Print this Article


මතු ජීවිතයක දී ස්ත්‍රී බව ඉක්මවා යන්න කාන්තාවට පුළුවන් ද?

මතු ජීවිතයක දී ස්ත්‍රී බව ඉක්මවා යන්න කාන්තාවට පුළුවන් ද?

මේ ලෝකයේ උපන් සියලු සත්වයෝ සසරේ ගමන් කරන පිරිසක්. සියලුම ස්ත්‍රීන් ස්ත්‍රී භාවයට කැමැති නිසා ස්ත්‍රියක් වූවා, සියලුම පිරිමින් , පිරිමි භාවයට කැමැති නිසා පිරිමියෙක් වූවා කියා නිර්ණායකයක් මේ ලෝකයේ නැහැ.

අප සසරේ යම් යම් දේ රැස් කළා ද, කර්මානුරූපීව සැප, දුක්, විඳීමට යටත් ව අප ඒ ඒ ආකාරයට උපත ලැබුවා. අප රැස් කර ගෙන තිබෙන කර්මය මිනිස් ලෝකයේ යම් සැපක් හෝ දුකක් හෝ වි¼දීමට තිබෙනවා නම් එය ඒ ආකාරයට ම සිදුවෙනවා.

මේ ලෝකයේ පුරුෂයන් වෙලා ඉපදෙන සියලු ම දෙනා සදාතනික සැපයක් විඳීනවා කියා දෙයක් නැහැ. ඔහුත් මිනිස් ලෝකයේ ඉපදුන නිසා සැප දුක් කර්මානුරූපී ව විඳීනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළා පුරුෂයෙක් නො විඳන, ස්ත්‍රියකට පමණක් ආවේණික වූ දුක් තිබෙන බව. ඒ දුක් ස්ත්‍රියක් විසින් විඳීය යුතු ම වෙනවා. ඒ තමා තමාගේ මව්පියන්ගෙන් වෙන්වෙලා සැමියා‌ගේ නිවසට පතිකුලයට යෑම, මාසික ශුද්ධියට මුහුණ දීම, දරු ගැබක් ඉසිලීම, දරුවන් බිහි කිරීම, ස්වාමියාගේ උපස්ථානයට කැපවී සිටිනවා කියා දුකකුත් ස්ත්‍රියකට තිබෙනවා. මේ දුක් ස්ත්‍රියකට විඳවීමට පරිසරය සැකසිලයි තිබෙන්නේ.

ධර්මය නුවණින් විමසන්න

ධර්මය ඇසීම තුළින් හා ධර්මය නුවණින් විමසීම තුළින් යම් කාන්තාවක් කැමැති වෙන්න පුළුවන් ස්ත්‍රී ජීවිත නම් මහා දුක් ගොඩක්. මට මතු ජීවිතය පුරුෂයෙක් වීමට තිබෙනවා නම් හොඳයි කියලා. කාන්තා ජීවිතයට වඩා පුරුෂ ජීවිතය උතුම් බව භාග්‍යවතුන් වහන්සේත් වදාළා. උන්වහන්සේ වදාළා ස්ත්‍රියක් නොලබන පුරුෂයකුට පමණක් උරුම පදවි තිබෙනා බව. ඒ තමා

සම්මා සම්බුද්ධත්වය, බ්‍රහ්ම ලෝකයේ උපත, මාර පදවිය, සක් දෙවිඳු පදවිය

එනිසා නුවණින් විමසන කාන්තාවක් මතු ජීවිතය පුරුෂයෙක් වීමට කැමැති නම් ඒ සඳහා ප්‍රතිපදාවක් තිබෙනවා. ප්‍රාර්ථනා කළා කියා හෝ, සැමියාගෙන් වරමක් ගත්තා කියා හෝ කාන්තාවකට පුරුෂයෙක් විය නොහැකි යි. ඒ සඳහා ස්ත්‍රියක් ස්ත්‍රි අලංකාරය, ස්ත්‍රී කටහඬ, ස්ත්‍රී ආකල්ප, ස්ත්‍රී සිතුම් පැතුම් ආදියට අභ්‍යන්තරයෙන් මෙන් ම බාහිරවත් කැමැති වීම්, වර්ණනා කිරීම්, සිත පිහිටුවා ගැනීම් නොකළ යුතු වෙනවා. ඒ සඳහා නුවණින් මෙනෙහි කිරීමෙන් ම කටයුතු කළ යුතු වෙනවා.

ස්ත්‍රී වූ අප සැමට ආවේණික දුර්ගුණ බොහෝ තිබෙනවා. ඉක්මණින් කෝපයට පත්වීම, ඊර්ෂ්‍යාව බහුලවීම, බොළඳ බව, පසුතැවීම, අකුසල් සිතේ රඳවා ගැනීම, අන් අයගේ සැපයට, රූපයට, හඬට ආශා කිරීම බහුල ව තිබෙනවා. එවැනි කාන්තාවකට පුරුෂයෙක් වීම අපහසු යි. එවැනි දුර්ගුණ දුරලා යම් කාන්තාවක් පිරිසුදු බඹසර සමාදන් ව රකිනවා නම් හෝ ස්වාමි භක්තියෙන් යුතු ව සැමියාට උපස්ථාන කරනවා නම් හෝ ඇයට කර්මානුරූපී ව ලැබුණ සැමියාගෙන් අඩුපාඩු නො සිතා සෑහීමකට පත්වෙනවා නම් ඇයගේ ඉලක්කය කරා යා හැකි වෙනවා.

