Print this Article


සතුට රැඳෙන්න සාමය රකින්න

සතුට රැඳෙන්න සාමය රකින්න

යුද ගිනිදැල් මිනිසාට පමණක් නොව සතා සිව්පාවුන් ඇතුළු මුළු මහත් ස්වභාවධර්මයට ම මහත් ව්‍යසනයක් ගෙන දෙන්නකි. යුද්ධය මොන විධියකට පැවතුණ ද එහි මූල බීජය සොයා බැලුවහොත් දක්නට ලැබෙන්නේ සිතේ අසහනකාරී බව හෝ අතෘප්තිකර ස්වභාවය හෝ වචනයට හා ක්‍රියාවට නැඟෙන බවයි.

ලෝභ, ද්වේශ, මෝහාදී අකුසල් සිතිවිලි උත්සන්න වී එහි විපාක ලැබ් ගින්නක් සේ ලෝකය පුරා ම විසිරී පැතිරී යනු ඇත. බුදු දහමට අනුව විමසා බැලීමේ දී එහි මූල බීජයත්, එය නිවා ගන්නා ආකාරයක් පැහැදිලි කොට ඇත.

සත්වයින් අතරින් මිනිසා උසස් කොට සලකන්නේ උසස් චින්තනයක් තිබෙන බැවිනි. ලෝකයේ බුද්ධත්වය ලබා ගන්නේත්, දේවත්වය ලබා ගන්නේත්, මනුෂ්‍යත්වය ලබා ගන්නේත් මිනිසාම ය. භෞතික වශයෙන් ගත් කල්හි මිනිසා ගෙවල් - දොරවල්, ආහාර - පාන, ඇඳුම් - පැලඳුම්, බේත් - හේත් යන මූලික අවශ්‍යතා වෙනුවෙන් වෙහෙසෙනු ඇත. එම මූලික අවශ්‍යතා කොතරම් ලැබුණත් සෑහීමකට පත් නොවීමෙන් මනසේ විෂම ලෝභය උපදී. තවතවත් වස්තු සම්පත ඇත්නම් යන චේතනාව මූලික කොටගෙන ලෝභ සිතින් අන්‍යයාගේ වස්තුව ද තමා සතු කර ගැනීමට උත්සාහ කිරීම තුළින් සිදු වන්නේ රටවල් රටවල් අතර, සමාජයන් සමාජයන් අතර, ජාතීන් ජාතීන් අතර, කුලයන් කුලයන් අතර හා වර්ණයන් වර්ණයන් අතර යුද මානසිකත්වයක් ගොඩනැඟීමයි. එපමණක් නොව යුද්ධ සංසිඳුවීමට බිහිකර ඇති ආගම් ආගම් අතර ද යුද ගැටුම් පැන නැඟීම එහි ඇති ප්‍රාථමික ම සංසිද්ධියයි.

බුදු දහම වනාහි අකාලික වූ දහමකි. එහි ඉදිරිපත් කර ඇති සෑම කරුණක ම ඕනෑම කාලයකට වලංගු ය. යුද්ධය පිළිබඳව ඉදිරිපත් කර ඇති කරුණු ද ඒ ආකාරයෙන් ම සදාකාලික ව ජන සමාජයට වැදගත් වනු ඇත.

“නහි වේරේන වේරානි - සම්මන්තීධ කුදාචනං
අවේරේනච සම්මන්ති - එස ධම්මො සනන්තනෝ”

යන ධම්ම පදයේ යමක වග්ගයේ 5 වැනි ගාථාවෙන් කියැවෙන කරුණු නිදසුනක් ලෙස ගෙන බලමු. මේ විශ්වයෙ කිසිම තැනක, කිසිම විටක වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැත. අවෛරයෙන් ම වෛරය සංසිඳෙති. මෙය සදාකාලිකව පිළිගත් ධර්මතාවකි.

