Print this Article


වීර්යය ඇති තැන කායික මානසික සුවය දුර නැත

වීර්යය ඇති තැන කායික මානසික සුවය දුර නැත

අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩවසන සමයයි. කුල පුත්‍රයෙක් පහන් සිතින් පැවිදි විය. නිසි වයස්හි අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබුවත් උන්වහන්සේ සසුනේ කලකිරිණි. ගිහිවීමට වඩා මිය යාම උතුම් යැයි සිතා උපායක් විමසමින් සිටියේ ය.

මේ අතර දිනක් මෙම භික්ෂූන් වහන්සේ ගිනිහල් ගෙයක සිටි නාගයෙක් අල්ලා කළයක දමා ගෙන බැහැරට ගෙන යන භික්ෂූන් වහන්සේ නමක් දැක මේ සර්පයා ගෙනගොස් ඉවත දමමි යැයි පවසා කළය ලබා ගත්හ. උකටලී භික්ෂුවගේ අභිප්‍රාය වූයේ නාගයා අල්ලා දෂ්ට කරවා ගෙන අපවත් වීමටයි. ඒ අදහස සපුරා ගැනීම වස් සර්පයා මිරිකමින් වෙහෙසුණ ද ඌ ගැඩවිලි පණුවකු සේ නිහඬ විය. සූ. සූ. හඬවක්වත් නොකළේ ය.

සිය ප්‍රයත්නය නිෂ්ඵල වූ නියාව දැන උන්වහන්සේ භික්ෂූන් වහන්සේ වෙත පැමිණ තමන්ට දී ඇත්තේ නාගයකු නොවන බවත් තමා කොපමණ උත්සාහ කළත් සියල්ල අසාර්ථක වූ බවත් පැවසීය. මේ අතර දිනක් කරණවෑමියෙක් දැළි පිහි දෙකක් ගෙන විහාරයට පැමිණියේ ය. පිහියක් බිම තබා අනෙකෙන් භික්ෂුන් වහන්සේගේ හිස කෙස් බාන්නට පටන් ගත්තේ ය. උකටලී භික්ෂුව ප්‍රමාදයක් බලා බිම තිබුණු පිහිය ගෙන උපසම්පදා ශීල පාරිශුද්ධිය ආවර්ජනා කරන්නේ බලවත් පී‍්‍රතියට පැමිණ විදර්ශනා වඩා අර්හත් ඵලයට පත්ව පිහිය හැරගෙන විහාරයට ආහ. අනෙකුත් භික්ෂූන් වහන්සේ ඒ හිමියන් ආගිය තොරතුරු විචාළහ. උන්වහන්සේ තමා උකටලී ව බොටුව සිඳගෙන මිය යාමට ගිය බවත්, පසුව අරහත් ඵලය නැමැති පිහියෙන් කෙලෙස් සිඳ රහත් බවට පත් වූ බවත් ප්‍රකාශ කළහ.

පසුව මේ වචන අසා විපිළිසර වූ භික්ෂූහු මෙතෙමේ බොරු කෙලෙස් සතුරන්ගේ බොටුව සිඳ දැමූ බවත් පැවසු සේක. රහත් බවක් කියා පාන්නේය යි බුදුරජාණන් වහන්සේට සැලකර සිටියහ. බුදුරජාණන් වහන්සේ උකටලී භික්ෂුවගේ රහත් බව ස්ථිර කොට ප්‍රකාශ කළ සේක.

සර්පයා දෂ්ට නොකරන්නට හේතු විමසූ කල්හි මහණෙනි මේ නාගයා මෙයට තුන්වෙනි ආත්ම භාවයෙහි මොහුගේ දාසයකු හෙයින් ස්වාමියාට දෂ්ට කරන්නට නොකැමැති වී යැයි වදාරා සසර පවත්වා ගෙන ආ ළෙන්ගතු බව ද දක්වා වදාළ සේක.

භික්ෂූන් වහන්සේගේ ඊළඟ ප්‍රශ්නය වූයේ දැළි පිහිය බොටුවට තබා කැපෙන්නට ගතවන සුළු මොහොතින් රහත්ඵලයට පැමිණීම පිළිබඳවයි. එයට කරුණු දැක්වු අප තථාගතයාණන් වහන්සේ වඩන ලද වීර්යය ඇත්තවුන්ට යන්නට ඔසවන ලද පය බිම තබන්නට පෙර අරහත් ඵලය ලැබේ යැයි පහදා දෙමින් වීර්යය නොකරන කුසීත කම්මැළියකු අවුරුදු සියයක් ජීවත් වීමට වඩා කායික චෛතසික වීර්යය වඩන අයකු ගේ දවසක් ජීවත්වීම උතුම් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. මේ බණ කතාව තුළින් ඔබේ ජීවිතය කුසලයට යොමු කර ගන්නට උත්සාහ කරන්න.