Print this Article


දිවි දෙවැනි කොට දුන් අසිරිමත් දානය මේ ජීවිතයේ දී ම පල දුන් අසිරිය

දිවි දෙවැනි කොට දුන් අසිරිමත් දානය මේ ජීවිතයේ දී ම පල දුන් අසිරිය

ජීවිතයේ අස්ථිර බව හඳුනාගත්, දානයේ විපාක හොඳීන් වටහා ගත් මේ තරුණිය සුදුසු දෙයක් ම කළා. එහි විපාක මෙලොවත්, පරලොවත් අඩුවක් නැතිව ලැබුවා. එමනිසා සීල ගුණයෙන් යුක්ත ආර්ය මහා සංඝයාට දන් දීම මහත් වූ පුණ්‍ය රාශියක් හිමි වන දෙයක් ලෙස අපට මේ කථා පුවත පැහැදිලි කර දෙනවා

අතීතයේ එක්තරා කාලයක දී ලංකාවේ ආහාර දුර්භික්ෂයක් පැවතියා. ඇති හැකි අය නැව් නැඟී විදේශ රටවලට ගියා. කිසිත් වත්කමක් නැති, බලයක් නැති දුප්පත් ජනයා ලංකාවේ ම රැඳී සිටිමින් ජීවත් වුණා.

මේ කාලයේ සුරූපී තරුණියක් ඒ ගමේ ජීවත් වුණා. ඇගේ දෙමාපියන්, ඥාතීන්, හිතවතුන් දුර්භික්ෂයෙන් ම රෝග පීඩා හැදී මිය ගියා. දෙමාපියන්ගේ මරණින් පස්සේ නිවසේ ඉතුරු වුණේ හාල් නැළියක් විතරයි. ඇය එයින් තුන් කාලක් ම උයා අනුභව කළා. එක් කාලක් කලින් කල අව්වේ වේලා ආරක්ෂා කර ගත්තා. කොපමණ බාධා ආවත් කුසගිනි ආවත් ඒ හාල් නැළි කාල නම් අනුභවයට පිස ගත්තේ ම නෑ. කුසගින්න තවත් ඉවසන්න බැරි නිසා ඇය ආහාර සොයාගෙන තෙත් බිම් ඇති කඳුරට පෙදෙසට ගියා. එහි තිබුණු පලා වර්ග, ගෙඩි වර්ග, පොතු වර්ග අනුභව කරමින් ජීවත් වුණා.

දවසක් ඇයට දකින්න ලැබුණා සිල්වත් තෙරුන් වහන්සේ නමක්. ඇය තෙරුන් වහන්සේගේ සංවර ගමනට, වදන්වලට බොහෝම පැහැදුණා. උන්වහන්සේට දෙ දණ බිම තබා වන්දනා කර ‘ස්වාමිනි, දහවල් දානය මම අද ඔබ වහන්සේට පිළිගන්වනවා. මට පාත්‍රය ලබා දෙන්න‘යැයි පාත්‍රය ඉල්ලා ගෙන තෙරුන් වහන්සේට මදක් වැඩ සිටින ලෙස ආරාධනා කර, ආරක්ෂා කර තිබූ සහල් කාල උයන්න පටන් ගත්තා.

මේ වේලාවේ දුර්භික්ෂය නිසා තැනින් තැන පහළ වුණු හොරු කණ්ඩායම් අතුරින් එක් කණ්ඩායමක් ගමේ ගෙවල් කොල්ලකාලා, ඔවුන්ට කප්පම් ගැනීමට පුළුවන් කියලා හිතුණු මිනිසුන් ද ගෙන පලා ගියා. තෙරුන් වහන්සේත් මේ කලබල නිසා එතැනින් වැඩම කළා. තරුණිය හෝදිසි කරලා බලන විට තෙරුන් වහන්සේ ඈතින් වැඩම කරනවා දැක්කා.

දැන් කරන්න දෙයක් ඇත්තේ නෑ. පාත්‍රය අතින් අරගෙන, මඟදී බත් පිසීමට බලාපොරොත්තු වෙමින් උයමින් තිබුණු බත් හැළියත්, ලිපත් ආධාරකයක් මත රඳවා හිසෙහි තබා ගෙන තෙරුන් වහන්සේ වැඩම කළ දෙසට ම ගියා. මෙහෙම බොහෝදුරක් ගොස් තෙරුන් වහන්සේ මුණ ගැසුණා. බාගෙට ඉදුණු බත් හැළිය ඒ වන විට හොඳට ම සකස් වී තිබුණා. බත අනුභව කරන්න පුළුවන් බව පරීක්ෂා කොට බලා තෙරුන් වහන්සේ සමීපයට ගිහින් වන්දනා කර, ‘ස්වාමිනි, ඔබ වහන්සේට දානය සූදානම් කර අවසන්. මඟ දිගට එන ගමනේ දී බත් හැළිය හිස මත්තේ දී ම ඉදිලා. දානය පිළිගන්නා සේක්වා‘යි

පාත්‍රයට දානය බෙදා පිළිගැන්නුවා. ඒ තෙරුන් වහන්සේ ඇයගේ ශරීර කෘෂතාවත්, කුසගින්නත්, දැඩි වෙහෙසත් සලකා එය පිළිගැනීමට අකැමැති වුණා. තරුණිය නැවත නැවතත් ඉල්ලා සිටියා තමන්ගේ දානය පිළිගන්නා ලෙස. ඇයගේ දැඩි ආයාචනයෙන් හා ආරාධනයෙන් සංවේගයට

