Print this Article


අභියෝග ඉදිරියේ ව්‍යාකූල වෙන්න එපා

අභියෝග ඉදිරියේ ව්‍යාකූල වෙන්න එපා

අප ජීවත්වන වටපිටාව හරිම සංකීර්ණයි. ගැටලු, ප්‍රශ්නවලින් පිරිලා. යහපත් ව ජීවත්වීම පහසු නෑ. ඒත් යහපත් මව්පියන්ගේ මඟ පෙන්වීමෙන්, යහපත් වූ ගුරු ඇසුරකින්, මනාව ශිල්ප ඉගෙනීමෙන්, අධර්මයට පිටුපා ධර්මානූකූල වීමෙන් මොනතරම් ප්‍රශ්න, කරදර මැද වූවත් සාමකාමී ව ජීවත් වීමට හැකියාව ලැබෙනවා.

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වසන සමයේ අකාලරාවී නම් වූ භික්ෂුවක් සිටියා. උන්වහන්සේ බුදු සසුනේ පැවිදි වූව ද වත් පිළිවෙත්, රැකිය යුතු සිල්පද ද ඉගෙන ගත්තේ නැහැ. ඒ වගේ ම මේ වත් පිළිවෙත් සිදු කරන කාලයයි, මේ ගුරු උපස්ථාන සිදු කරන කාලයයි, මේ ධර්මය හදාරන කාලයයි. මේ භාවනා කරන කාලයයි. ආදී කිසිදු කාලයක් පිළිබඳ වැටහීමක් තිබුණේ ද නෑ.

රෑ මැදියමේ අවදි වූව ද, මහත් වූ ශබ්ද නඟනවා. ක්‍රමවත් ව කාල සටහනකට අනුව කටයුතු කරන භික්ෂූන් වහන්සේට මේ හැසිරීම මහත් කරදරයක් වුණා.

දිනක් භික්ෂූන් වහන්සේ පිරිසක් “අසවල් භික්ෂුව මේ බුද්ධ ශාසනයේ පැවිදි වූූව ද වත් පිළිවෙත් පුරන්නේ නෑ. රැකිය යුතු සිල් පද දන්නේ නෑ. වෙලාව අවේලාව දන්නේත් නෑ යි පවසමින් ගැටලු සහගත තත්වය පිළිබඳ සාකච්ඡා කරමින් සිටියහ.

බුදුරජාණන් වහන්සේ මේ භික්ෂු පිරිසගෙන් විචාළේ කුමක් පිළිබඳ සාකච්ඡා කළේ ද යන්නයි. එවිට පැන නැඟී ඇති ගැටලුව පිළිබඳ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට කරුණු පැහැදිලි කළා.

බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේ දී එම භික්ෂුවගේ පෙර භවයත්, මේ භවයත් ගෙනහැර දක්වමින් මහණෙනි, මේ භික්ෂුව අද පමණක් නොවෙයි කළ නොකළ යුතු දෙය නොදැන ඝෝෂා කළේ. පෙරත් එසේමයි. වෙලාව, අවේලාව නොදන්නාකම නිසා ගෙල මිරිකවාගෙන මරණයට ද පත්වූවා යි දේශනා කොට වදාළා.

අතීත කතාවට අනුව බරණැස් නුවර බඹදත් නම් රජකු රාජ්‍ය කරන කාලයයි. එදා අප මහා බෝසතාණන් වහන්සේ එක්තරා බමුණු කුලයක ඉපදී සිටියා. වැඩිවිය පැමිණ සියලු ශිල්ප ශාස්ත්‍ර හදාරා පරතෙරට පැමිණි කල දිසාපාමොක් ඇදුරු පදවියත් ලබා ගත්තා. ඇදුරු තුමාගෙන් සිසුන් පන්සියයක් ශිල්ප ලබා ගත්තා.

මේ ශිෂ්‍ය පිරිස කුකුළෙක් ඇති කළා. හැමදාම නියමිත වෙලාවට හඬලන කුකුළාගේ හඬටයි ශිෂ්‍යයන් අවදි වී ඉගෙනීම් කටයුතුවල යෙදෙන්නේ. වත්පිළිවෙත් හි යෙදෙමින් ක්‍රමානුකූල ව දවසේ කටයුතු සිදු කරන්නේ.

කාලයක් ගත වුණා. මේ කුකුළා මිය ගියා. සිසුන්ට අහිමි වුණේ වෙලාව දැන ගැනීමට තිබූ පහසු ම ක්‍රමයයි. මේ නිසා සිසුන් වෙනත් කුකුළකු සොයන්නට වුණා. දිනක් දර කැඩීමට ගිය සිසුන් පිරිසට සොහොන් බිමක සිටි කුකුළකු හමු වුණා. ඒ කුකුළා රැගෙන විත් කූඩු කර ඇති දැඩි කළා.

