළු පෙරදිග භාෂාවල “ධාතුව“ මූලික කර ගෙන භාෂාව අර්ථගැන්වී තිබේ. ඊට උචිත ආකාරයෙන් ප්‍රත්‍ය යෙදීම මඟින් නාමපද, ක්‍රියාපද සෑදී තිබේ. ඒ අනුව බලන කල පාලි භාෂාව අනුව “ධම්ම” කියන වචනයේ මූලික අදහස දැකීමයි. සංස්කෘත භාෂාවෙන් එය අර්ථ ගැන්වෙන්නේ “ධර්ම” ලෙසයි.

සමාජය දරාගන්නා යම්කිසි ක්ෂේත්‍රයක් තිබෙනවා. එම ක්ෂේත්‍රය ධර්මය යි.

එය ශීලය යි. එය සමාජයේ සදාචාරය යි. එය සමාජයේ විනයයි. යම්කිසි ස්ථානයකදී මෙම දැරීම හෙවත් ධර්මය බිඳවැටුණොත් යහපත් සමාජයක් පවත්වා ගෙන යාමේ අවස්ථාව ගිලිහී යනවා. එවිට ඉස්මතු වන්නේ අධර්මයයි. අසාධාරණයයි. ඒ වගේම එවැනි සමාජයක දැකිය හැක්කේ සදාචාර නොවන සංකල්පයයි. සෑම තැනක ම ඇතිවීමක් සමඟ ගැටීමක් ඇතිවීම වැළැක්විය නොහැකිය.

එනිසා අප බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්මය තුළ ජීවත්විය යුතු බවයි. ධර්මයෙහි හැසිරෙන්න කියා උන්වහන්සේ දේශනා කළා.

“ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී”

ධර්මය ආරක්ෂා කරන්නා ධර්මය විසින් රැකෙන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ.

ධර්මය ආරක්ෂා කිරීම යනු යහපත් ගුණධර්මයන් ආරක්ෂා කිරීමයි. මෙම සංකල්පය නිර්වාණය දක්වා ගමන් කරන්නක්. නමුත් නිර්වාණය අවබෝධ කර ගැනීමට පෙර මෙපිට සමාජයේ දී එදිනෙදා ජීවිතයේ දී ඉෂ්ට සිද්ධ කර ගත යුතු හේතුන් සමෘද්ධිමත් කර ගැනීම භෞතික අවශ්‍යතාවයක්. ඉහළ මානසික ප්‍රගතියක් ලබා ගැනීමට පෙර මෙම භෞතික අවශ්‍යතාවන් සපුරා ගත යුතුයි. එම භෞතික අවශ්‍යතාවන් සපුරා ගැනීමේ දී ධර්මානුකූල ව එය ලබාගන්නේ කෙසේද කියා බුද්ධ ධර්මයෙන් මැනවින් පැහැදිලි කර තිබෙනවා.

අප සැමවිට ම යහපත් හැසිරීම්වලින් සිටිය යුතුයි. එයට අවශ්‍ය කරන ශීලයක් තිබෙනවා. ශීලය තමයි බුදුදහමේ මූලික පදනම. ශීලයක් සමඟ ගොඩනැඟෙන නීති පද්ධතියක් ද අපට හඳුනා ගැනීමට පුළුවන්. එය අප හඳුන්වන්නේ විනය නමින්. විනය සහ ශීලය කියන්නේ අංශ දෙකක්. නූතනයේ මෙම අංශ දෙක පටලවා ගන්නා ස්වරූපයකට පත්ව තිබෙනවා. එනිසයි අපට මොකක්ද ධර්මය කියා හඳුනාගැනීමට නොහැකි ව තිබෙන්නේ.

සමහරවිට ශීලය විනයට හේතු වෙනවා. විනය ශීලයට හේතු වෙනවා. විනය කියන දෙය සමාජයෙන් සමාජයට, පුද්ගලයාගෙන්, පුද්ගලයාට, ආයතනයෙන්, ආයතනයට රටින් රටට වෙනස් විය හැකියි. නමුත් බුදුදහම අනුව ශීලය කියන්නේ පොදු තත්ත්වයක්. ඉන් සඳහන් කරන්නේ නැහැ එය සැමවිට ම වෙනස් නොවෙනවා කියා. නමුත් ඕනෑම ලෝකයකට, රටකට, සමාජයකට, අවශ්‍ය කරන චර්යා පද්ධතිය තමයි ධර්මය කියන්නේ, නැතහොත් ශීලය කියන්නේ. එය පොදු තත්ත්වයක්. උදාහරණයක් ලෙස අපි අටසිල් සමාදන් වීමේ දී “විකාල භෝජනා වේරමණී සික්ඛා පදං සමාදියාමි” යනුවෙන් අප එක් සිල් පදයක් රැකීමට පොරොන්දු වෙනවා. එය සරල අර්ථය ගතහොත් කියන්නේ විකාලයේ ආහාර ගැනීමෙන් වළකින බවයි.

විහාරස්ථානයට ගොස් උදේ හයේ සිට සවස හය දක්වා සිල් සමාදන් වන අයෙක් මේ අටසිල් සමාදන් ව ජීවත් වෙනවා. එම පුද්ගලයා සවස හයෙන් පසුව සිල් පවාරණය වෙනවා. පන්සිල් සමාදන්වීමත් සමඟ අටසිල් පවාරණය වෙනවා. ඒ අනුව එම සිල් පවාරණය වූ පුද්ගලයා විකාලයේ ආහාර ගැනීමෙන් වළකින ශික්ෂා පදයෙන් ඉවත් වෙනවා. එතැන් පටන් ආහාර ගන්නවා.

