Print this Article


ඉසිපතනේ මිගදායේ දම්සක් පැවතුම් සුතුරට පළමුව ...

ඉසිපතනේ මිගදායේ දම්සක් පැවතුම් සුතුරට පළමුව ...

අප භාග්‍යවතුන් වහන්සේ පහළ වීමට පෙර ඉන්දියාවෙහි පසේබුදුවරුන්ගේ යුගයක් තිබුණේ ය. හිමාල ගන්ධමාදන පර්වතයෙහි විමුක්ති සුඛ විඳි උන්වහන්සේ පිණ්ඩපාතය පිණිසත්, දිවා විහරණය පිණිසත් බොහෝ විට වඩින්නේ බරණැස මිගදායට ය. නැතිනම් රජගහ නුවර ඉසිගිලි පර්වතයට ය

බරණැස් නගරය කාශී ජනපදයට අයත් ය. මුලින් ම එය පාලනය වූයේ මහකොසොල් රජු යටතේ ය. මහකොසොල් යනු පසේනදී කොසොල් රජුගේ පියරජු ය. ඔහුට පසේනදී කුමරු හා කෝසලා කුමරිය නමින් දරු දෙදෙනෙක් වූහ.

මහකොසොල් රජ කෝසලා දියණය මගධ රාජාධිපති බිම්බිසාරට අගමෙහෙසිය කොට දුන්නේ ය. දෑවැද්ද ලෙස කාශී ජනපදය ද ඇයට පිරිනැමුවේ ය. එතැන් පටන් කාශී ජනපදය පාලනය වූයේ මගධ රජු යටතේ ය.

මේ කාශී ජනපදයෙහි ගංගා මහානදියට ආසන්නයේ බරණැස පිහිටා ඇත්තේ ය. බරණැස් නගරයට නුදුරින් නිල් තෘණයෙන් ගැවසීගත් තැනිතලා වනබිමකි. මෙය වනමුවන්ගේ සුවපහසුව සඳහා වෙන්කොට ඇති හෙයින් ‘මිගදාය’ නමි. එනම්, මුවන්ගේ අභයභූමියකි. මිගදායට ‘ඉසිපතන’ යන නාමය ලැබුණේ පසෙු බුදුවරුන්ගේ යුගයේ දී ය.

අප භාග්‍යවතුන් වහන්සේ පහළ වීමට පෙර ඉන්දියාවෙහි පසේබුදුවරුන්ගේ යුගයක් තිබුණේ ය. හිමාල ගන්ධමාදන පර්වතයෙහි විමුක්ති සුඛ විඳි උන්වහන්සේ පිණ්ඩපාතය පිණිසත්, දිවා විහරණය පිණිසත් බොහෝ විට වඩින්නේ බරණැස මිගදායට ය. නැතිනම් රජගහ නුවර ඉසිගිලි පර්වතයට ය.

ඒ කාලයෙහි හිමාලවැසි බොහෝ පසේ බුදුන් වහන්සේ අහසින් අවුත් මිගදායට බසිති. එහි වාසය කොට නගරයට පි¾ඩු සිඟා වඩිති. යළි මිගදායට ගොස් එතැනින් අහසට නැඟී යති.

ඉති ඉසයෝ ඵත්ථි නිපතන්ති, උප්පතන්ති වාති තං ඨානං ඉසිපතනන්ති සංඛං ගතං මෙසේ පසේ බුදුවරු නමැති ඍෂීන් වහන්සේ මෙහි බසිත්, මෙයින් අහසට නගිත් නු යි ඒ තැන ‘ඉසිපතනය’ යන නම ඇති වූයේ ය.

රජගහ නුවර ඉසිගිලි පර්වතයට ද ඒ නම ඇති වූ අයුරු භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“මහණෙනි, මෙය බොහෝ පෙර සිදුවූවකි. පන්සියයක් පසේ බුදුවරු මේ ඉසිගිලි පර්වතයෙහි චිරාත් කල් විසුවෝ ය. මේ පර්වතයට ඔවුහු පිවිසෙනු දකින්නට ලැබෙති. එහෙත් පිවිසුණු කල්හි දකින්ට නො ලැබෙති. එය දැක මිනිස්සු මෙය කීහ.

‘අයං පබ්බතෝ ඉමේ ඉසී ගිලතී’ති ඉසිගිලි ඉසිගිලීත්වේව සමඤ්ඤා උදපාදි’ මේ පර්වතය මේ සෘෂිවරයන් වහන්සේ ගිල ගන්නේ ය. මෙසේ ඍෂිවරු ගිලගනිය යන අරුතින් මේ පර්වතයට ‘ඉසිගිලි, ඉසිගිලි‘ යන නම උපන්නේ ය.