කාලයක් සොහොන් බිමෙහි හැදුණු නිසා වැඩිහිටි කුකුªළන්ගෙන් ලැබිය යුතු පළපුරුද්ද මේ කුකුළාට තිබුණේ නෑ. මේ නිසා උදේ හැඬලිය යුතු නියමිත වෙලාව දන්නේ නැහැ. දවසක් රාත්‍රි දොළහට තටු ගසා හඬලනවා. එදා මේ සිසුන් කලින් අවධි ව පාඩම් කටයුතු කරන විට නිදිකිරා වැටෙන්නට වුණා. තවත් දවසක හිරු එළිය වැටුණ පසු හඬලනවා. එදිනට නියමිත වැඩ කරන්නට සිසුන්ට කාලය ප්‍රමාණවත් වන්නේ නෑ. කුකුළාගේ හැඬලීම සිසුන්ට මහත් වූ කරදරයක් වුණා.

මේ සියලු කරදර නියමිත වෙලාවකට හඬලන්න දන්නේ නැති කුකුළා නිසා යැයි සිසුන් කෝප ව කුකුළාගේ ගෙල මිරිකා මරා දැමුවා. මේ බව දැනගත් ගුරුතුමා පැවසුවේ නියම ගුරු ඇසුරක් නො ලැබූ නිසාත්, මව්පිය ඇසුරකින් තොරව හැදුණු වැඩුණු නිසාත්, කුකුළු රංචුවක් ලෙසින් ඇසුරක් නො තිබූ නිසාත් මේ කුකුළා වෙලාව, අවේලාව නොදත් බවයි.

බලන්න එදා මේ කුකුළා හැදුණු වැඩුණු ආකාරයයි, මෙදා අකාලරාවි නම් වූ භික්ෂුව හැදුණු වැඩුණු ආකාරයයි අතර වෙනස. අපේ ජීවිතත් ඒ වගෙයි. යහපත් මව්පිය ඇසුර, අවවාද අනුශාසනා, ආදරය, රැකවරණය නොලැබුණොත් අපේ ජීවිතත් වල්මත් වෙනවා. කළ යුතු, නොකළ යුතු දේ, ජීවිත පිළිවෙත තේරුම් ගන්නට නොහැකි ව, නො කටයුතු දේ කිරීම නිසා ජීවිතය පවා විනාශ වෙන්නට පුළුවන්.

කුරුලු ලෝකය දෙස බලන්න. කුරුලු පැටවුන් බිහි වූ දා පටන් සෑහෙන කාලයක් යන තුරු ම ඒ පැටවුන්ට මව්පියන් කෑම සොයා දෙනවා. සතුරන්ගෙන් ආරක්ෂා කරනවා. පැටවුන්ට විපතක් වෙන විට විලාප නඟනවා. එලෙස පිහාටු ශක්තිමත් වනතුරු ඔවුන් රැක ගන්නේ. පැටවුන් කුරුලු මව්පියන් අනුව ජීවිතය ඉගෙන ගන්නවා. අනතුරුවලින් රැකෙනවා. ඒ වගේ ම ගුරු ඇසුරක් නොලබා වැඩීමත් භයානකයි. ශිල්ප ශාස්ත්‍රය මෙන් ම ආචාර සමාචාර හොඳින් ඉගෙනීමත් අවශ්‍යයයි. පූර්ණ මිනිසෙක් වීමට අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. මේ පරිසර සාධක සියලු දෙනාට ම එක හා සමනා ව බලපානවා. කෙනකුගේ හොඳ නරක දෙකට ම පරිසරයේ බලපෑම ඉතා ප්‍රබලයි..

සත්තිකුම්භ ජාතක කතාවේ ගිරා පැටව් දෙදෙනාගේ හැසිරීමට බලපෑවෙත් පරිසරයයි. එක් පැටවෙක් තාපසයකු මෙන් යහපත් වචන කතා කරන්නටත්, අනෙක් පැටවා සොර සතුරන් සේ අමිහිරි වචන භාවිතයටත් හුරු වුණේ පරිසරයේ බලපෑම නිසයි. තවුසාගේ කුටියත්, හොරු රංචුවගේ ගල් ගුහාවත්, ගිරා පැටව් දෙදෙනාගේ වැඩීම කෙරෙහි මොනතරම් බලපෑමක් කළා ද යන්න තේරුම් ගත යුතුයි.

