Print this Article


සසර බිය දකිමින් දුරුකළ යුතු නීවරණ ධර්ම

සසර බිය දකිමින් දුරුකළ යුතු නීවරණ ධර්ම

නත්ථි කතමානී පඤ්චනීවරණානි කාමච්ඡන්ද නීවරණං ව්‍යාපාද නීවරණං ථීනමිද්ධ නීවරණං උද්ධච්ච කුක්කුච්ච නීවරණං විචිකිච්ඡානීවරණං ඉමානි පඤ්ච නීවරණානි
(විභංගප්පකරණ - ඛුද්දකවත්ථු විභංග)

පින්වතුනි,

මෙහි පඤ්චනීවරණයෝ කවරහු ද? කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්චකුක්කුච්ච නීවරණය, විචිකිච්චා නීවරණය යන මේවා පඤ්ච නීවරණ නම් වෙයි යනු ඉහත සඳහන් කළ පාලි පාඨයේ තේරුමයි.

නීවරණ යන වචනයේ තේරුම වළක්වන යන අදහස යි. එනම් කුසල් සිත් ඇතිවන්නට ඉඩ නොදී වැළැක්වීම යි. මෙහිදී විශේෂයෙන් ම ධ්‍යාන සිත් ආදිය ඉපදීමට ඉඩ නොදී වළක්වන ලද අකුසල ධර්ම නීවරණ නම් වේ. ඒ අකුසල ධර්ම නම් කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්චකුක්කුච්චය, විචිකිච්ඡාව යන කරුණු පහ යි.

කාමච්ඡන්දය

කාමය නම් පස්කම් සැපයෙහි බැඳුණු අධික රාගය යි. පස්කම් ගුණ නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පහයි. බැඳීම කරන නිසා මේවාට ගුණ යැයි ද කියනවා. සිත මේවගේ ඇළෙන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියන්ගේ මාර්ගයෙනි. ඇහැට රූපයක් හමුවන විට සිත එහි ඇලෙයි. මෙහි ඇස නම් අපිට පෙනෙන්නට තිබෙන චක්ඛු ඉන්ද්‍රියම නෙමේ. මෙහි පවත්නා පඨවී, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූත රූපයන්ගේ ඇති ඔප ගතිය චක්ඛුප්පසාදය නම් වේ. මෙහි දී අප ඇස යනුවෙන් හඳුන්වන්නේ එයයි.

එයට පෙනෙන රූපය නම් වර්ණායතනය නම් වෙයි. යමක ඇති පැහැයයි. “නීලං පීතං ලෝහිතකං” යනාදී වශයෙන් ඒ පැහැය ද නීලාදී වශයෙන් විවිධාකාර ය. එසේම යමක සටහන ද මෙයට ම එනම් රූපයට ම ඇතුළත් වේ. එබඳු රූපයක් හමු වූ විට ආලෝක මනසිකාර දෙකේ සහායෙන් පෙනුණු විට සිත එහි ඇලෙයි. කනට ශබ්දයක් ලැබුණු විට සිත එහි ඇලෙයි.මේ අයුරින් ධර්මානුකූල ව විස්තර කරමින් මෙය සුදුසු පරිදි සැලකිලිමත් ව අවබෝධ කර ගත යුතු වේ.

ව්‍යාපාදය

ව්‍යාපාදය යන්න ක්‍රෝධයට කියන නමකි. මේ ක්‍රෝධය ඇති වීමට, එය ඉපදීමට ප්‍රධාන වන කරුණු 10 ක් නිද්දේස පාළියේ අපට හමු වේ. තමාට අසවලා අවැඩක් කළේ ය. දැනුත් කරයි. ඉදිරියටත් කරන්නේ යැයි සිතීමෙන් ක්‍රෝධය උපදින ක්‍රම 03 කි. තමාට නැතත් තමාගේ මිතුරකුට එසේ අවැඩක් කළේ ය, කරයි, කරන්නේ යැයි සිතීමෙන් ක්‍රෝධය උපදින ක්‍රම 03 කි. තමාගේ සතුරකුට හිත වැඩක් කළේ ය, කරයි, කරන්නේ යැයි සිතීමෙන් ක්‍රෝධය උපදින ක්‍රම 03 කි. මෙම නවයට අස්ථාන කෝපය එකතු කළ විට 10 කි. අස්ථාන කෝපය නම් කෝප නොකළ යුතු සීතල, ඌෂ්ණය ආදිය ගැන කිපීම යි.