පත්ව දානය පිළිගත්තා. එහෙත් තෙරුන් වහන්සේ ඒ දානය වැළඳුවේ නෑ. උන්වහන්සේ කල්පනා කළා,

‘මම තාම පෘථජ්ජන යි. මේ දානයේ ආනිශංස ඇයට වැඩියෙන් ලබා දෙන්න නම් මම අර්හත් භාවයට පත් වෙන්න ඕන. මැයගේ ශ්‍රද්ධාවේ හා දාන චේතනාවේ පිරිසුදු බව ඉහළයි. කොහොමටත් කෙලෙස් සහිත භික්ෂුවක් විදිහට නම් මම මේ දානය වළඳන්නේ නෑ. දැන්ම විදර්ශනා වඩන්න ඕන‘යි කල්පනා කර තීරණයකට එළැඹුණා.

එතැනම කැලයට ඇතුළු ව තෙරුන් වහන්සේ ගසක් මුල හිඳගෙන විදර්ශනා භාවනා වඩන්න පටන් ගත්තා. තෙරුන් වහන්සේ ඉර මුදුන් වෙන්න පෙර පෙරවරු සමයේ ම වීර්යය වඩා අර්හත්භාවයට පත් වුණා. දානය වැළඳුවා.

මේ සිදුවීම දුටු ශක්‍ර දෙවියන් සවස් යාමේ ඇය ජීවත් වන කුඩා පැලට ගිහින් ඇය නිදා ගන්නා ස්ථානයේ හිසට උඩින් සහල් නැළියක් තබා යන්න ගියා. ඇය අවදි වී බලන කොට දැක්කා සහල් පසුම්බියක්. එය විවර කර බැලුවා. පුදුමයෙනුත් පුදුමයි. අලුත් සහල් පසුම්බියක්. ඇගේ කුසගින්න අධිකයි. කැලෑ පලතුරු හොයන්න යන්න වෙලාවක් තිබුණේත් නෑ. තමන් තබා ගත් හාල් නැළි කාලත් උයා දන් දුන්නා. මේ හාල් නැළියවත් උයන්න ඕන‘යි කල්පනා කරලා හාල් නැළිය ලිප තබා පිස ගත්තා. දහවල් කෑමට බත් හැළියෙන් ටිකක් අරගෙන අනුභව කළා. නැවතත් තව ටිකක් කුස පිරෙන්න කන්න ඕන‘යි හිතලා බත් හැළිය විවර කර බලන කොට එහි කලින් ගත්ත අඩුව පිරී ගිහින්. හැඳි පාරක් වැදිලාවත් නැති අලුත් බත් හැළියක් විදිහට ම පත් වෙලා. දෙවැනි වතාවේත් බත් බෙදාගෙන තුන් වෙනි පාර බලන විටත් එය ඒ විදිහට ම තමයි.

මේ අයුරින් බත් හැලියෙන් කොපමණ බත් ගත්තත් අඩු නොවී පැවැතියා. තරුණිය දැන ගත්තා තෙරුන් වහන්සේට දන් දීමේ පුණ්‍ය විපාකයේ මහිමය මෙලොව දී ම ප්‍රත්‍යක්ෂ වෙලා කියලා. ඇය බොහෝම සතුටට, ප්‍රීතියට පත් වුණා. දුර්භික්ෂයෙන් පීඩා විඳි ඒ පළාතේ හැම දෙනාට ම තුන් වේලම මේ බත් හට්ටියෙන් බත් බෙදා දන් දුන්නා. ජීවිතාන්තය දක්වා ම මෙහෙම දන් දෙමින් බොහෝ කුසල් කරගෙන මිය ගොස් දෙව් ලොව අපරිමිත දිව්‍ය සම්පත් ඇති දෙව් විමනක ඉපිද සැප විපාක වින්දනය කළා‘යි කථා පුවතක් සීහළවත්ථුවේ සඳහන් වෙනවා.

පින්වතුනි, තමන්ගේ මව්පියන්ට පින් පිණිස එකම සහල් කාල උයා දන් දීමෙන් ඇය ලැබූ විපාකය කෙතරම් සොඳුරු ද? සොරු නිසා බියට පත් වූ ඇය තෙරුන් වහන්සේ පසුපස නැවතත් බත් හැලිය හිසෙහි තබා ගනිමින් රැගෙන ගිහින් දන් පිරි නැමුවා. වෙනත් කෙනෙක් නම් සොරුන්ට බියෙන් එහෙම ගමනක් යන්නේ නෑ. එහෙත් ජීවිතයේ අස්ථිර බව හඳුනාගත්, දානයේ විපාක හොඳීන් වටහා ගත් මේ තරුණිය සුදුසු දෙයක් ම කළා. එහි විපාක මෙලොවත්, පරලොවත් අඩුවක් නැතිව ලැබුවා. එමනිසා සීල ගුණයෙන් යුක්ත ආර්ය මහා සංඝයාට දන් දීම මහත් වූ පුණ්‍ය රාශියක් හිමි වන දෙයක් ලෙස අපට මේ කථා පුවත පැහැදිලි කර දෙනවා.