මේ සම්බන්ධව වැඩිදුර විමසීමේ දී බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදු වූ යම් යම් සිද්ධීන් ද උදාහරණ ලෙස ගත හැකි ය. රෝහිණී ගඟෙහි ජලය බෙදා ගැනීම උදෙසා මහා යුද්ධයකට සැරසුණු ශාක්‍ය - කෝලිය දෙවංශිකයන් සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ක්ලේෂ ධර්මයන්ගෙන් රෝගාතුර වූ මිනිසුන් අතර රෝග රහිතව අපි සුව සේ ජීවත් වෙමු යනුවෙනි. මානසික රෝගයන් පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පුහුදුන් සත්වයෝ රෝගීහු වෙති. අධික තෘෂ්ණාව, කෙනෙකුගේ යස ඉසුරු නොඉවසන කල්හි ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වැනි අමානුෂික සිතුවිලි පැන නැඟේ. පුද්ගල දුක සමාජගත දුකක් බවට පත්වන්නේ එවිට ය.

බුදුරජාණන් වහන්සේ ශාක්‍ය කෝලිය දෙපිරිස මැදට වැඩම කොට අහස් කුස පලක් බැඳ සිටි අවස්ථාවෙහි ස්වාමීනි, ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ යුදවාදීන් ව සිටින අප අතරට කුමක් සඳහා වැඩි සේක්දැයි ශාක්‍ය - කෝලිය වංශිකයෝ ප්‍රශ්න කළහ. එයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ රජ දරුවනි, නෑයන්ගේ සෙවණ සිසිල් බැවින් මෙතැනට පැමිණියෙමි'යි වදාළහ. ඒ ඇසූ දෙවංශිකයෝ ම ඔවුනොවුන්ගේ මුහුණ බලමින් ඔවුන් අත තිබූ ආයුධ බිම හෙළූහ. වඩා වටින්නේ ගලා යන ගංගා ජලය ද, එසේ නැතහොත් තොපගේ රුධිරය දැයි පෙරළා බුදු හිමි ප්‍රශ්න කළහ. යුද්ධයත් කොට ජීවිත ගණනාවක් විනාශ වෙන්නට තිබුණු එම භයානක අවස්ථාව නොහොත් යුද්ධයක් ඇති වීමට තිබුණ ඉඩ ප්‍රස්ථාව බුදු වදන් තුළින් නිමාවට පත් වී ඔවුහු එතැනින් සතුටින් විසිර ගියහ.

මෙම කතා පුවත පාදක කොට “ආතුරේසු අනාතුරා (ගිලන් වූ මිනිසුන් අතර අපි කෙලෙස් ලෙඩ නැත්තෝ වෙමු) “උස්සුකෙසු අනුස්සුකා” (කම්සැප සෙවීමෙහි උත්සුක වූවන් අතර කම්සැප සෙවීමක් නැත්තෝ වෙමු.) යනුවෙන් බුදුහිමි දේශනා කළහ.

“ජයං වේරං පසවති
දුක්ඛං සේති පරාජිතෝ
උපසන්තෝ සුඛං සේති
හිත්වා ජය පරාජයං”

ජයග්‍රහණය සතුරන් ඇති වීමටත්, පරාජය දුක ඇති වීමටත් හේතුවෙයි. ජයත්, පරාජයත් නැති ව සිටින්නා සුව සේ වාසය කෙරෙයි යනුවෙන් ස.නි කෝසල සංයුක්තයෙ පඨම සංගාම සූත්‍රයෙහි ඇතුළත් ඉහත ගාථාව තුළින් යුද්ධය සංසිඳෙන ආකාරය පැහැදිලි කොට ඇත. “නත්ථි රාග සමෝ අග්ගි” රාගය ගින්නක් හා සමාන ය. ඒ වගේම ද්වේෂය ද සමාජ ව්‍යසනයට හේතු වේ. “නත්ථි දෝස සමෝ කලි“ ද්වේෂය තරම් තවත් අපරාධයක් නැත. රාග, ද්වේෂ යන අකුසල් සිතිවිලි යුද්ධයක් ඇති වීමට මූලික හේතුව නොහොත් බීජය වශයෙන් පැහැදිලි වේ. පළමුව යුද්ධය හට ගන්නේ මිනිස් සන්තානය තුළයි.

