ලස්සන වෙන්න බෙහෙතක්
ශාස්ත්‍රපති
විල්ඔය පඤ්ඤාතිලක හිමි
දිනක් අනුරුද්ධ මහ රහතන් වහන්සේ අම්බපාලි වනයේ විවේක සුවයෙන් වැඩ වෙසෙයි. එතැනට
මුගලන් මහ රහතන් වහන්සේ වැඩියහ. ආගිය තොරතුරු විමසමින් පිළිසඳරෙහි යෙදුන මහ මුගලන්
මහ රහතන් වහන්සේ අනුරුද්ධ මහ රහතන් වහන්සේගෙන් පැනයක් විමසූහ.
“ අයුෂ්මත් අනුරුද්ධයනි, අද ඔබගේ මුහුණ ප්‍රභාවත් ය, බබළයි. සිරුර ප්‍රසන්න ය.
දිදුලන ස්වභාව ඇත්තේ ය. ප්‍රියංකර ය, පිරිසුදු ය, ප්‍රියමනාප ය, ලස්සන වෙයි, ඊට
හේතුව කුමක් ද?
අනුරුද්ධ මහ රහතන් වහන්සේ ඒ පැනයට මෙවන් පිළිතුරක් ලබා දුන්හ. අයුෂ්මතුනි,මම කෙලෙස්
තැවීමේ වීර්යයෙන්, ප්‍රඥාවෙන් යුක්ත ව, සිහියෙන් යුක්ත ව ඇලීමෙන්, හා ගැටීමෙන් තොර
ව කයෙහි කය දැක වාසය කරමි. වේදනාවල වේදනාව දැක වාසය කරමි.සිතෙහි සිත දැක වාසය කරමි.
ධර්මයෙහි ධර්මය දැක වාසය කරමි. මා ලස්සන වීමට කාරණාව එයයි.
සිත පවත්වා ගත යුතු සම්මා සතිය පිළිබඳ කියැවෙන මෙම සංවාදය ඇත්තේ සංයුක්ත නිකායේ
සතිපට්ඨාන වර්ගයේ ය.
මුහුණ ලස්සන කර ගන්න, සතුට විඳින්න, ජීවිතය දියුණු කර ගන්න අප සිත සකස් කර ගත යුතු
ආකාර කිහිපයක් එසේ නැතහොත් ජීවත් වෙද්දී ජීවත් වීමේ පිළිවෙළක් මෙහි දක්වයි.
ජීවත්වීමේ දී අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් මෙහි දක්වයි.
පුද්ගල සංවර්ධනය, පුද්ගල අභිමානය හා උදාරත්වය රැඳී තිබෙන්නේ පුද්ගලයා තුළමයි. මව,
පියා, වෙනත් ඤාතියකු, වෙනත් හිතවතකු පුද්ගලයා උදාරත්වයට පත් නොකරයි. පුද්ගලයා
උදාරත්වයට පත් කරනුයේ යහපත් ව සකස් කර ගත් ඔහුගේ සිතයි. අභ්‍යන්තරය යහපත් නම්
පිටවන්නේත් යහපතකි. අභ්‍යන්තරයේ කුණු නම් පිටවන්නේත් කුණු ය.
( Good in good out. Garbeg in garbeg out ) තම අභ්‍යන්තරයේ යහපත් භාවය දියුණු කර ගත හැකි ලෝකය සැමදා
එක හා සමාන ය. ලෝකය නොව වෙනස් විය යුත්තේ පුද්ගලයා යි. පුද්ගලයා වෙනස් වන්නට නම්,
ඔහු තමන් ගැන දැන ගත යුතුයි.
මම වැදගත් වෙමි. මා සතෙකි. එහෙත් සතෙකු අතර විශේෂ සතෙකි. මනු සතෙකි. මනස මෙහෙවා
ක්‍රියා කළ හැකි, කථා කළ හැකි, සිතිවිලි ඉපැද විය හැකි සතෙකි. මට බෝසතකු විය හැක. ඒ
අවබෝධයෙන් ක්‍රියාකාරකම්, වචන, සිතුවිලි , ඉටු කිරීම තුළිනි. අනෙක් සතුන්ට බෝසත්
විය නොහැක. මහසත් විය නොහැක. මගේ කොටස් දෙකකි. ඒ, කය හා සිත යන කොටස් දෙකයි. කය
ඇසුරු කොට ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස පවතී. සිත ඇසුරු කොට විඳීම්, හැඟීම්,
ජයග්‍රහණ, පසුබැසීම්, ඉලක්ක පවතී. කය ඇසුරු කොට ඇති ඉන්ද්‍රිය පරිසරය තුළ වූ භෞතික,
අභෞතික දේ තුළ ගැටීම නිසා සිත තුළ මේ ස්වභාවයන් ගොඩනැඟෙයි.
