Print this Article


අවිදු අඳුර දුරු කළ ඥා ලෝකය

අවිදු අඳුර දුරු කළ ප්‍රඥාලෝකය

කාමච්ඡන්දය හෙවත් පඤ්චකාමයන්ට ඇති කැමැත්ත, වෛරී සහගත සිත නිසා ඇති වන අන් අය විනාශ වේවා යන හැඟීම හෙවත් ව්‍යාපදය, සිතෙහි හා චෛතසිකයන්ගේ කම්මැලිකම, සිතෙහි කැළඹුණු ස්වභාවය හෙවත් නො සන්සුන්ගතිය හා බුද්ධාදී අටතැන් පිළිබඳ සැකය යන නීවරණයන්ගෙන් සිත මිදෙන බැවින් සිතෙහි සමාධිගත භාවය හෙවත් ඒකග්ගතාවය ඇති වේ.

එසේ පඤ්ච නීවරණයන් ප්‍රහාණය වන විට විතක්ක, විචාර පීති සුඛ, එකග්ගතා සහිත පඨමජ්ඣානයට සිත යොමු වේ. ඒ අනුව හිත කර්මස්ථාන අරමුණ ප්‍රවිශ්ට වන අතර එසේ ප්‍රවිශ්ට වූ හිත අරමුණෙහි ම රඳවා ගැනීම නිසා ප්‍රීතියත්, සැපයත් ඇති වන අතර සිතෙහි ඒකග්ගතාවය ද ඇති වේ.

එවිට එම පුද්ගලයාගේ හිත ප්‍රථම ධ්‍යානයට ගියේ වෙයි. මෙසේ අනෙකුත් ධ්‍යානාංගයන්ට හිත යොමුවීමේ ප්‍රතිඵලය වශයෙන් චිත්ත සමාධියෙහි උපරිම අවස්ථාවට හිත පැමිණෙ යි. එවිට භික්ෂූන් වහන්සේට ඇතිවන්නා වූ අවබෝධය තුළින් බුදුරදුන්ගේ සම්බුද්ධත්වය, ස්වාක්ඛාත්වය හෙවත් මනා කොට දෙසූ දහමක් ය යන අවබෝධය, සංඝයාගේ සුපටිපන්න බව හෙවත් මනාව නිවන් මඟට පිළිපන් පිරිසක් වශයෙන් සංඝයා පිළිබඳවත් මනා අවබෝධයක් ඇති වේ.

මෙම අවබෝධය ඇති වූ ශ්‍රාවකයාට ධ්‍යානංගයන්ගෙන් පිරිසිදු වූ, සමාධිගත වූ, එකඟ වූ හිතක් ඇති බැවින් පෙරවිසූ කඳ පිළිවෙළ හෙවත් පුබ්බේනිවාසානුස්සති ඤාණය ලැබේ. ඒ අනුව එම භික්ෂූන් වහන්සේට එක ජාතියක, දෙකක, තුනක, ආදී වශයෙන් භව රාශියක් පිළිබඳ තොරතුරු හෙළි කිරීමේ ශක්තිය ලැබේ. මෙම පුබ්බෙනිවාස ඤාණය ලබාගත් පුද්ගලයා පිළිබඳ නිදසුනක් වශයෙන් චාරිකාවක්, වන්දනා ගමනක් ගිය කෙනකු දැක්විය හැකි ය.

කිසියම් චාරිකාවක් ගොස් අවසන් වූ කෙනකු තමා ගිය චාරිකාව නැවත සිහිකරන්නා මෙන්, එහි දී සිදු වූ විශේෂ සිද්ධීන් සිහිකරන්නාක් මෙන් තමාගේ පෙර ජාති සිහිකිරීමේ හැකියාව ලැබෙන අතර, එම භවයන්හි දී සිදු වූ විශේෂ සිද්ධීන් සිහිකිරීමේ හැකියාව ද සැලසේ. ඉන්පසු නැවතත් හිත දියුණු කරන විට චුතූපපාත ඤාණය ලැබේ.

එම ඤාණය ලැබීමත් සමඟ ම මේ භවයෙහි උපදින සත්ත්වයන් හා මේ භවයෙන් චුතවෙන සත්ත්වයන් නුවණින් මෙනෙහි කිරීමට අවස්ථාව සැලසේ. නිදසුනක් වශයෙන් දොරටු පාලකයෙක් රජු මුණගැසීමට පැමිණෙන සෑම දෙනකුගෙන් තොරතුරු විමසා ඒ අයගේ තොරුතුරු දැනගත් පසු මේ අසවළා ය, මේ අසවළා ය යනාදී වශයෙන් ඒ ඒ තැනැත්තා පිළිබඳ අවබෝධයක් ලබා ගන්නා සේ චුතුපපාත ඤාණයෙන් ඒ ඒ තැනැත්තා පෙර භවයෙන් චුතවීම පිළිබඳවත්, මේ භවයෙහි උපදීම පිළිබඳවත් තොරතුරු දැන ගැනීමේ හැකියාව ඇති වන බව දැක්විය හැකි ය.

