Print this Article


පහන් සිතක කවි

වස්සාන කාලයයි මේ

ලස්සන මලින් සැරසුන තුරු වදුළු යට
තිස් තුන් පැයේ සදහම් හඬ ඇසෙන විට
හිස් උන බණමඩුවේ උවැසියො පිරෙන කොට
වස් කාලය ඇවිත් බොදු මග අලුත් කොට

වැසි සළු අරන් ගම්මානයෙ ගෙයින් ගෙට
විසිරෙයි සාධු නාදය පැන් පිරිත් කොට
ඉසිකෝ මද මාන සිතිවිලි ඈත් කොට
පිවිසෙයි කඨින පෙරහර ගම් තුලානට

අට මහ කුසලයකි වසරට වරක් එන
වස් තුන් මාසයෙහි දන් වැට අලුත් උන
සැරසී සුදු වතින් තෙල් මල් අතින් ගෙන
යමු පන්සලට අපි බැති සිත් පුරෝ ගෙන

****

තුන් කල් දැක්ම

හිමි නැති
ඕනෑකම ඇති
පස් කඳක් ඇද
බදා ගන්නට
සසර ගණනක් තිස්සේ
මහා සටනක්
ජයෙන් සතුටත්
පැරැදුමෙන් දුකත්
උරුම බව දැන දැනත්
සටනෙ ජය වීය
අහිමි ව එක අතක්
බඩක බත් පුරවන්න
යුද පෙරමුණට ගොස්
මැව්වත් අනාගත සිහින
දෙ අත් මල් දමක මැදි වී
ගියා පස් කඳ පැදුරටත් නො කියා
නැති වූ අතේ අත්තම
තුන්කල් දැක්ම ගෙව්වා

****

හිරු සඳු අසිරිය

අරුනලු සමඟින් පිබිදෙනවා
සඳ නැඟ එන විට සැතපෙනවා
හිරු සඳු තරගෙට හිනැහෙනවා
ලෝ දම මෙලෙසින් කැරකෙනවා

බිළිඳකු විලසින් ඉපදෙනවා
නොදැනිම වයසත් ගතවෙනවා
අඹු දරු රකිමින් වෙහෙසෙනවා
නව මං සොයමින් යනවා

නොසිතූ දේවල් සිදුවෙනවා
සඳු හිරු යට අප ළතවෙනවා
හිරු සඳු නොනැසී බැබළෙනවා
ඉපදෙන සැම සත මියැදෙනවා

****

වදනක්

වචනය වැරැදි ලෙස අන් හට කියන විට
පිරිසක් තමන් ඇසුරෙන් යනවා එපිට
නැති වුණ පිරිස තම සහයට නොමැති විට
දුකමයි ඉතිරි වන්නේ තම දිවි මඟට

දෙවරක් සිතා වදනක් පැවසීම යුතු
කීම ද ඇසීම ද කේළම් නොකට යුතු
පළමු ව තමන් ගැන පමණක් සිතිය යුතු
පරහිතකාමී දිවි මඟ අනුකරණ යුතු

****

අමා දහම

සිලි සිලි නාදෙං
බෝ පත් සෙළවෙයි
මද සුළඟක් ඇවිදින්
අව්වේ ඇති රැස් මාලා
සමහන් කර දෙයි
බෝ පත් අතරට
කිට්ටු වී බලන විට ද
සිත සැනසී යයි
බෝ පත් මේ සෙළවෙන්නේ
අමා බණකි පවසන්නේ