Print this Article


මඟ නොමඟ නොහඳුනන ලොවක මං මුළා නොවීමට...

මඟ නොමඟ නොහඳුනන ලොවක මං මුළා නොවීමට...

තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අනුව දරුවාගේ පූර්ව ගුරුවරු වන්නේ, අම්මා සහ තාත්තා. මවුපියන් තමයි දරුවාට කුඩා වයසේ දී ම බොහෝ දේ පුරුදු පුහුණු කරන්නේ. කෑමට පෙර අත සෝදන්න, පිළිවෙළකට කෑම කන්න, වැඩිහිටියන් සමඟ එකට එක කියන්න එපා ආදී පුංචි පුංචි කරුණුවල සිට ජීවිතය හැඩගස්වා ගැනීම දක්වා කරුණුූ කියා දෙන්නේ ඔවුන් දෙදෙනා යි

බුදුරජාණන් වහන්සේගේ ධර්මය සරණ ගිය ශ්‍රාවකයන් ලෙස වැඩිහිටි අපගේ වගකීම වන්නේ දරුවන්ට ධර්මයෙන් අනුග්‍රහ කිරීම යි. සාමාන්‍යයෙන් ලාංකික සමාජයේ මවුපියන් දරුවන්ට හොඳ නරක කියා දීම අරුමයක් නොවේ. සිංහල සමාජය එය සලකන්නේ දරුවන්ට මවුපියන්ගෙන් ඉටුවිය යුතු යුතුකමක් ලෙසයි.

තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අනුව පුබ්බාචරියාති වුච්චරේ දරුවාගේ පූර්ව ගුරුවරු වන්නේ, අම්මා සහ තාත්තා. මව්පියන් තමයි දරුවාට කුඩා වයසේ දී ම බොහෝ දේ පුරුදු පුහුණු කරන්නේ. කෑමට පෙර අත සෝදන්න, පිළිවෙළකට කෑම කන්න, වැඩිහිටියන් සමඟ එකටඑක කියන්න එපා ආදී පුංචි පුංචි කරුණුවල සිට ජීවිතය හැඩගස්වා ගැනීම දක්වා කරුණුූ කියා දෙන්නේ ඔවුන් දෙදෙනා යි.

දරුවා සමාජගත වන ආකාරය අනුව කියන්න පුළුවන් මවුපියන් දරුවා සමඟ කෙ තරම් සුහද ව කටයුතු කර තිබෙනවා ද කියා. නිරන්තරයෙන් දරුවාට ආචාර සමාචාර කියා දිය යුතු වෙනවා. මේ දේ කළොත් හොඳයි. මේ දේ නරකයි කියා මුලින් ම කියා දෙන්නේ මවුපියන්.

ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාළා තම දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබාදීම අම්මා තාත්තාගේ යුතුකමක් බව. අද කාලයේ නම් වැඩිහිටියන්ගේ එකම සිහිනය දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමයි. ඒ, අද වන විට ලාංකීය සමාජයේ සියලු දේ රඳා පවතින්නේ අධ්‍යාපනය මත නිසා. එවිට මවුපියන් සිතනවා, අපි දුක් විඳින්නේ සුදුසු අධ්‍යාපනයක් නො ලැබූ නිසයි. ඒ නිසා දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඕන කියලා. එවිට සිදුවන්නේ දරුවාගේ එකම ප්‍රාර්ථනය අධ්‍යාපනය සාර්ථක කර ගැනීම බවට පත් වීමයි.