මගේ වටිනාකම් ඇත්තේත් මේ සිත තුළයි. ඒ මොනවාද ? කරුණාව, අන් අයට උදව් කිරීම,
ගරුකිරීම, බෙදාගැනීම, සහකම්පනය, කණ්ඩායම් ලෙස වැඩ කිරීම, මේවා පුද්ගල වටිනාකම් ය.
මට මේ ලෝකයේ සුවිශේෂි තැනක් පවති. ආදරය , රැකවරණය, පෝෂණය, පිළිගැනීම, මඟ පෙන්වීම.
මේ ගුණ ධර්ම මා තුළ පවතී, ඒ වගේම මට බාහිර සමාජයෙන්, පරිසරයෙන් මේවා ලැබේ.
ආදරය ගත් විට මම මට ආදරය කරමි, අම්මා, තාත්තට, සහෝදර සහෝදරියන්ට, නෑදැයන්ට ,
අසල්වැසියන්ට, හිතවතුන්ට, අහිතවතුන්ට මා වගේ මිනිසාට පමණක් නොව අනෙක් සතා සිව්පාවට
ආදරය කරමි. එපමණකුත් නොවේ. සතා සිව්පාවට ඉන්න හිටින්නට, පෝෂණයට, උදව්වන පරිසරයට
ආදරය කරමි. ගහ, කොළ, හිරු එළිය, අවිව, වැස්ස, ජලය මහ පොළව, හිරු එළිය මේ හැමට ආදරය
කරමි. මේ අයුරින් අනෙක් කරුණු පිළිබඳ ව ද මෙනෙහි කළ යුතු ය.
සතුට මගේ අපේක්ෂාවයි. ඉලක්කයයි. බෞද්ධයන් වශයෙන් අප මෙලොව සතුට,පරලොව සතුට, මෙලොව
පරලොව දෙලොව සතුට, ලොකෝත්ර සතුට අපේක්ෂා කරයි. අප සියලු කි‍්‍රයාකාරකම්, සියලු වචන,
සියලු සිතුවිලි ගොඩනැඟෙන්නේ මේ සතුට අපේක්ෂාවෙනි.
සතුට සඳහා අප කළ සියල්ල තුළින් සතුටු වුණා ද? සමහර විට අප සතුට සඳහා වැරැදි දේ
කරන්න ඇති. සතුන් මැරීම, සොරකම් කිරීම, බොරු, කේළාම්, පරුෂ වචන කීම, අනර්ථ වචන කීම,
මත් පැන් බීම කරන්නට ඇති. එහෙත් ඒ තුළින් මට සතුටක් ලැබුණා දැයි අපම අසා දැන ගත
යුතුයි.
සතුටක් නම් තමා සතුටු විය යුතු යි. අන් අය සතුටු විය යුතුයි. කරන මොහොතේ සතුටු විය
යුතුයි. ඉන් පසුව සතුටු විය යුතුයි. ඒ පිළිබඳ ව සිතන හැම මෙහොතක ම සතුටු විය යුතු
යි. එසේ නොවෙයි නම් එය සතුටක් නොවේ.
සතුට, දුක තිබුණේ අපගේ සිත තුළයි. සිත දුර ගමන් යන, තනි ව හැසිරෙන, ශරීරයක් නැති,
ගුහාවක වසන, සැලෙන (මාළුවෙක් වගේ ) චපල,රැකිය නොහැකි, ඉතා සියුම්, කැමති තැනක
ගිහින් වැටෙන, දැකිය නොහැකි (රූපමය හැඩයකින්) දෙයකි.
මේ සිත අතිශය අනර්ඝත්වයක් උසුලයි. සේරිවාණිජ ජාතකයේ රන් තැටිය හා සමානයි. සිටු ගෙදර
තිබුණ රන් තැටිය රන් තැටියක් බව එහි වාසය කළ අත්තම්මා හෝ මිණිබිරිය දැනගෙන සිටියේ
නැත. ඊට හේතුව මෙම රන් තැටිය කුනු , දූවිලි, දැළි බැඳී මළකඩ කා තිබූ බැවිනි.
වෙළෙන්දෝ දෙදෙන මෙය පරීක්ෂා කර බලා හඳුනා ගනියි. අපේ සිතත් මේ අයුරින් ය. ආසාව,
තරහ, ඊර්ෂ්‍යාව, මසුරුකම, රළු ගතිය, මානය, මත්වීම වැනි කුණු, දූවිලි, දැළි,
මළකඩවලින් අපේ සිතේ වටිනාකම වැසී ඇත.