ක්‍රෝධයේ අනීවරණ අවස්ථාවක් නැත. එය හැමවිට ම ධ්‍යානයට ප්‍රතිවිරුද්ධ ය. එපමණක් ද නොව එය හැම යහපතකට ම ආවරණයකි. බාධාවකි. කෝපී තැනැත්තා පවු නිතර ම මතකයට නගා ගන්නේ අනුන් තමන්ට කළ බැණුම්, රිදුම්, දිනුම් ආදියම යි. එමෙන්ම ගින්නට පිදුරු දැමූ විට මෙන් ක්‍රෝධ ගින්න ඇවිලෙනවා මිසක නිවීමක් වන්නේ නැත. කිපුණු තැනැත්තා තමන්ගේ මවුපියන් පවා ඝාතනය අවස්ථා තිබෙනවා. මෙය එන්න එන්න ම වැඩි වන විට උත්සන්න වන, වැඩීමට ලක්වන දෙයකි.

කෝපය ඉපදීමටත්, උපන් කෝපය දියුණු වීමටත් හේතුව පටිඝ නිමිත්ත හෙවත් ගැටෙන අරමුණක් හමු වූ විට නුවණින් එය මෙනෙහි කිරීම යි. ඒ බව නොයෙක් බුදු වදන්වලින් ම අපිට පැහැදිලි වේ.

ඉවසීම මහා බල ඇණයකි. ඉවසීමට වැඩි තරම් වෙන යහපතක් නැත. “ඛන්තී පරමං තපෝ” ඉවසීම උතුම්ම තපෝ ගුණයයි. කර්ම කිරීමෙන් ඒ කළ අයට ම විපාක ද ලැබෙයි.

කොයිදෙයක් වුණත් නුවණින් සිතා බැලීම, සුමගට හරවන කල්‍යාණ මිතුරන් ඇති බව, කෝපය නිවෙන, මෛත්‍රිය ඇසුරු කළ කතා අසන්නට ලැබීම යන මේ කරුණු ද ක්‍රෝධය සංසිඳවීමට ඉවහල් වේ.

ථීනමිද්ධය

මෙහි ථීනය සහ මිද්ධය යනුවෙන් කොටස් දෙකකි. චෛතසික දෙකකි. චෛතසික නම් සිතේ ඇතිවන චිත්ත ගතිය යි. සිත සමඟ ඉපදෙන නිරුද්ධ වන ඇස ආදී එකම වස්තුවක සිත ගත් අරමුණේ ම එල්ලෙන ස්වභාවය චිත්ත ගතිය නම් වේ. මේ දෙක කිසි විටෙක කුසල් ආදී වෙන සිතක නො යෙදේ.

සිතේ ස්වභාවය අරමුණක එල්ලීම යි. ඒ අරමුණු රූපාදී ලෙස විවිධාකාර වේ. යම් සිතක ථීනය යෙදුනොත් එය අරමුණු ගැනීමෙහි පසුබැසීමක් ඇති කරයි. “අනුස්සහනාව සීදන වසේන සංහත භාවෝ” කියූ ආකාරයෙන් උත්සාහ නො කිරීම පසුබැසීම් ආදී වශයෙන් කැටි වූ ගතිය ථීන නම් වෙයි. කෙටියෙන් කීවොත් මෙය සිතේ අලස බවයි.

ථීනය ඇති හැම සිතක ම මිද්ධය පවතී. ඒ සිත යෙදෙන චෛතසිකයන්ගේ මැලි බව, අකර්මණ්‍ය බව මිද්ධ වේ. මේ දෙකම ධ්‍යානාදී උසස් ධර්මවලට බාධක වේ.එබැවින් නීවරණ නම් වෙයි.

නූපන් ථීනමිද්ධ ඉපදීමටත්, උපන් ථිනමිද්ධ බහුල වීමටත් හේතුවන ධර්ම ඇති බව ද දේශනා කර ඇත. එහි අරතිය නම් කුසල් දහම්වල නො ඇල්මයි. තන්දිය නම් අලස බවයි. විජම්භිකා නම් ඇඟමැලිකම යි. භත්තසම්මදය නම් බත් මතය යි. ලීනත්තය නම් සිත හැකිලීම යි. මිද්ධය ශරීරයටත් බලපාන ධර්මයකි. ඒ වැඩ කිරීමට මැලිකම උපදවන නිසා ය. එයට අලසකම යැයි කියනු ලැබේ.