ඒ පැතුම ඉටු කර ගන්නට පෙරපාසල් වයසේ සිට ම දරුවා අමතර පන්තිවලට යවනවා. එවිට දරුවාගේ ළමා කාලය ගිලිහී යනවා. ඒ වගේ දරුවන් තමයි අම්මා, තාත්තා හඳුනන්නේ නැත්තේ. සහෝදරයා හඳුනන්නේ නැත්තේ. උදේ සිට රෑ වනතුරු ඉගෙනීමට පමණක් මහන්සි වෙනවා. වැඩිහිටියන් වශයෙන් ඔබ දරුවාට අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ. නමුත් දරුවාගේ ජීවිතයේ ගුණධර්ම හැදීම ගැන කල්පනාකාරී වෙන්නත් ඕන. උසස් අධ්‍යාපනය අවසන් කරන විට ඒ දරුවා අම්මා, තාත්තා මොන වගේ ද? තමන් වෙනුවෙන් මොනවද කළේ කියා හඳුනන්නේ නැති වුණොත් මවු පියන්ට එය දුකක්. පීඩාවක්. කෘත්‍රිම මනසක තිබෙන රොබෝ කෙනකුගේ මානසික මට්ටමක් පවතින දරුවෙක් පමණයි ඉතිරි වෙන්නේ. එහෙම දරුවකුට අම්මා, තාත්තා විඳි දුක් තේරෙන්නේ නැහැ. සහෝදර, සහෝදරියන් ඔහුට කෙ තරම් ආදරේද කියා වැටහීමක් නැහැ. එහෙම දරුවකුගේ සිත තුළ මෙත් සිත, කරුණා සිත, මුදිතා සිත ඇති වන්නේ නැහැ. ඔවුන් ඒවා හඳුනන්නේ ද නැහැ. ගසක් වැලක් හඳුනන්නේ නැති, පරිසරයට, සතා සීපාවාට කරුණාවක් නැති, තමන්ගේ ඇඳුම පවා පිරිසුදු කර ගන්නේ නැති, සාමාන්‍ය ජීවිතයේ හෝ ගුණධර්මයක් දන්නේ නැති දරුවෙක් බිහි වෙනවා. ඔවුන් කරන්නේ අධ්‍යාපනය ලැබීම පමණයි. වයසින් මුහුකුරා ගොස් තරුණයෙක්, තරුණියක් ලෙස සමාජයට ආවත් තමන්ගේ ජීවිතය තනියම ගෙන යන්නට ඔවුන් දක්ෂ නැහැ. ඒ දරුවා තමන්ගේ කටයුත්තක් පවා කර ගන්නට නොහැකි දරුවෙක්. එහෙම වූ විට දරුවන්ගේ සාමාන්‍ය ජීවිතයේ නොයෙක් ගැටලු මතුවෙනවා. සාමාන්‍ය ලෝකයේ අසාමාන්‍ය පුද්ගලයෙක් බිහි වෙනවා. එනිසා මවුපියන් දරුවාට උසස් අධ්‍යාපනයක් ලබා දෙනවා වගේ ම දරුවාට යහපත් ආකල්ප කියා දෙන්න ඕන.

අම්මා නිතර ම දරුවන්ට තාත්තා ගේ ගුණ කියා දෙන්න ඕනෑ. තාත්තා පවුල වෙනුවෙන් කෙ තරම් වෙහෙසනවා ද කියා දරුවන්ට පහදා දීම අම්මාගේ යුතුකමක්. තාත්තාට ගෞරවයෙන් කතා කරන්න ඔහු ඉදිරියේ ගෞරවයෙන් හැසිරෙන්න දරුවාට කියා දෙන්න ඕන. තාත්තාගේ කුඩා වරදකට අම්මා දරුවන් සමඟ තාත්තාට බැන වදිනවා නම් ඒ දරුවා පියා දෙස බලන්නේ නො මනාපයෙන්. අකුසල ඇතිවන පරිදි තාත්තා ගැන සිතන්න, කතා කරන්න දරුවා පෙළඹෙන්නේ අම්මාගේ වරදින්.

එලෙසම තාත්තාත් නිතර ම අම්මා ගැන දරුවන්ට කියා දෙන්න ඕනෑ. අම්මා කෙ තරම් පවුල වෙනුවෙන් වෙහෙසෙනවා ද? කියලා. අම්මාට ගෞරව කරන්න, අම්මා ගැන මෙත් සිතින් කටයුතු කරන්න දරුවා පෙළෙඹෙන්නේ එවිටයි. එවිට දරුවා සෑම කටයුත්තක් ම කරද්දී නිවසේ අනෙක් අය සමඟ හොඳ සුහදත්වයක් ඇති කර ගන්නවා. දරුවාට තේරෙනවා අපේ අම්මා තාත්තා අපි වෙනුවෙන් දුක් විඳින්නේ කියලා. එවිටයි දරුවන්ට මවුපියන් ගැන ආදරයක්, දයාවක් ඇතිවෙන්නේ. බෙදාහදාගෙන පවුලේ වැඩ කරන්න පෙළෙඹෙන්නේ. ඒ වගේ දරුවෝ තමයි අධ්‍යාපන කටයුතු පවා හොඳින් කර ගන්නේ.