ලෝකයේ පැවතුණු යුද්ධවලින් සිදු වූ ජීවිත හා දේපළ හානිය කියා නිම කළ නොහැකි තරම් ය. දෙවන ලෝක යුද්ධයෙන් ජපානයේ හිරෝෂීමා, නාගසාකි නගර දෙකට පරමාණු බෝම්බ දැමීමෙන් ලක්ෂ ගණන් මිනිසුන් මිය ගිය අතර, එහි විපාක මොන තරම් බරපතළ ද යත් අදටත් එම නගරවල උපදින ළමයින්ට ලිව්කේමියා වැනි භයානක රෝගවලට මුහුණදීමට සිදු වී ඇත.මිනිසා විසින් නිපදවා ඇති ඉතා භයානක අවි - ආයුධ මිනිසාගේ ම විනාශය පිණිස පවතිනු ඇත. තවද ගල්ෆ් යුද්ධයේ දෝංකාරය අදටත් ඇසෙනු ඇත. මෙවැනි යුද්ධ ඇතිවීමට කෙනෙක් තව කෙනෙකුට, පිරිසක් තව පිරිසකට කරන අයුතු අකටයුතුකම් ද බලපානු ඇත. උදාහරණයක් වශයෙන් දකුණු අපි‍්‍රකාවේ කාලාන්තරයක් තිස්සේ පවතින වර්ණ භේදවාදය ගත හැකි ය. වර්ණයෙන් කළු වූ කෝටි සංඛ්‍යාත දේශීය ජනතාවගේ මානව අයිතිවාසිකම් වර්ණයෙන් සුදු වූ ඉතා සීමිත පිරිසත් විසින් අහිමි කිරීම එහි බෙදුම්වාදයට මූලික විය.

ඒ කෙසේ වෙතත් බුදු දහමට අනුව යුද්ධයට හේතුව වන්නේ මිනිස් සන්තානය තුළ දැඩි සේ වැඩිවෙමින් පවතින තෘෂ්ණාව ය. ලෝකයේ ඇති සියලු සැප සම්පත් තමා සතු කර ගැනීමට යෑම තුළින් මිනිසුන් ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරිහී ගොස් ඇත. මේ නිසා ලෝකයේ ඇති සියලු සැප සම්පත් මා සතු වේවා, අන්සතු නොවේවා යන පුද්ගල මමත්වය යුදවාදීන් තුළ ඉස්මතු වී ඇත. අග්ගඤ්ඤ සූත්‍රය, කූටදන්ත සූත්‍රය වැනි සූත්‍රවලින් පැහැදිලි වන්නේ මුල් යුගය තුළ මිනිසුන් ලද දේ සතුටින් භුක්ති වින්ඳා සේ ම ලද දෙයින් සතුටු වීම ද සිදුවිය. පසුකාලීන වන විට ධනය රැස්කිරීම හා ගබඩා කිරීම තුළින් බදාගෙන කෑමේ පිළිවෙත ඇති වී ඝාතනය, සොරකම, බොරුකීම ආදී සමාජ අයහපත් ක්‍රියා වැඩිවන්නට විය. එහි උච්චතම අවස්ථාව ලෙස දෙපිරිසක් අතර හෝ දෙරටක් අතර හෝ යුද ගිනිදැල් ඇවිළෙන්නට හේතුවක් විය. බුදු සමය තුළ යුද්ධයට ඉඩක් නැත. යුද්ධය ප්‍රතික්ෂේප කරන බුදු සමය ඒවා ඇති නොවීම සඳහා විසඳුම්ද ලබා දී තිබීම තුළින් පැහැදිලි වන්නේ බුදු දහමේ ඇති සුවිශේෂී බවයි.

යෝ සහස්සං සහස්සෙන
සංගාමේ මානුසේ ජිනේ
ඒකඤ්ච ජ්‍යෙය අත්තානං
සවේ සංගාමමුත්තමෝ

යමකු යුද්ධයක දී මිනිසුන් ලක්ෂයක් පරදවා දිනුවත් තමාගේ එකම ආත්මය දිනා ගැනීම එයට වඩා උසස් ය. ආත්මය දිනාගත් පුද්ගලයා සෙසු දිනුම්කරුවන්ට වඩා ඉතා උසස් ය යන්න එහි අර්ථයයි. එක් සාර්ථක යුද්ධයකින් පසු යුද්ධ අත්හැර දැමූ එකම නරපතියා වන්නේ අශෝක රජු ය. යනුවෙන් එච්.ජි. වේල්ස් පඬිතුමා ප්‍රකාශ කර ඇත.