උරුවේල ජනපදයෙහි බෝමැඬ සිට බරණැස දක්වා දහඅට යොදුනකි. එනම්, කි.මී. එකසිය අසූවක දුරකි. එහෙත් මෙකල නම් වටයකින් යන හෙයින් කි.මී. දෙසිය හතළිහකට වැඩි දුරක් ඇත්තේ ය. මේ දහ අට යොදුන් දුර භාග්‍යවතුන් වහන්සේ ඉතා නිස්කලංක ලෙස සාමාන්‍ය ගමනින් වැඩි සේක. මේ ගමනට සතියක් ගතවූයේ ය. මෙවැනි සාමාන්‍ය ගමනින් වැඩීම හඳුන්වන්නේ අතුරිත චාරිකා නමිනි.

තුරිත චාරිකා නමින් ද හඳුන්වන ගමනක් ඇත්තේ ය. වේගවත් චාරිකාව යනු එහි අරුත ය. එය විශේෂ ගමනකි. ඍද්ධියෙන් වඩින ගමනකි. ධර්මයෙහි හික්මවීමට පින් ඇති පුද්ගලයන්ට හදිසි උපකාරය අවශ්‍ය වෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සැණෙකින් වඩිති.

භාග්‍යවතුන් වහන්සේ ඇසළ පෝයට සතියකට කලින් උරුවෙල් ජනපදයෙන් පිටත් වූ සේක. ඇසළ පෝයට ඉසිපතන මිගදායට වඩින්නට පුළුවන් විය.

එකල උරුවෙල් දනව්වෙහි ශ්‍රමණ ගෞතමයන් අතිබිහිසුණු ලෙස දුෂ්කර ක්‍රියා කරන සමයෙහි පස්වග භික්ෂූහු ගෞතම ශ්‍රමණ තෙමේ අද අද සම්බෝධිය ලබති’යි උන්වහන්සේ දෙස බලා සිටියෝ ය. එහෙත් සිදුවූයේ අනෙකකි. හේ දුෂ්කර ක්‍රියාව අත්හළේ ය. සාමාන්‍ය පරිදි පිඬුසිඟා ගොස් දන් වළඳා තරමක පහසුවෙන් දිවි ගෙවන්නට පටන් ගත් බව දුටු ඔවුන්ගේ අපේක්ෂා සුන් වී ගියේ ය. තවදුරටත් මොහුගේ දියුණුවක් බලා සිටිය නොහැකි ය කියා භාග්‍යවතුන් වහන්සේටත් නොකියා ම ය බරණැස ඉසිපතනයට පැමිණියේ.

ඔවුහු ඈතින් පාගමනින් වඩිනා භාග්‍යවතුන් වහන්සේ දැක මෙසේ කතිකා කර ගත්හ.

“ඇවැත්නි, අන්න ශ්‍රමණ ගෞතම තෙමේ මෙහි පැමිණෙයි. ඕහ්.... දැන් හේ ප්‍රත්‍ය බහුලයෙකි. නට වූ ප්‍රධන් වීර්යය ඇත්තෙකි. බහුල ප්‍රත්‍යලාභයට පෙරළීගිය අයෙකි. අප විසින් ඔහු නොවැන්ද යුත්තේ ය. උවටැන් නොකට යුත්තේ ය. පාත්‍රා සිවුරු නොපිළිගත යුත්තේ ය. මහා රාජවංශයක උපන් හෙයින් අසුනක් තැබුව මනා ය. ඉදින් කැමති නම් හේ ඉඳගන්නේ ය.”

භාග්‍යවතුන් වහන්සේ ළඟ ළඟ වඩින කල්හි ඔවුන්ට කතිකා කර ගත් තීරණයෙහි ඉන්නට බැරිවිය. ඔවුහු වහා පෙර ගමන් ගියෝ ය. එක් නමක් පාසිවරු පිළිගත්තේ ය. තව නමක් ආසනය පිළියෙළ කළේ ය. තව නමක් පා දෝනා දිය බඳුනත්, පා තබනා පුවරුවත් සකසා තැබීය. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ පා දෙවූ සේක.