අද සමාජයේ සිටින වැඩිහිටියන් ගේ කුඩා කාලය වගේ නොවේ, අද දරුවන්නේ වර්තමානය ගෙවී යන්නේ. දරුවාගේ නිදහස සීමා වෙලා. පරිසරය සමඟ ජීවත් වෙන්න තිබෙන කාලය අඩු වෙලා. බොහෝ දරුවන් රොබෝලා බවට පත්වෙලා. ස්වාධීන ව හිතන්න, ජීවත්වෙන්න, තමන්ගේ වැඩ කටයුතු කර ගන්න දරුවාට අවස්ථාව ලබාදිය යුතුයි. නැතිනම් බාහිර ලෝකය තුළ කිසිදු දෙයක් දරුවා දන්නේ නැහැ. ඒ දරුවා කෙදිනක හෝ සමාජය වෙත ගිය විට අතරමං වෙනවා. අසත්පුරුෂයන්ට හසු වෙනවා. මිත්‍යාදෘෂ්ඨික දේ සම්මා දිට්ඨිය ලෙස පිළිගන්නවා. වැරැදි තීරණ ගන්නවා. බොහෝ පව් රැස්කර ගන්නවා. මුළු ජීවිතය ම නාස්ති කර ගන්නවා.

වර්තමානයේ දී නම් මවුපියන් දරුවන් සමඟ බොහෝ සේ මිත්‍රශීලි වෙන්න ඕන. කන්න බොන්න දී පාසල් යැවීම පමණක් මේ කාලයේ ප්‍රමාණවත් නෑ. දරුවා ගැන අවධානයෙන් සිටින අතර ම තමා ජීවත්වන ගම ගැන, රට ගැන, ලෝකය ගැන කියා දෙන්න ඕන. සත්පුරුෂ යහලුවන් ගැන, පාපමිත්‍රයන් ගැන කියා දෙන්න ඕනෑ. පාප මිතුරාගේ හැසිරීම්, පෙළඹවීම් ගැන කියා දෙන්න ඕනෑ. එතකොට දරුවා යම් පුද්ගලයෙක් හමුවූ විට ඔහු ගැන සිතේ යම් චිත්‍රයක් මවා ගන්නවා. දරුවා යහපත් පුරවැසියෙක් ලෙස සමාජයට දායාද කිරීම මවුපියන්ගේ මූලික යුතුකම වගේම වගකීම ද වෙනවා.

දරුවාට හොඳින් අධ්‍යාපනය ලබා දෙනවා වගේම සමාජය ගැන යම් අධ්‍යාපනයක්, වගකීමක් ලබ දුන්නා වෙනවා. අම්මා, තාත්තා මම ගැන ගොඩාක් සොයා බලනවා කියන අදහස දරුවාට වැටහෙන්න ඕනෑ. එවිට දරුවා වරදක් කරන්න බය වෙනවා. පරිස්සම් වෙනවා.

අනවශ්‍ය නිදහසක් දරුවාට ලබා දුන්නොත් මවුපියන්ට දුක් විඳින්නට සිදු වෙනවාම යි.

අපේ රටේ බොහෝ මවුපියන් දරුවන්ට දිවි පුදලයි කටයුතු කරන්නේ. අනෙක් රටවල මවුපියන් සමඟ බැලූ විට එය පැහැදිලි වෙනවා. ලංකාවේ මවුපියන් දරුවන් මත්තේම යි. දරුවා ලොකු මහත් කරන්න දුක් විඳිනවා. දරුවාට අධ්‍යාපනය ලබා දීමටත් දුක් විඳිනවා. විවාහ කර දීලා දරුවාගේ දරුවනුත් බලන්න දුක් විඳිනවා. දරුවන් වෙනුවෙන් කැප වෙනවා. නමුත් වයසට යන මවු පියන්ට ඒ දරුවා ලොකු අගය කිරීමක් කරන්නේත් නැහැ.

