එක් වරක් දුර නොබැලුවේ නම් දහස් වර දුක් පසුපසින් එයි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක
පොත්තේවෙල ඤාණලක්ඛණ හිමි
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් ලක්දිව පාරිශුද්ධත්වයට පත් වූ මේ
උතුම් පොසොන් මාසයේ සම්බුදු දෙසුමට සිත යොමු කිරීම ඉතා වැදගත් වූවකි. බුද්ධ භාෂිතය
ශ්‍රවණය කිරීම පමණක් නොව එය ප්‍රායෝගික ජීවිතයේ භාවිතය ද බුදු පියාණන් වහන්සේ
බෙහෙවින් අගය කරන ලද්දකි.
බුද්ධ භාෂිතයේ එන අගනා දහම් කරුණු සංක්ෂිප්ත ව දක්වා ඇති ධම්මපදය බෞද්ධ අබෞද්ධ හැමට
අගනා උපදෙස් ලබා දෙන ග්‍රන්ථයකි. මෙකී ධම්මපදයේ පුප්ඵ වග්ගයේ හෙවත් මල් හා
සම්බන්ධයෙන් සිදුකරන ලද දේශනා ඇතුළත් කොටසෙහි එන මෙම ගාථාව කාර්යබහුල ජීවිතයක් ගත
කරන හැමට ගෙන දෙන්නේ මහත් සැනසීමකි.
“තං ච කම්මං කතං සාධු
යං කත්වා නානුතප්පති
යස්ස පතීතො සුමනො
විපාකො පටිසෙවති.”
මිනිසකු වශයෙන් කාර්යබහුල සමාජයක සතුටින් දිවි පවත්වා ගන්නා අයුරු බුදුපියාණන්
වහන්සේ මෙ මඟින් දේශනා කළ සේක. යම් කර්මයක් කොට පසුතැවෙන්නේ නැති ද, යම් කර්මයක
නිසා විපාකය නිසා සතුටු සිත ඇත්තේ ද ඒ කර්මය කරන ලද්දේ මැනවි” යනු මෙහි සරල අදහසයි.
සමාජීය සත්වයකු වන මිනිසා බොහෝ අවස්ථාවල දී උත්සාහ කරන්නේ සතුටු සිතින්
ජීවත්වීමටයි. ඒ වෙනුවෙන් පුද්ගලයා බොහෝ දේ සිදු කරනු ලබයිි
උදාහරණයක් වශයෙන් කියතොත් ඇතැම්හු තමා ලබා ගන්නා දෛනික වැටුපෙන් සතුට භුක්ති
විඳින්නේ සවස් වරුවේ සුරාපානය කිරීමෙනි. එසේ සුරා පානය කිරීමෙන් මත්වන පුද්ගලයා
නිවසට ගොස් තම අඹුදරුවන්ට ද පහර දී මහත් විනාශයක් සිදුකරයි. එලෙස කටයුතු කිරීම
ධර්මානුකූල ව මෙනෙහි කිරීමේ දී පෙනෙන්නේ ඔහු දෙලොව සැප හා සතුට නැති කර ගනු ලබන්නකු
ලෙසයි.
තවත් අයෙක් මින් වෙනස් ව කටයුතු කරයි. එනම් තමා විසින් උපයා ගත් දෑ අඹුදරුවන් හා
සමඟින් භුක්ති විඳ ඔවුන් හා සතුටින් කාලය ගත කරයි. එසේම අවස්ථාවක් ලද මොහොතේ දාන
ධර්මාදි කුසල් දහම් සිදු කරමින් දෙලොව යහපත සිදු කර ගනු ලබයි. හෙතෙම බුද්ධ භාෂිතය
අනුව යන්නෙකි.
ඉහත දැක්වූ ගාථාව ඔස්සේ කියැවෙනුයේ ද විපාකය යහපත් වන ක්‍රියාවන් සිදුකිරීම කළ යුතු
බවයි. එසේම යමකු විසින් අයහපත් විපාක ගෙන දෙන ක්‍රියාවන් සිදුකළහොත් එම පුද්ගලයාට
දෙලොව දුක් මුසු විපාක විඳීන්නට සිදුවේ.
මේ පිළිබඳ අගනා කතා පුවතක් ධම්මපදයෙහි ම සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ
සුමන නම් ඉතා දක්ෂ මාලාකාරයකු ජීවත් විය. ඔහු දිනපතා බිම්බිසාර රජු වෙත දෑසමන් මල්
රැගෙන යාම සිදු කළේ ය. දිනක් අතරමඟ දී බුදුරදුන් හමුවී පැහැදී රජු වෙත රැගෙන යන දෑ
සමන් මල් බුදුරදුන් වෙත පූජා කරන ලදී. මෙහි කුසලානිසංස වශයෙන් ලබන ආත්මභාවය තුළ
සැපවත් ජීවිත භුක්ති විඳීමට තරම් පුණ්‍යවන්ත විය. එපමණක් ද නොව බුදුරජාණන් වහන්සේ
සුමන මාලාකරු අරමුණු කොට සිදුකරන ලද දේශනාව අවසානයේ දී සුමන තෙමේ මතු අත්බවයක දී
සුමන නම් පසේ බුදුවරයන් වහන්සේ බවට පත්වන බව ද දේශනා කළ සේක. ඒ අසා සුමන මාලාකරු
එතැන් පටන් බොහෝ පින්කම් කරමින් සතුටින් ජීවත් වූ බව සඳහන් වේ.
මෙම ගාථා පාඨය තුළින් ඉතා අගනා පණිවිඩයක් බෞද්ධ අබෞද්ධ කාහටත් ලබා දී ඇත. එනම්
සතුටින් සිටීමට කැමැත්තේ නම්, අප කරනු ලබන ක්‍රියාව යහපත් කර ගත යුතු බවයි. මෙලොව
අප මොන තරම් සම්පත් උපයා ගත්ත ද අප සතුටින් ජීවත්වන මිනිසුන් කරන්නේ අප සිදු කරනු
ලබන ක්‍රියාවමයි.
එක් වරක් දුර නොබලා කරන ක්‍රියාව දහස් වරක් අප දුකට පත් කරයි. මේ උතුම් පොසොන්
මාසයේ අප කළ යුතු වන්නේ ද යහපත් සිතුවිලි සිත්හි පුරවා ගෙන සතුටින් ජීවත් වීමට
අවැසි ක්‍රියාවන් ම සිදු කිරීමයි. |