තමන්ගේ සැමියා සුරාවට ලොල් වූ කෙනෙක් වෙන්න පුළුවන්, පර ස්ත්‍රීන් ඇසුරු කරනවා වෙන්න පුළුවන්. තමාට කායික ව මෙන් ම මානසිකවත් පීඩා ගෙන දෙනවා වෙන්නත් පුළුවන්. නමුත් කාන්තාව ඉවසීමෙන් පතිවත රැකගෙන කටයුතු කළොත් ඇයගේ බලවත් අකුසල් ඇත්නම් එය ගෙවී බලවත් පිනක් රැස් වෙන්න පුළුවන්. ඒ තුළින් ඇයගේ කර්මය වෙනස් කර ගැනීමට හැකියාව තිබෙනවා.

භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි කාලයේ ගෝපිකා කියා උපාසිකාවක් සිටියා. ඇය ශ්‍රාවක සංඝරත්නයට කුටි සෙනසුන් තනවා පූජා කළා. නිතරම උන්වහන්සේගෙන් ධර්මය අසා ඉගෙනගෙන එය නුවණින් මෙනෙහි කළා. සිත දියුණු කර ගත්තා. පසුකාලයේ දී ඇය කලුරිය කරලා සක් දෙවිඳුගේ පුත්‍රස්ථානයේ ඉපදුනා. දැන් ගෝපක දිව්‍ය පුත්‍රයා. මේ ගෝපක සතුටු කරන්නට දිනක් දිව්‍ය පිරිසක් පැමිණියා. ඔවුන් ගාන්ධර්ව දෙවිවරු. ගෝපක දිව්‍ය පුත්‍රයා දුටුවා මේ පෙර ජීවිතයේ දී තමන් උපස්ථාන කළ ස්වාමින් වහන්සේ බව. ගෝපක දිව්‍ය පුත්‍රයාට මහත් අනුකම්පාවක් ඇති වුණා. අර දෙවියන්ට කියා සිටියා

දෙවිවරුනි, මම පෙර ජීවිතයේ කාන්තාවක් වෙලා සිටියේ. නමුත් මම පින් කරමින් පුරුෂභාවය වැඩුවා. අද මම සක් දෙවිඳුගේ පුත්‍රයෙක් වෙලා ඉන්නවා. මට ධර්මය කියාදුන් ඔබලා ඇයි ධර්මය පුරුදු කර ගත්තේ නැත්තේ කියා අසා සිටියා.

එහෙනම් අපට පේනවා මේ උපාසිකාව හොඳීන් ධර්මය අසලා, ධර්මය පුරුදු කර තිබෙනවා. ඇය මිනිස් ලොව දී පවුලක යුතුකම් ඉටුකරගෙන අභ්‍යන්තරික ව ස්ත්‍රියකට තිබෙන බැඳීම් දුරු කළා. බාහිර ව පුරුෂයකුට ඇති බැ¼දීමත් දුරු කළා. පතිවත රකිමින් කාන්තා ආකල්ප දුරු කළ නිසා දෙවියෙක් වී උපන්නා.

එනිසා යම් කාන්තාවක් මතු ජීවිතයක පුරුෂයෙක් වීමට කැමැති නම් ඉවසීම පුරුදු කරමින් හොඳීන් ගුණදහම් දියුණු කර ගෙන ශක්තිමත් සිතක් උපදවා ගෙන, අභ්‍යන්තරිකව ස්ත්‍රිය සතු ආකල්පවලට ලොල් නොවී හොඳ ඉන්ද්‍රිය සංවරය තුළින් බඹසර හෝ පතිවත රකිමින් පින්දහම් දියුණු කර ගෙන කටයුතු කළොත් මතු ජීවිතයක සුගති ලොවක පුරුෂභාවය ලැබීමට අවස්ථාව තිබෙනවා.

මානසික කායික වේදනා විඳීනවා ද?

දහමේ සඳහන් වෙනවා මේ ලෝකයේ බොහෝ කාන්තාවන්ට ස්වාමියා, දරුවන් තීරණය වන්නේ කර්මානුරූපී ව, සසරේ කළ පින හා පව මත බව. සමහර කාන්තාවන්ට ඉතාමත් ගුණ යහපත්, ඉවසීමෙන් යුතු, තමා ව හොඳීන් රැකබලා ගන්නා පුරුෂයෙක් ස්වාමියා ලෙස ලැබෙනවා. ඇතැම් කාන්තාවන්ට සුරාවට ලොල්, නිතර පරුෂ වචන කියන, ගුටිබැට දෙන තිරිසන් ගති ඇති පුරුෂයෙක් සැමියා ලෙස ලැබෙනවා. ඒ කාන්තාවන් දෙදෙනා සසරේ කළ පින සහ පව මතයි එසේ සිදුවන්නේ.