අද ලෝකයේ නවීන යුද අවි භාවිත කරමින් මිනිසුන් මරණ හා රටවල් ආක්‍රමණය කරන අයව තවත් පිරිසක් ඔවුන් වීරයින් ලෙස සැලකීමට තරම් අඥාන වී ඇත. එවැනි අයට මතක් කළ යුතු වන්නේ සැබෑ වීරයෙකු මතුවන්නේ තුවක්කු බටයෙන් නොවන බවයි. එසේ වේ නම් ලොව පළමු වීරයා වන්නේ ජර්මන් අඥාදායක හිට්ලර් ය. ඔහු ජර්මනියේ දසලක්ෂයකට අධික පිරිසක් ගෑස් කාමරවල දමා ජීවිතක්ෂයට පත් කළහ. සෝවියට් දේශයේ දෙකෝටියකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් කළහ. තවද කාම්බෝජයේ පොල්පොට්, උගන්ඩාවේ ඉඩි අමින් ද, මධ්‍යම අපි‍්‍රකානු ජනරජයේ බොකාසා යන්නවුන් තුවක්කු බටයෙන් වීරයන් වූවත් ජන හදවත් තුළ ඔවුන් සදා පරාජිත වූවන් ය. එයට හේතුව මිනිසුන් දස දහස් ගණනක් මරා ලබන ජයට වඩා තම ආත්මය දිනීම උසස් වන්නේ ය යන බුදු වදනට ඔවුන් හසු නොවීම හේතුවෙනි.

බුදුරජාණන් වහන්සේ අංගුලිමාල, ආලවක, නන්දෝපනන්ද නා රජු, නාලගිරි ඇත් රජු යනාදි දාමරික මිනිස්, තිරිසන් පිරිස් දමනය කරන ලද්දේ කිසිම අවි ආයුධයක් අතේ නොමැතිවයි. උන්වහන්සේගේ අනන්ත අප්‍රමාණ කරුණා, මෛත්‍රී ගුණය ඔවුන් වෙත පතුරුවා ඔවුන්ගේ මනෝභාවයන් හඳුනාගෙන පළමුව මනස සුවපත් කොට ප්‍රශ්නයට විසඳුම් ලබා දුන්හ. තවද ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ මිනිසුන් වන මහත්මා ගාන්ධි, හෝචිමිං, ඒබ්‍රහම් ලින්කන්, මාර්ටින් ලූතර් කිං, ප්‍රැට්‍රිස් ලුමුම්බා, නෙල්සන් මැන්ඩෙලා යන්නවුන් වීරයින් වූයේ ජනතාව සමග ඉඳ ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් කැපවීම හා සටන් කිරීම තුළිනි.

ඒ අනුව යුද්ධයට වගකිව යුත්තේ මිනිස් සන්තානය ම බව පැහැදිලි වේ. යුද්ධයට විසඳුම් වශයෙන් මිනිස් සිතට සාමය තුළ ඇති සුබවාදී ආකල්ප පිළිබඳ ව පළමුව සිත තුළ වර්ධනය කළ යුතු ය. එය සිතින් ම කළ යුතු කාර්යයකි. සෑම විටම තමා තමන්ටම අවංක ව කටයුතු කරන්නේ නම් බුදුදහමට අනුව යුද ගිනිදැල් නිවීමට හැකි වන බව නිසැකව ම කීමට පුළුවන. බුදු දහම තුළ උගන්වා වදාළ මෛත්‍රී සංකල්පය මානව සත්වයාට ම (සොබාදහමත් ඇතුළුව) සාධාරණ වූවකි. ඒ අනුව මෛත්‍රිය පැතිරවීම හා එය විශ්ව ව්‍යාප්ත කිරීම තුළින් සිත්සතන් ප්‍රසන්න කර ගැනීමටත්, එතුළින් සියලු දෙනාට ම සමඟියෙන් සාමදානයෙන් හා සුව සේ ජීවත් වීමටත් පුළුවන් වාතාවරණයක් ගොඩ නැඟෙනවාට කිසිදු සැකයක් නැත.