මේ අලසකම බුදු සමයේ සියලු අභිවෘද්ධියකට ම බාධාවකි. ආවරණයකි. අලසකම පිරිහීමට මඟකි. ශිල්ප ඉගෙනීමට බාධාවකි. නිසි කල ඉගෙනීමක් නොකළ කෙනෙකුට මතු දියුණුවක් නැත. අලසයා නිසි රැකියාවක් නො කරයි. එයින් ඔහුගේ දිවි ගෙවුම අපහසු වේ. එබඳු තැනැත්තා නො දැනුවත්ව ම වැටෙන්නේ අගාධයකට යි.

ආරම්භක ධාතු, නික්ඛම ධාතු, පරක්කම ධාතු යන මේවා ථීනමිද්ධය මැඬපැවැත්වීමට හේතු වන ධර්ම වේ. මේ තුනෙන් ම විස්තර කොට ඇත්තේ වීර්යයේ අවස්ථා තුනකි. ආරම්භක ධාතුව නම් යමක් කිරීමට පටන් ගන්නා වීර්යය යි. ඇතැම් අයට මෙය නැත. ඇතැම් අයට නික්ඛම ධාතු, පරක්කම ධාතු නැත. නික්ඛම ධාතු නම් වැඩක් කර ගෙන යනවිට ඇති වන කම්මැලිකමෙන් සිත මුදවා ගැනීමට ගන්නා වීර්යයි. පරක්කම ධාතුව නම් වෙනත් බාධක මැඩගෙන කටයුත්ත දෙසට ම සිත ගෙන යන වීර්ය යි. කටයුත්තක් නිසි ලෙස නිම කිරීමට නම් මේ තුන් ආකාරයේ වීර්යය අවශ්‍ය වේ.

ථීනමිද්ධ නැති කිරීමට හේතු වන කරුණු නම් අධික භෝජනයෙන් වෙන්වීම, ඉරියව් විටින් විට මාරු කිරීම, ආලෝක සඤ්ඤා මෙනෙහි කිරීම, එළිමහනේ විසීම, කල්‍යාණ මිතුරන් ඇසුරු කිරීම, ධුතංග පිළිබඳ දැහැමි කතා ඇසීම යන කරුණු හයයි.

උද්ධච්චකුක්කුච්ච

මෙහිදී උද්ධච්චය ලෙස හඳුන්වන්නේ සිතේ නොසන්සුන් බවයි. ඇවිස්සුණු දූවිලි ආදිය උද්ධත නම් වේ. ඇවිස්සුණු බව උද්ධච්චය යි. අළු ගොඩකට ගලකින් ගැසූ විට එය ඇවිස්සෙයි. එසේම සිතේ ඇවිස්සුණු නො සන්සුන් ගතිය උද්ධච්ච නම් වේ. කුක්කුච්චය නම් කුසල් නොකළ බව සිතීමේ දී ඇතිවන විපිළිසර ස්වභාවය හෙවත් පසුතැවිල්ලයි. වෙන් වෙන් චෛතසික දෙකක් එක් කොට එක් නීවරණයක් සේ වදාළේ මුලිනුත් කී පරිදි මොවුන්ගේ සමානත්වය නිසා ය.

මේ දෙකෙන් ම කරන්නේ සිතේ නො සන්සුන් බව ඇති කිරීම යි. මේ දෙකම ඇතිවීමට හේතුව වස්තු හානි, රෝග, විපත් ආදිය මෙනෙහි කිරීම යි.

මේ දෙකට ම විරුද්ධ දේ සමාධිය යි. සිතේ එක්තැන් බවයි. බහුශ්‍රැත බව, කැප අකැප දෙය පිළිබඳ දැන ගැනීම, විනයෙහි දක්ෂ බව, නුවණින් වැඩිහිටියන් සේවනය කිරීම, කලණ මිතුරු ඇසුර, යහපත් කථා යන මේ කරුණු 06 උද්ධච්චකුක්කුච්චය නැති කිරීමට හේතුවන කරුණු ලෙස දැක්විය හැකි ය. සිත කලබල කර ගැනීම, පසුතැවිල්ල ධ්‍යානාදියට බාධක වේ. එබැවින් මෙය නීවරණ නම් වේ.