වත් පිළිවෙත් මෙසේ කළ නමුත් පස්වග භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ සම්බෝධිය පසක් කොට ඇති වග තේරුම් ගන්නට අසමත් වූවාහු ය. තමා හා සම වූවන්ට ආමන්ත්‍රණය කරන වදන් වන ‘ආවුසෝ - ඇවැත්නි, ආවුසෝ ගෝතමෝ - ඇවැත් ගෞතම’ වශයෙන් උන්වහන්සේ අමතන්නට පටන් ගත්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, ගෞතම යන නමින් ද, ආවුසෝ යන නමින් ද තථාගතයන් නො අමතව්. මහණෙනි, තථාගත තෙමේ රහත් ය. සම්මා සම්බුදු ය. මහණෙනි, මනා කොට සවන් යොමව්. ම විසින් අමා නිවන අවබෝධ කරන ලද්දේ ය. තොපට ද එය පසක් කරනු පිණිස මම අනුශාසනා කරමි. දහම් දෙසමි. අනුශාසනාව යම් පරිදි ද පිළිපැදීමත් එපරිදි වූයේ නම්, යම් යම් කුලපුත්‍රයෝ මනාව ගිහිගෙන් නික්ම බුදුසසුනෙහි පැවිදි වෙත් ද, ඔවුහු නොබෝ කලකින් තුමු ම විශිෂ්ට ඤාණයෙන් මේ දහම දැන පසක් කොට පැමිණ වසන්නාහු ය.”

භාග්‍යවතුන් වහන්සේ මෙසේ කී නමුත් පස්වග භික්ෂූන්ගේ සිත බණ අසන්නට නො නැමුණේ ය. ඔවුහු දිගින් දිගට තර්ක කරන්ට පටන් ගත්තෝ ය.

“ඇවැත් ගෞතම, ඒ කෙසේද? තොප විසින් කලින් කරන ලද ඒ වැඩපිළිවෙළින්, ඒ ප්‍රතිපදාවෙන්, ඒ දුෂ්කර ක්‍රියාවෙන් මිනිස් ස්වභාවයට වඩා උත්තරීතර වූ ආර්යඥාන විශේෂයක් ලබා ගන්ට නොහැකි වූහ. කිම... දැන් වනාහී ප්‍රත්‍ය බහුල ව සිට, නට වූ ප්‍රධන් වීර්යය ඇති ව, ප්‍රත්‍ය ලාභයට පෙරළී ගොස්, මිනිස් ස්වභාවය ඉක්මවා ගිය උත්තරීතර ආර්ය ඥානදර්ශන විශේෂයක් ලැබුවහු?”

“නැත මහණෙනි, තථාගත තෙමේ ප්‍රත්‍ය බහුලයෙක් නොවේ. නට වූ ප්‍රධන් වීර්යය ඇතියකුත් නොවේ. ප්‍රත්‍ය ලාභයට පෙරළී ගියේත් නොවේ. මහණෙනි, තථාගත තෙමේ රහත් ය. සම්බුදු ය. මහණෙනි, මනා කොට සවන් යොමව්. ම විසින් අමා නිවන අවබෝධ කරන ලද්දේ ය. තොපට ද එය පසක් කරනු පිණිස මම් අනුශාසනා කරමි. දහම් දෙසමි. අනුශාසනාව යම් පරිදි ද පිළිපැදීමත් එපරිදි වූයේ නම්, යම් මේ කුලපුත්‍රයෝ මනාව ගිහිගෙන් නික්ම බුදුසසුනෙහි පැවිදි වෙත් ද, ඔවුහු නොබෝ කලකින් තුමු ව විශිෂ්ට ඤාණයෙන් මේ දහම දැන පසක් කොට පැමිණ වසන්නාහු ය.”

පස්වග භික්ෂූන්ට කරුණු පහදා දීම ලෙහෙසි දෙයක් නොවීය. ඔවුන් භාග්‍යවතුන් වහන්සේගේ අදහස පිළිගන්නට කැමැති ම නොවීය. නැවත නැවතත් කීවේ දුෂ්කර ක්‍රියාවට ම ප්‍රශංසා ලැබෙන පරිදි ය. දුෂ්කර ක්‍රියාවෙන් බැහැර ව ආර්ය ඥානදර්ශන විශේෂයක් ලැබීම ඔවුන් කෙසේ නම් අදහාගන්නට ද? ඔවුන්ට එය වටහාගත නොහැකි දෙයකි. ඔවුහු තුන් වරක් ම භාග්‍යවතුන් වහන්සේගේ අදහස බැහැර කොට ප්‍රශ්න නැඟුවාහු ය.

