Print this Article


සුගති ලොව උපත ලබන්නට හැම කාන්තාවකට ම පුළුවන් ද?

සුගති ලොව උපත ලබන්නට හැම කාන්තාවකට ම පුළුවන් ද?

මේ සම්බුද්ධ ශාසනයේ පිහිට, පිළිසරණ ලැබූ පිරිස වන්නේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස යි.

ඒ අතරින් ගිහිගෙදර ගතකරමින් නොයෙක් තාඩන පීඩන දුක් කරදරවලට කායික ව හා මානසික ව ගොදුරු වෙමින් ධර්මයේ හැසිරෙන කාන්තාව විශේෂයි. මේ ලක්දිව එවැනි කාන්තාවෝ එදත් සිටියා. අදත් සිටිනවා. කිසිදෙයක් නොදන්නා හැඳිමිටේ නුවණ පමණක් හිමි කාන්තාවකට මෙවැනි ගම්භීර ධර්මයක් අවබෝධ වේවි ද කියලා කෙනෙකුට සිතෙන්නට පුළුවන්. එහෙත් මනා ලෙස සිත එකඟ කර ගත් ඇයටත් පුළුවන්කම තිබෙනවා මේ ඝෝර සසරින් එතෙරට යන්න.

අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි කාලයේ සෝමා නම් රහත් තෙරණින් වහන්සේ නමක් වනාන්තරයේ ගසක් මුල භාවනාවෙන් වැඩ සිටියා. එවේලෙහි පවිටු මාරයා එතුමිය දුටුවා. වහාම තෙරණිය වෙත ගොස් කියා සිටියා.

“ඒයි මෝඩ තැනැත්තිය, මේ කැලයේ ගසක් යටට වෙලා මොකද කරන්නේ? හැඳිමිටේ නුවණ තිබෙන නුඹවන් ගැහැනුන්ට පුළුවන්ද මේ භයානක සසරින් එතෙර වන්න.”

ඒ වෙලාවේ සෝමා තෙරණිය දුන් පිළිතුරෙන් මාරයා පළා ගියා.

බහුශ්‍රැත වූ, ධම්මානුධම්ම පටිපන්න වූ උපාසිකාවන් නිසාත් මේ බුද්ධ ශාසනය බැබළුණා. යම් කාන්තාවක් බුදුරජාණන් වහන්සේ සරණ ගොස් ශ්‍රාවිකාවක් බවට පත් වුණොත් ඒ හැම දෙනා ම නිදා පිබිදියාක් මෙන් සුගති ලොව උපත ලබනවා.

ලස්සන ම අම්මා, නැත්නම් කාන්තාව අපට හමුවෙන්නෙත් මේ බුද්ධ ශාසනය තුළම යි. ඈ විශාඛාව යි. ඇයගේ ජීවිතය දෙස බලද්දී අපට සිතෙනවා ඇයගේ ඉවසීම, මෛත්‍රිය, පිරිපුන් බව කෙතරම් ද කියලා. විශාඛා විවාහ වෙලා ස්වාමියාගේ නිවසට යන දවසේ ඇයගේ පියා අවවාද දහයක් දුන්නා. ඒ අවවාද අහලා විශාඛා රැකුණා. අද පවා යම් දියණියක් විවාහ වෙලා යන අවස්ථාවේ ඇයට ඒ අවවාද අහන්නට ලැබුණොත් ඇයත් රැකේවි. ජීවිතයට එන ප්‍රශ්න ඉදිරියේ ඉවසාවි. අන් අයට මෛත්‍රිය වඩාවි. පිරිපුන් ලෙස ප්‍රශ්නවලට විසඳුම් සොයාවි.