මෙම ඤාණය ලැබීමෙන් හෝ මෙම තත්ත්වය පරම නිෂ්ටාව වශයෙන් මෙනෙහි නො කරන තථාගත ශ්‍රාවක තෙමේ තවදුරටත් තම හිත යෙදවීමෙන් සියලු කෙලෙස් ප්‍රහාණය කිරීමෙන් ලබන ආසවක්ඛය ඤාණය ලබා ගනී.

මෙම ආසවක්ඛය ඤාණය ඇතිවීමත් සමඟ ම රාගය, ද්වේෂය, මෝහය ප්‍රහාණය වීමත් සමඟ කළ යුතු සියල්ල අවසන් කළ, නිමවන ලද බඹසර ඇති, උත්තරීතර තත්ත්වයකට පත්වනු නියත ය. ඒ තත්ත්වයට පත්වීමත් සමඟ ම දුක්ඛ, සමුදය, නිරෝධ, මග්ග යන චතුරාර්ය සත්‍යාවබෝධය වන බවත්, එම චතුසත්‍යාවබෝධයත් සමඟ ම බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ බවත්, ධර්මය ස්වක්ඛාත බවත්, සංඝයා සුපටිපන්න බවත් අවබෝධ කර ගනී.

මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කළ ජානුස්සෝණිය බ්‍රාහ්මණයා බුදුන් වහන්සේට ප්‍රකාශ කොට සිටියේ

“ස්වාමීනි ඉතා හොඳයි, ස්වාමීනි, ඉතා හොඳයි, වහන ලද දෙයක් විවෘත කර පෙන්වන්නා සේ, යටිකුරු කළ දෙයක් උඩුකුරු කර පෙන්වන්නා සේ මංමුළා වූ කෙනකුට පාර කියා දෙන්නා සේ, අඳුරෙහි තෙල් පහනක් දැල්වූ පසු ඇස් ඇති අයට එහි ඇති රූප දැකිය හැකි වන්නා සේ ඔබ වහන්සේ මට ධර්ම දේශනා කළා.

ඒ ධර්ම දේශනාව අසා මම බුදුන් සරණ යමි, ධර්මය සරණ යමි, සංඝයා සරණ යමි, දිවිහිමියෙන් තෙරුවන් සරණ යමි. මා අද පටන් දිවිහිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයකු ලෙස පිළිගන්නා ලෙස ඉල්ලා සිටියා“.

ඒ අනුව සම්බුදුරදුන්ගේ ධර්ම දේශනාව අසා මිථ්‍යා දෘෂ්ටික බමුණකු වූ ජාණුස්සෝණි බ්‍රහ්මණයා තෙරුවන් සරණ ගිය උපාසකයකු බවට පත් වුණා.

මෙම චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අපට ඉතා වැදගත් සූත්‍රයකි. අද වුව ද සමහරු බුදුසමයේ ඉගැන්වෙන බොහෝ දේ පිළිබඳ වැරැදි අදහස්වලින් යුතු ව හෝ නියම අවබෝධයකින් තොර ව කටයුතු කරන බව පැහැදිලි කරුණකි. පිලෝතික බ්‍රහ්මණයා ද මෙම ඇත් පද උපමාව ඉදිරිපත් කොට ඇත්තේ අවබෝධයකින් තොරව ය.

එහෙත් බුදුහිමියන්ගේ කරුණු පැහැදිලි කිරීමෙන් ජාණුස්සෝණියට මෙන් ම පිලෝතිකට ද ධර්මය පිළිබඳ ව අවබෝධයක් ලැබිණි.

මෙම චුල්ලහත්ථිපදෝපම සූත්‍රය රහත් බව දක්වා කරුණු විග්‍රහ කරමින් දේශනා කරන ලද්දක් වන අතර, මෙම සූත්‍රය මිහිඳු මා හිමියන් විසින් ශ්‍රී ලාංකික ජනතාවට දේශනා කරමින් සිංහල ජනතාව බෞද්ධයන් බවටත්, ජාතික ආගමික කටයුතුවල පුරෝගාමීන් බවටත්, සදාචාර සම්පන්න ශිෂ්ට ජාතියක් බවටත් පත්කිරීමට අවශ්‍ය මූලික පදනම සකස් කර දී ඇත.

එපමණක් ද,? මෙම තත්ත්වය ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ද මිහිඳු හිමියෝ ඇති කළ සේක. ඒ සඳහා රජුට ධර්මය දේශනා කොට බොදු සව්වකු කිරීමත්, රජ පවුලෙන් කෙනකු සසුන් ගත කරවීමත්, අනුලා දේවිය ඇතුලු පිරිස තම ගිහි කල නැඟනිය වූ සංඝමිත්තා රහත් මෙහෙණිය ලවා සසුන් ගත කරවීම, ශ්‍රී මහා බෝධිය රෝපණය කිරීම, ආදී ශාසනික ක්‍රියාවන් නිදසුන් වශයෙන් දැක්විය හැකි ය.