අවසානයේ දී භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. “මහණෙනි, පවසව්. මෙයට පෙර කිසි කලෙකත් මවිසින් ‘මම් රහත්මි. සම්මා සම්බුදු ය. අමා නිවන අවබෝධ කරන ලද්දේ ය’ කියා මෙබඳු කතාවක් කියන ලද්දේ ද?”

එසැණින් ම පස්වග භික්ෂූන්ට සිහි උපන්නේ ය. ඔවුහු ආවුසෝ ගෝතම යනාදී වචන ව්‍යවහාරය අත්හැර

“නෝ හේතං භන්තේ - ස්වාමීනි, මෙබඳු දෙයක් නොවේ ය” කියා නිහතමානී ව එකඟ වූවාහු ය.

තමා තුළ කෙතරම් සුදුසුකම් තිබුණ ද නිහතමානීකම නැත්නම් ඒ සුදුසුකමින් වැඩක් ගත නොහැක්කේ ය. මේ ධර්මය තුළ උඩඟුකමට කිසි තැනක් නැත්තේ ය. නිහතමානීකම ම පැසසුම් ලබයි. නිහතමානී තැනැත්තා සිය නුවණ මෙහෙයවීමට දක්ෂ වෙයි. පස්වග භික්ෂූන් ද දහම් ඇසීමට සුදුසු භූමියට පැමිණියේ දැන් ය. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය සත්‍යයක් ය යන හැඟීම ඔවුන් තුළ ඇති වූයේ ය. ඔවුහු සවන් යොමු කර ගත්තාහු ය. අවබෝධ කර ගැනීමට සිත පිහිටුවා ගත්තාහු ය.

මහාධිරාජයකුගේ අණ ක්‍රියාවෙහි යෙදවිම, ඔහු විසින් අණපනත් පතුරුවා හැර, ජනයා අවනත ව පවත්වා ගැනීම හඳුන්වනුයේ ආඥා චක්‍රය නමිනි. ඔහුගේ විජිතයෙහි සියල්ලෝ ඒ අණසකට යටහත් පහත් ව විසිය යුත්තාහු ය.

භාග්‍යවතුන් වහන්සේ අනන්ත කල්පයන්හි පුරන ලද පාරමී බලයෙන් පෙනෙන - නො පෙනෙන සකලවිධ සතුරු සේනා මැඩ ධර්මයෙන් දිනූ සේක. උන්වහන්සේ ධර්මයෙහි රජු ය. ධර්මරාජ ය. උන්වහන්සේ විසින් දෙසනු ලබන, පවසනු ලබන, පනවනු ලබන, විවරණය කරනු ලබන, පිහිටුවනු ලබන වචනයට මහා බලයක්, ශක්තියක්, ආනුභාවයක් ඇත්තේ ය. එය වූ කලි මැනවින් ප්‍රකාශිත ධර්ම චක්‍රය හෙවත් චතුරාර්ය සත්‍යය යි.

භාග්‍යවතුන් වහන්සේ සිය පළමුවෙනි දෙසුමෙහි දී වදාළේ පැවිද්දහු විසින් කාමසුඛල්ලිකානුයෝගයත්, අත්තකිලමථානුයෝගයත් යන අන්ත දෙක අත්හළ යුතු බවයි. අනතුරුව වදාළේ දහම් ඇස ලබා දෙන, නුවණ ලබා දෙන, විශිෂ්ට ඤාණය ලබා දෙන, අවබෝධය ලබා දෙන, නිවන ලබා දෙන සියලු අර්ථ සිද්ධිය සලසනු ලබන මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය කියා ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇරඹෙන්නේ සම්‍යක් දැක්ම හෙවත් සම්මා දිට්ඨියෙනි.

“මහණෙනි, සම්මා දිට්ඨි - සම්‍යක් දැක්ම යනු කිම? මහණෙනි, දුක්ඛේ ඤාණං - දුක පිළිබඳ යම් අවබෝධයක් ඇද්ද? දුක්ඛසමුදයේ ඤාණං - දුක උපදවන හේතූන් පිළිබඳව යම් අවබෝධයක් ඇද්ද? දුක්ඛ නිරෝධේ ඤාණං- දුක නිරුද්ධ වීම පිළිබඳ ව යම් අවබෝධයක් ඇද්ද, දුක්ඛනිරෝධ ගාමිනි පටිපදාය ඤාණං - දුක නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාව පිළිබඳ යම් අවබෝධයක් ඇද්ද? මහණෙනි, සම්‍යක් දැක්ම යනු මෙය යි.”