තමා ප්‍රිය නැති, කායික ව සහ මානසික ව සැමියාගෙන් වද වේදනා විඳීන යම් කාන්තාවක් සිටිනවා නම් ඇයගේ ජීවිතය තුළ උපදවාගත යුතු ගුණධර්ම කීපයක් තිබෙනවා. පළමුව ඇය තේරුම්ගත යුතු වෙනවා මම සසරේ කළ දේයි මට දැන් ලැබී තිබෙන්නේ කියන දේ. මෙවැනි කාන්තාවන් නිරන්තරයෙන් ඉවසීම පුරුදු කරන්න ඔිනේ. කුඩා දෙයටත් කෝප වෙලා සැමියාට ශාප කරමින් ඇයි මට ම මෙහෙම වුණේ කියා තාමටත් ශාප කරමින් හඬා වැටෙමින් කාලය ගත නොකොට ඇය දක්ෂ වෙනවා නම් ධර්මය තුළින් මේ සඳහා පිළිතුරක් සොයන්න ඇයට මේ ජීවිතය කෙසේ වෙතත් පරලොව ජීවිතය ජය ගන්නට පුළුවන් වෙනවා. එවිට ඇයට විඳීවන ජීවිතයෙන් එළියට එන්න පුළුවන්.

යම් ස්ත්‍රියකට දැන ගන්නට ලැබුණොත් තමන්‌ගේ සැමියා වෙනත් ස්ත්‍රියක් සමඟ නොමනා ඇසුරක් තිබෙනවා කියා ඇය ඒ සඳහා විසඳුමක් සෙවීම සඳහා ඉක්මණින් ධර්මයට ළං විය යුතුයි. සැමියා නිසි මඟට ගන්නට ඉවසීමෙන් කටයුතු කළ යුතු වෙනවා. එසේ කරලත් ඔහු බේරා ගන්නට බැරි වුණොත් ධර්මය තුළින් සිත හදා ගැනීමයි කළ යුත්තේ. කර්මය, කර්ම ඵලය විශ්වාසයෙන් මම කළ දේ මම ගෙවනවා යන හැඟීමෙන් නිතර බුද්ධ වන්දනා කරමින්, සෑය, බෝධිය වන්දනා කරමින්, දන්පැන් පුදමින්, පිරිත් සජ්ඣායනා කරමින් කටයුතු කළොත් ඇයට සැනසීමක් ලැබෙනවා. විශේෂයෙන් ධර්මය ශ්‍රවණය කිරීමත්, ඇසු ධර්මය නුවණින් මෙනෙහි කිරීමත් සුදුසු වෙනවා.

සසරේ වැරැදිකාම සේවනයේ යෙදුන නිසා තමා ඒ දුක දැන් ගෙවන බව සිහි කරමින් බඹසර රකිමින් උපෝසථ සීලයත් රැකගත්තොත් ඇයගේ කර්මය ගෙවී යන්නට පුළුවන්. ඉවසීමෙන් කටයුතු කළොත් ඇතැම්විට සැමියා නිවැරැදි වෙලා නැවත සතුටින් පවුල් ජීවිතය ගෙවන්න අවස්ථාවත් ලැබේවි.

ප්‍රශ්නයක් ඉදිරියේ උපේක්ෂා සහගත වීම නුවණැති කාන්තාවකගේ ලක්ෂණයක්. වරදේ බැඳෙන සැමියාගේ යුතුකම් ඉටුකරමින් ඔහු සිතින් අතහැර කටයුතු කළොත් යම් සැනසීමක් ලබන්න අවස්ථාව තිබෙනවා.

ඇතැම් කාන්තාවන් ප්‍රශ්නයක් ආ විට පිළිතුරු සොයන්නට යන්නේ දේවාලයකට. නැතිනම් මිත්‍යාදෘෂ්ඨික පිරිසක් ළඟට. එසේ නොකොට නුවණින් විමසලා දරු පවුලත් රැකෙන පිරිදි කටයුතු කළොත් කර්මයක් ලෙස යමක් තිබෙනවා නම් එය වෙනස් වෙන්න පුළුවන්. නිතර ම පිනට යොමුවන විට නොපෙනන බලපෑමක් තිබෙනවා නම් එයින් ද විසඳුමක් ලැබිය හැකි වෙනවා. තමන් මිනිස් ලෝකයේ දුක ගැන අවබෝධ කරලා, සේඛබල ධර්ම දියුණු කරගෙන, මේ ලෝකයෙන් මිඳීලා සුගති ලෝකයක සිත රඳවා ගත්තොත් කාන්තාවන්ට ඇති බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු එතැන දී ලැබේවි.