ඒ වගේ ම කළ යුතු, නොකළ යුතු දේ ගලපා ගැනීම ජීවිතයට අත්‍යවශ්‍යයයි. කුකුළා හොඳ කාල ඝෝෂකයෙක්. හිමිදිරි පාන්දර අත්තටු ගසා හඬලන හඬ සෑහෙන දුරකට ඇසෙනවා. ඒ වගේ ම වැඩිහිටි කුකුළන්ගේ හඬ අනුකරණය කරමින් තමයි මේ බාලයන් හැඬලීමට පුරුදු වෙන්නේ. ඒත් අර සොහොන් බිමේ හැදුණු කුකුළාට එහෙම ශික්ෂණයක් නැහැ. ඒ නිසා වෙලාව, අවේලාව පිළිබඳ හැඟීමක් නැහැ. ඒ නිසා හිතුණ හිතුණ වෙලාවට හඬලන්න පටන් ගත්තා. කළ නොකළ දේ පිළිබඳ මනා වැටහීමක්, ශික්ෂණයක් නැති නිසා අකාලයේ මැරුම් කන්නට සිදු වුණා.

අපේ ජීවිතයට මේ පාඩම සසඳා බලමු. දරුවෙක් කුඩා අවධියේ සිට පුරුදු විය යුතු නියමිත වෙලාවට වැඩ කිරීමටයි. ඒ වගේ ම හැම වැඩක ම පිළිවෙළක් තිබිය යුතුයි. දෛනික ව, මාසික ව, වාර්ෂික ව ආදී ලෙස සැලසුම් කිරීම වගේ ම ඒවා නියමිත පරිදි ක්‍රියාත්මක කිරීමත් අත්‍යවශ්‍යයි. දවසක් තුළ සිදු කළ යුතු වැඩ කොටස කාල සටහනක් අනුව සිදු කිරීම මෙහි දී ඉතා ප්‍රයෝජනවත්. එවිට අතපසුවීම් - අමතකවීම් සිදු වන්නේ ද, අද කළ යුතු දේ හෙටට ඉතිරි වන්නේත් ද නෑ. ඒ දියුණුවේ ඇරඹුමයි.

අකාලරාවී නම් වූ භික්ෂුව මේ බුද්ධ ශාසනයේ පැවිදි වූවත් එහි ඉගැන්වෙන පාඩම් ගැන අවබෝධයක් නෑ. කාල සටහනක් අනුව වැඩ කළේ නෑ. විනයට ශික්ෂාවට අනුව හැඩගැසුණේ ද නෑ. අන්‍යයන්ට සුළු හෝ කරදරයක්, පීඩාවක් නොවන ආකාරයෙන් හැසිරීම පුහුණු වූයේත් නෑ. කිසිදු හැඩගැසීමකින් තොරව උස් මහත් වූවා පමණයි. ඒ නිසයි ඒ හිමිගෙන් අනෙක් භික්ෂූන් වහන්සේට පීඩා වූයේ.

ගිහි සමාජයටත් මෙය පොදුයි. දරුවකු වූව ද හොඳ පුරුදු, ගතිගුණ නොමැති ව වැඩුණේ නම්, ඔහු තමන්ටත් විපතක්. සමාජයටත් කරදරයක්.

මේ සමාජයේ නොහැදිච්චකම් නිසා වැනසෙන අය මොනතරම් නම් ඉන්නවා ද? සිර ගෙවල්වල දුක් විඳින අය, පෝරකයට නියම වූ අය පමණක් ම නොවෙයි. සමාජයෙන් නින්දා - අපහාස විඳිමින් දුක් පීඩා ලබන අය අප්‍රමාණයි. කුකුළාගේ හැඬලීම බොහෝ දෙනා ප්‍රිය කළත්, එය නිවසකට වාසනාවක් ලෙස සැලකුවත් මේ කුකුළා මරා දමන තැනට අර ශිෂ්‍යයන්ගේ සිත් දරුණු වූණේ කුකුළාගේ නොහැදිච්චකම නිසයි.

එසේ නම් අපත් මව්පියන්ගේ, ගුරුවරුන්ගේ, වැඩිහිටියන්ගේ, පැවිදි උතුමන්ගේ අවවාද අනුශාසනා ලබමින්, ඒවාට ගරු කරමින්, කීකරුව හැදී වැඩුණොත් අපගේ දියුණුව සැලසෙනවා. එපමණක් නොව සමාජ සුබසිද්ධියටත් එය හේතු වනවා.