විචිකිච්ඡාව

විචිකිච්ඡාව යනු සැකය යි.මෙහි ප්‍රධාන වශයෙන් ගැනෙන්නේ බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන කෙරෙහි ඇතිවන සැකයයි.මේ ආකාරයෙන් සැකය සහිත ව ධ්‍යානාදියට පත්විය නොකැකි ය.එහෙයින් සැකය නීවරණයකි. ස්වභාවය සොයමින් සිත වෙහෙසවන නිසා සැකයට විචිකිච්ඡාව යැයි කියනු ලැබේ. තවත් අයුරකින් විචිකිච්ඡාව යනු ප්‍රතිකාරය යි.එනම් බෙහෙත් පිළියම් කිරීමයි. නුවණ නැමැති පිළියමක් යමකට නැත්නම් එබඳු සැකය විචිකිච්ඡාව නම් වේ.

විචිකිච්ඡාව ඇතිවීමට බලපාන ප්‍රධානම හේතුව වන්නේ අයෝනිසෝ මනසිකාරයයි. අයෝනිසෝ මනසිකාරය නම් වැරැදි විදියට මෙනෙහි කිරීම යි. යෝනිසෝ මනසිකාරය නම් නුවණින් මෙනෙහි කිරීම විචිකිච්ඡාව මැඬ පැවැත්වීමට හේතු වන කාරණාව යි.

එනම් බොහෝ ධර්මය උගත්බව, තෙරුවන් පිළිබඳ නුවණින් විමසා අවබෝධ කර ගෙන තිබීම, විනය උගත්බව, තෙරුවන්හි සැදැහැය බහුල බව, කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, තෙරුවන් ගුණ පිළිබඳ කථා නිතර ඇසීම යනාදිය මෙය වැළැක්වීමට හේතු වන කරුණු වෙයි.

මේ පඤ්ච නීවරණ ධර්ම හැම කුසල චිත්තයකට ම බාධා පමුණුව යි. කුසල සිත් ඉපදීම වළක්වයි. විශේෂයෙන් ධ්‍යානාදී උසස් කුසල සිත් ඇති වීම වළක්වයි. ප්‍රථම ධ්‍යානයට මුලින් ම ලැබෙන උපචාර ධ්‍යානයේ දී කාමච්ඡන්ද ආදී නීවරණයන් යටපත් වේ. නීවරණ ප්‍රහීණ නොවී තිබුණා නම් ප්‍රථම ධ්‍යානය පහළ නොවේ.

පඤ්ච නීවරණයන්ට පිළිවෙළින් ඒකග්ගතා - පීති - විතක්ක - සුඛ - විචාර යන ප්‍රථම ධ්‍යාන පහ ප්‍රතිවිරුද්ධ වේ. අඳුර සහ එළිය දෙක ම එක තැන නොතිබෙන්නාක් සේ නීවරණ හා ධ්‍යානාඬ්ග එක සිතක නො යෙදේ.

නීවරණ පහක් යැයි කී නමුත් වෙන් වෙන් ධර්ම වශයෙන් ගතහොත් එහි චෛතසික 07 ක් තිබේ. මේ නීවරණ ප්‍රඥාවට ද ආවරණයකි. සිහි නුවණට නීවරණ බාධක බව අංගුත්තර නිකායේ සංගාරව සූත්‍රයෙන් පැහැදිලි වේ. එහි සාරාංශය මෙසේ ය.

මේ අනුව බලන විට නීවරණ මනා සිහි නුවණට ද ආවරණ වන බව පැහැදිලි වේ. ඒවා ධ්‍යානාදියට පමණක් නොව මෙලොව පරලොව දෙකෙහි හැම යහපතකට ම බාධා පමුණුවයි. එබැවින් දෙලොව යහපත කැමති ඇත්තෝ නීවරණ මැඩපැවැත්මට හේතු වන දහම් කරණු අනුගමනය කරත්වා. කුසල් දහම් නිතර සිදුකොට දෙව් මිනිස් සුවය හා නිවන් සුව ලබත්වා.