ඒ වගේම මවුපියන් දරුවාට හැඟීමක් ඇති කරන්න ඕන තමන් දරුවන් නිසා කෙ තරම් දුක් විඳිනවා ද? කියලා. මහා ධනපතියෙක් වුවත් ඒ ව්‍යාපාරය කරන්නේ දුක් විඳලයි. එවිට තමන් වැඩිහිටි වූ පසු දරුවාට හැඟීමක් ඇතිවෙනවා. අද මම මෙහෙම සැප පහසුකම් විඳින්නේ මවුපියන් දුක් මහන්සි වෙලා උපයපු දේ නිසා නේද කියලා සිතන්න අවස්ථාවක් මවුපියන් විසින් ම සකසා දිය යුතු නේද? එවිට දරුවා කෙළෙහිගුණ සලකන්න පුරුදු වෙනවා. එනිසා දරුවාගේ යහපත කැමැති නම් කුඩා කාලයේ සිට ම ඔවුන් ධර්මයට යොමු කරන්න. යහපත කියා දෙන්න. දරුවා තරුණ වියේ දී යම් යම් මුරණ්ඩු වැඩ කරන්නට පටන් ගත්තාට පසුව මවුපියන් ඔහු ව ධර්මයට ළං කරන්න, සත්පුරුෂ ඇසුර ලබා දෙන්න කලබල වෙනවා. මේ වන විට දරුවාගේ මානසික මට්ටම වෙනතකට යොමු වෙලා. ඔහු කල්පනා කරන ආකාරය, සිතිවිලි, අපේක්ෂාවන් අනාගත සැලසුම් ගොඩනංවාගෙන ඉන්නේ. ඒ සැලසුම් සිතිවිලිවල ධර්මය ගෑවිලාවත් නැහැ. ඒ නිසා දරුවෙක් ධර්මයට යොමු කරන සුදුසු ම කාලය කුඩා අවදිය යි. බහ තෝරන කාලයේ සිට ස්වාමින් වහන්සේ නමක් දුටු විට වන්දනා කරන්න, මවුපියන්ට ගෞරව කරන්න, කියන දේ අහන්න, එකටෙක නො කියන්න, කුඩා සතෙක් වුව ද නො මරන්න, පවට බය ඇතිකර ගන්න, පිනට කැමැති වෙන්න, දන් පුදන්න, සිල් ගන්න සිතේ බලවත් කැමැත්තක් ඇතිකර ගන්න හුරු කරන්නට ඕනෑ. එනිසා වැඩිහිටි අප දරුවා සමාජගත වන ලෝකය දෙස හොඳ අවබෝධයක් ලබා ගෙන, ඔහු සමාජයේ ඕනෑම දෙයකට ඔරොත්තු දෙන ආකාරයට උස් මහත් කරන්න ඕනෑ. ඒ ඔහු පිය නගන ලෝකය ඉතාමත් විෂම, කුරිරු සමාජයක් නිසා.

ඔබ දරුවා කුඩා කාලයේ ම ධර්මයට යොමු කළොත් පමණයි ඔවුන් වැඩිහිටියන් වූ විට සිල්වත්, ගුණවත් වැඩිහිටියකු ලෙස නිර්මාණය වන්නේ. නැතිනම් අන් අයට ඊර්ෂ්‍යා කරන, තමාගේ සහෝදර සහෝදරියන් පවා දියුණු වෙනවාට අකැමැති, අම්මා තාත්තාට නො සලකන දරුවෙක් ඔබට මුණ ගැසේවි. එනිසා බුද්ධිමත් මවුපියන් ලෙස නුවණ මෙහෙයවා කටයුතු කරන්නට අප දක්ෂ වෙන්න ඕනෑ.