භාග්‍යවතුන් වහන්සේ විසින් අවබෝධ කරගත් ධර්මය වශයෙන් පළමුකොට වදාළේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි පළමු අංගය වන සම්‍යක් දැක්ම හෙවත් චතුරාර්ය සත්‍යාවබෝධයෙහි සත්‍ය ඤාණය පිළිබඳ ය.

එකල්හි දුක පිළිබඳ වදාළේ මෙය ය. “මහණෙනි, දුක නැමැති ආර්ය සත්‍යය වූ කලී මෙය ය. ඉපදීම ද දුකකි. ජරාපත්වීම ද දුකකි. රෝදුක් වැළඳීම ද දුකකි. මරණය ද දුකකි. අපි‍්‍රය පුද්ගලයන් හා වස්තූන් සමඟ එක්වීම ද දුකකි. පි‍්‍රය පුද්ගලයන්ගේ හා වස්තුන්ගෙන් වෙන්වීම ද දුකකි. මෙබඳු වූ යමක් නොලබා සිටින්නට කැමති නමුත් එය එසේ සිදු නොවීම දුකකි. සංක්ෂේපයෙන් කීවොත් පංචුපාදානස්කන්ධය දුකකි.”

පළමු දෙසුමේ දී උන්වහන්සේ දුක්ඛාර්ය සත්‍යය පිළිබඳ වදාළේ මෙපමණකි. නුවණැත්තෝ ස්වල්ප වූ පදයන්ගෙනුත් පුළුල් අරුත් පසක් කරන්නට සමත් වෙති. අනතුරුව උන්වහන්සේ වදාළේ මේ කියන ලද යම්තාක් දුක් ඇද්ද, ඒ සියලු දුක් හටගන්නට හේතු වූ කාරණා ය.

“මහණෙනි, දුක උපදවන හේතුව නමැති ආර්ය සත්‍යය වූ කලි මෙය ය. එනම්, නැවත භවය සකසා දෙන, ආශ්වාදයෙන් ඇලෙන ස්වභාවයෙන් යුතු, ඒ ඒ තන්හි ලත් ආත්මභාවයන් සතුටින් පිළිගන්නා යම් මේ තණ්හාවක් ඇද්ද? එය ය. ඒ කවර තණ්හාවක් ද යත්. කාමයන් පිළිබඳ තණ්හාව ය. භවය පිළිබඳ තණ්හාව ය. විභවය පිළිබඳ තණ්හාව ය.

භාග්‍යවතුන් වහන්සේ දුක් උපදවන හේතුව නිවැරැදි ව සොයා ගැනීම පුදුමසහගත නුවණකින් කළ දෙයකි. ලෝකයෙහි මිනිසුන්ට පමණක් නොව දෙවියන්ට ද මෙය වැරදුන තැනකි. දෙවියෝ පවා මෙකරුණෙහි මුළා වූවෝ ය. දෙවියන් පවා තමාට වඩා ආනුභාව ඇති විශේෂ දෙවියකු විසින් තමා ව මවන ලද්දේ යැයි සිතා සිටින වග භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද්දේ ය. අද පවා බොහෝ මිනිසුන් සිතා සිටින්නේ නිර්මාපක මහා දෙවියා නමැති කිසියම් බලගතු සත්ත්වයකු විසින් ඔහුගේ කැමැත්ත පරිදි, ඔහුගේ ආනුභාවයට යටත් කොට මිනිසා ඇතුළු සතා සීපාවා, ගහකොළ, ගංගා ඇළ දොළ ආදිය මවා ඇති බව ය. සත්ත්වයාගේ උපත සෙවීමේ දී ලොව සියල්ලන්ට ම වැරදුණේ ය. ඔවුන්ට එය කෙසේ වූයේ දැයි සිහිනෙකින්වත් නිවැරැදි ව හඳුනාගත නොහැකි වූ දෙය, භාග්‍යවතුන් වහන්සේ විසඳාගනු ලැබුවේ සිය ප්‍රඥා මහිමයේ ආනුභාවයෙනි.