ආහාර ගැනීම පවක් නම් සිල් පවාරණය වීමෙන් පසු ආහාර ගැනීම වරදක් විය යුතුයි. නමුත් එහෙම වෙන්නේ නැහැ. මෙතැන තමයි විනය තිබෙන්නේ. වෙනත් අයුරකින් කියනවා නම් අප ජීවන රටාව තහවුරු කර ගැනීම සඳහා ගොඩනඟාගත් නීති රාමුවක් තිබෙනවා. එය කායික පහසුව සඳහා සිදුවන්නක්. එය හුදෙක් ශීලය නොවෙයි. විනය සහ ශීලය පිළිබඳ බොහෝ දෙනා පටලවා ගැනීමත් තිබෙනවා.

ශීලවා හෝථ - න සීලචේ

සිල්වතෙක් වෙන්න. නමුත් සීලයෙන් හැදිච්ච කෙනෙක් වෙන්න එපා. යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එ නිසයි. ශීලයෙන් හැදිච්ච කෙනෙක් යනු වෘතයක් රකින්නෙක්. ගෝවෘත, සුනඛවෘත, අජරවෘත ආදී වශයෙන් විවිධ වෘත රැක්ක අය එදා සිටි බව සඳහන්. ගවයෙක් ආකාරයට හැසිරෙනවා නම් ඔහු ගෝවෘතය ආරක්ෂා කරන්නෙක්. සුනඛ වෘත කියන්නේ සුනඛයකු ආකාරයට හැසිරෙනවා කියන එකයි. සුනඛයාට ඇඳුම් පැළැඳුම් අවශ්‍ය නැහැ. ඉන්න ස්ථානයක් නැහැ. එම සතාගේ ජීවිතය හරි සරලයි. බැලූබැල්මට එම සතා අල්පේච්ඡයි. ගවයා ආහාරය පිණිස මස් ගන්නේ නැහැ. තණකොළ පමණයි. එම සතාට නිදාගැනීමට ස්ථානයක් නිවෙසක් නැහැ. ගවයාගේ ජීවිතයත් බැලූ බැල්මට අල්පේච්ඡයි. මෙවැනි සතුන්ගේ හැසිරීම් වෘත ලෙස පවත්වා ගෙන ගිය අය බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් සිටියා. සේතිය, පුක්කුසාදී වැන්නවුන් එවැනි වෘත පවත්වාගෙන ගිය බව මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා. ඒ අනුව ඇතැමෙක්, ගවයෙක් ආකාරයට, සුනඛයෙක් ආකාරයට ජීවිතය ගත කළා. එය සරල පැවැත්මක් කියලා ඔවුන් විශ්වාස කළා. ඉන් අපේක්ෂා කළේ නිර්වාණය ලබා ගන්න පුළුවන් කියලා. නැත්නම් ලෝකයෙන් නිෂ්ඨාවකට පත්වෙන්න පුළුවන් කියා විශ්වාස කළා. මේවා වෘත. අද අප සමාජයේත් ධර්ම කාරණා වෘත බවට පත්කරගෙන තිබෙනවා. එය බලවත් වැරැද්දක්. සමහරු ශීලයෙන් හැදිච්ච කෙනෙක් වෙන්න හදනවා. සුදු රෙදි හැඳගත් පමණින්, මල්වට්ටිය අතට ගත් පමණින්, බණ ඇසූ පමණින්, නිතර නිතර විහාරස්ථානයට ගිය පමණින් සිල්වතෙක් විය නොහැකියි.

නූතන සමාජය වෙනදාට වඩා සමාජයේ සෑම අංශයකින් ම පිරිහිලා තිබෙනවා. වෙනදාට වඩා අශීලාචාරයි. වෙනදාට වැඩිය හොරකම්, මැරකම්, වැඩිවෙලා. අනෙක් පැත්තෙන් පවුල් සංස්ථාව ඇතුළු මුළු සමාජය ම සෑම අතින් ම පිරිහිලා. මානසික ආතතිය වැඩිවෙලා. මේ හැම දෙයක් ම වෙලා තියෙන්නේ සිල්වතෙක් නොවී වෘතයක් ආරක්ෂා කරන්නකු මෙන් සීලයෙන් හැදිච්ච කෙනෙක් බවට පත්වීම නිසයි. සැබෑ ශීලය කියන්නේ ඉබේ කරන ක්‍රියාදාමයක් තුළින් සිල්වතෙක් වීමයි. කෙනෙක් බොරු කියන්නේ නැතිනම් මුල් අවධියේ දී ම පුහුණුවක් ලබනවා බොරු නොකියා සිටීමට. ඊට පසු ඔහු සිල්වතෙක් බවට පත්වෙනවා. අනතුරුව එය ඉබේම කෙරෙන ක්‍රියාවක් බවට පත්වෙනවා. ඒ වගේම සොරකම් නොකරම සිටිනවා. නමුත් මෙය සහමුලින් ම වන තත්ත්වයක් නොවෙයි. එක එක ස්ථරවල දී මෙය වෙනස් වෙනවා. අද ධර්මය පිළිබඳ ලොකු ප්‍රචාරයක් තිබුණට සමාජය බිඳවැටිලා තියෙන්නේ අපි ධර්මය පිළිබඳ කරුණු හරියට අවබෝධ කර නොගෙන ඇති නිසයි. යථාර්ථවාදී ව, ධර්මානුකූල ව ජීවිතය ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාව අද සමාජයීය අවශ්‍යතාවක් බවට පත්වී තිබෙන්නේ.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.