සසල විලක පත්ලෙහි ඇති මැණික නොපෙනෙන සේ අපට අපගේ දියුණුව දැකිය නොහැක. පාට වතුර,
නටන වතුර.(උණු වී ), දිය සෙවල ඇති වතුර, බොර වතුර, කුණු රොඩු සහිත වතුර ඇති විට
විලක පතුලේ මැණිකක් තිබුණොත් දැකිය නොහැක. ඒ අයුරින්, ආසාව, තරහ, අලසකම,
නොසන්සුන්කම හා පසුතැවිල්ල, සැකය අපගේ සිත් තුළ ඇති විට දියුණුව නොපෙනේ. එහෙයින්
සිත් විල නිසල කර ගත යුතු යි.
සැප සතුට දිගට ම ලැබිය හැක්කේ එවිටයි. අපේ සියලු ක්‍රියාකාරකම් සඳහා, වචන සඳහා,
සිතිවිලි සඳහා, මුල්වන්නේ සිතයි. නායක වන්නේ සිතයි. සිතින් ම උපදී. යමෙක් ප්‍රසන්න
සිතකින් කරයි නම්, කියයි නම්, සිතයි නම්, ඒ අයට නිරන්තරයෙන් සතුට ලැබෙයි. දියුණුව
ලැබෙයි. සතුට යනු දියුණුවයි.
කෙනෙකුගේ දියුණුවේ පදනම සිත නම් ඒ සිත පිරිසුදු කර ගත යුතු යි. පෝෂණය කර ගත යුතුයි.
රැක ගත යුතුයි. ශක්තිමත් කර ගත යුතුයි. දියුණු කර ගත යුතුයි. සිත සකසන ක්‍රමවේදය
සම්මා සතියයි. කය, කයින් ලබන වේදනාව, කයෙහි වූ සිත, ලොවෙහි වූ ධර්මය කෙලෙස් නැති
නිරීම උදෙසා, අවබෝධයෙන් හා සිහියෙන් ලොවෙහි ඇලීම නැති කිරීම , ගැටීම නැති කිරීම
දැකීම සිත හදන ක්‍රමයයි.
දැක ජීවත්වීම යනු එහි යථාර්ථය දැකීමයි. විමසීමෙන්, අවබෝධයෙන් දැකීමයි. කය පවතින
ආකාරය, ඉරියව් විමසීම, කයින් කරන දේ විමසීම, කයින් කෙරෙන ආනාපානසතිය විමසීම, කයෙහි
කොටස් තුළ වූ පිළිකුල විමසීම හා අවබෝධය, කයෙහි වූ ශූන්‍යතාව විමසීම, උපතේ සිට මරණය
දක්වාත්, මරණින් පසුත් කය ලක්වන අනිත්‍යතාව විමසීම කය දැකීමයි. මේ යථාර්ථය නොදරන කය
සුබ වශයෙන් දැක ඒ කෙරෙහි මමත්වයක් ගොඩනැඟීම පුද්ගල හා සමාජ ගැටලුවට හේතුවයි.
මේ අයුරින් විඳින දේ හඳුනා ගත යුතු ය. සුඛ, දුක්ඛ, උපෙක්ඛා ආදි වූ වේදනාව විමසීම හා
අවබෝධය එය දැකීමයි. එහි හට ගැනීම, එය පැවතීම, නැතිවීම ස්වභාව කොට ඇත. පුද්ගල හා
සමාජ ගැටලුවට හේතුව එහි යථාර්ථය හඳුනා නොගෙන සුඛ වේදනා ළං කර ගන්නටත්, දුක්ඛ වේදනා
දුරු කරන්නටත් ගන්නා වෙහෙසයි. සිතත් මේ ලෙස විමසිය යුතු ය. සිත තුළ හට ගන්නා
සිතුවිලිවල ස්වභාවය ඒ අනුව ඒ සිත යහපත්, අයහපත් ලෙස බෙදීම, ඒ සිත විශ්ලේෂණය කිරීම,
ඒ සිත ක්‍රියාත්මක කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල අධ්‍යයනය, සිත කළමණාකරණය, සිත පාලනය, ඒ
සදහා යහපත් අනුස්සති භාවිතය, සිත දැක සිත තුළ ජීවත් වීමයි.
ලෝකය තුළ පවතින ස්වභාවය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව විමසීම, අවබෝධයෙන් දැකීම ධර්මය
තුළ ධර්මය දැකීමයි.
පුද්ගල හා සමාජ ගැටලු ඇතිවීමට, ආකූල ව්‍යාකූල වීමට,නොදියුණු බවට, පරිහානියට හේතුව
මෙලෙස නොදැකීමයි. මෙලෙස දකී නම් දියුණුව සතුට මෙලොව ලබයි. පරලොව ලබයි. නිවනින්
සැනසෙයි. |