දෙවියන් සහිත ලෝකයා ඉදිරියෙහි දැන් සත්‍යය හෙළිදරව් වෙයි. සත්ත්වයා දුක් විඳියි. ඒ දුක කුමක් නිසා හටගත්තේ දැයි හේ බුද්ධ වචනය තුළින් දැන් දනියි. ඒ දුක දේව මැවිල්ලක් නොවේ. ඉබේ හටගත් දෙයක් ද නොවේ. සිය අභිමතය පරිදි උපදවාගත් දෙයක් ද නොවේ. ඒ දුක හටගන්නට හේතු වූයේ තණ්හාව ය. යම් බරපතළ අර්බුදයක මූල හේතුව සොයා එය ඉවත් කළ විට අර්බුදයෙන් නිදහස් වීම ඒකාන්තයෙන් සිදුවන දෙයකි. භාග්‍යවතුන් වහන්සේ තුන්වැනි ආර්ය සත්‍යය ද වදාළ සේක.

“මහණෙනි, දුක් නිරුද්ධ වීම නමැති ආර්ය සත්‍යය වූ කලි මෙය ය. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන ඒ ත්‍රිවිධ තණ්හාව ම නිරවශේෂ වශයෙන් නොඇලී නිරුද්ධ වීමක් වේ ද, අත්හැරීමක් වේ ද, දුරු කිරීමක් වේ ද, එයින් නිදහස් වීමක් වේ ද, ආලය නැතිවීමක් වේ ද, එය ය.

භාග්‍යවතුන් වහන්සේගේ පළමු දෙසුමෙන් ම ලෝ සතට දුකින් නිදහස් වීම පිණිස විසඳුම ලැබුණේ ය. එනම්, දුක කිමැයි පැහැදිලි වීම ය. දුක උපදවන හේතුව යනු කිමැයි පැහැදිලි වීම ය. දුක නිරුද්ධ වීම යනු කිමැයි පැහැදිලි වීම ය. දැන් ය වැදගත් ම ප්‍රශ්නය මතුවන්නේ. එනම්, ඒ ත්‍රිවිධ තෘෂ්ණාව දුරු කරගන්නේ කෙසේද? ඒ සඳහා කුමක් කළ යුත්තේ ද? යන්න ය.

“මහණෙනි, දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව වූ කලි මෙය ය. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය. ඒ කවර අෂ්ටාංගික මාර්ගයක් ද යත්,

සම්‍යක් දැක් ම ය. සම්‍යක් සංකල්පනා ය, සම්‍යක් වචනය, සම්‍යක් කටයුතු ය, සම්‍යක් දිවිපැවැත්ම ය, සම්‍යක් වීර්යය ය, සම්‍යක් සිහිය ය, සම්‍යක් සමාධිය ය.”

මෙතැනින් එහාට වෙනත් විසඳුමක් තුන්ලොවෙහි ම නැත්තේ ය. විසඳුම යනු ආර්ය අෂ්ටාංගික මාර්ගය ක්‍රියාවට නැංවීම ම ය. මෙතෙක් කල් දෙවියන්ට මිනිසුන්ට විසඳාගත නොහැකි වූ සසර දුකින් නිදහස් වීම පිළිබඳ මහා ප්‍රහේලිකාව සර්ව සම්පූර්ණයෙන් විසඳී ගියේ ය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු අංගය වන සම්‍යක් දැක්ම පහදා දීම මේ පළමු දෙසුමෙන් සිදුවිය.

අනතුරුව භාග්‍යවතුන් වහන්සේ වදාළේ තමන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ එක් එක් ආර්ය සත්‍යය වෙන් වෙන් ව අවබෝධ කර ගත් බව ය. එහිදී සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ, කෘත ඤාණ පිළිබඳ පහදා දුන් සේක. උන්වහන්සේ වදාළේ මෙසේ ත්‍රිපරිවර්තයෙන් ලද අවබෝධය නිසා උන්වහන්සේට දහම් ඇසත්, ඤාණයත්, ප්‍රඥාවත්, විද්‍යාවත්, ආලෝකයත් ලැබුණු වග ය. චතුරාර්ය සත්‍යය පිළිබඳ ව පරිපූර්ණ අවබෝධය ලැබීමෙන් පසු තමා අනුත්තර සම්මා සම්බෝධිය සාක්ෂාත් කළෙමි'යි ලොව ඉදිරියේ ප්‍රතිඥා දුන් බවටත් සිංහනාද කළ සේක. උන්වහන්සේගේ සිත නොවෙනස් වන විමුක්තියක් පසක් කළ බවත්, ඉපදීම ක්ෂය වූ බවත්, මෙය අවසන් උපත බවත්, නැවත භවයක් නැති බවත්, චතුරාර්ය සත්‍යය පිළිබඳ විමුක්ති ඥානදර්ශනය ඇති වූ බවත් වදාළ සේක.