විශාඛා කවදාවත් නපුරු වචන කිව්වේ නැහැ. පි‍්‍රයවචනයි පුරුදු වුණේ. ස්වාමියාට පි‍්‍රයමනාප ලෙස හැසිරුණා. එතකොට ඒ නිවසේ එකටඑක කීම, ගැස්සිලි, එරවිලි, සාධාරණ, අසාධාරණකම් ඉස්මතු වන්නේ නැහැ. ඒ වගේ විශාඛා සැමියාගේ මවුපියන්ට, ගුරුවරුන්ට ඔවුන් සත්කාර කරන ශ්‍රමණවරු සිටීද, ඒ සියලු දෙනාට ගරු කළා. සත්කාර කළා. වතාවත් කළා. ඇය අලස තැනැත්තියක් නොවේ. සැමියා ඉපයූ ධනය ආරක්ෂා කළා. සුරාවට, සූදුවට, වැරැදිකාම සේවනයට, සොර වැඩවලට ඒ මුදල් යෙදවූයේ නැහැ. විශේෂයෙන් ම ඇය බුද්ධ, ධම්ම, සංඝ සරණ ගොස් සිටි උපාසිකාවක් ලෙස ජීවත් වුණා.

අදත් අප සමාජයේ යම් කාන්තාවක් මේ ආකාරයට කටයුතු කරනවා නම් ඇයටත් චෝදනා, ආරවුල්, ප්‍රශ්න බොහෝ විට අඩුවෙන්න පුළුවන්. ඒ අය පුරුදු කරන යම් ගුණයක් නිසා.

මේ ලෝකයේ ජීවත්වන සෑම අම්මා කෙනෙක් ම හිමවත් පව්ව වගේ. ඒ හිමවත් පව්ව වටේ සිටින දරුවන්, සැමියා, මවුපියෝ නෑ හිතමිතුරන් සියලු දෙනා ම ඇයගේ ශක්තිය නිසා ධර්මයට එනවා. නමුත් අද වන විට නම් ඇතැම් මවුවරුන්ගේ ක්‍රියාදාමයන් අන්අයට වෙහෙසකරයි.

භාග්‍යවතුන් වහන්සේට පහන දල්වන්නට අම්මා දරුවන්ට පවරනවා. එය නො කෙරුණොත් ඇය කිපෙනවා. ඇය පහන දැල්වුවොත් ඒ පින ඇයට යි. දරුවා පහන දැල්වුවොත් ඒ පින දරුවන්ට යි. නිවසක මවකට පුළුවන් නම් මල්, පහන් පුදා තෙරුවන් වන්දනා කරලා, සෙත් පිරිත් සජ්ඣායනා කරලා මෙත් සිත පැතුරුවන්නට ඒ අම්මා දෙස බලා සිටින දරුවා ද එය පුරුදු පුහුණු වෙනවා.

අදත් මේ සමාජයේ ඇතැම් මවුවරු සිටිනවා උදේම අවදිවෙලා බුදුගුණ අසා දවස පටන් ගන්න. එදිනෙදා දරුවන්ගේ, සැමියාගේ, නෑදෑ මිතුරන්ගේ සියලු වගකීම්, යුතුකම් ඉටුකරනවා. රැකියාවටත් යනවා. සියලු කටයුතු සතුටින් කරනවා. සවස සියලු වැඩ අවසන් කොට බුද්ධ වන්දනාව කරනවා. රාත්‍රි දේශනාවක් ශ්‍රවණය කරනවා. වසරකට දින 365යි. ඇය වසර පහක් මේ දේ පුරුදු කළොත් කෙතරම් ධර්මය අසා තිබෙනවා ද? කී වතාවක් බුද්ධ වන්දනා කර තිබෙනවා ද?

ඒ වෙලාව ඇය රූපවාහිනියට හෝ ජංගම දුරකතනට හෝ යට වී සිටියා නම් මේ තාක් ඇසු ධර්මය ඇයට ඇසෙන්නේ නැහැ. මේ තාක් බුද්ධ වන්දනාවෙන් රැස්කර ගත් පින ද අහිමි වෙනවා. අනවශ්‍ය විකාර දර්ශන බලා තමාගේ සිතත් අවුල් කරගෙන නින්දට යන මොහොතේ පවා තිබෙන පහසුව අහිමි කර ගන්නවා.

මේ බුද්ධ ශාසනයේ ඕනෑතරම් සුගති ලෝකවල උපත ලැබූ ශ්‍රාවිකාවෝ සිටියා. කාන්තාවකට සුගති ලෝකයක දොරටු ඇරෙන්නේ කොහොම ද? ඒ සම්බන්ධ ව සුන්දර දේශනාවක් තිබෙනවා. අනුරුද්ධ මනාපකායික සූත්‍රය නමින්.

ගෞතම බුදු සසුනේ වැඩ සිටින මහා සූරවීර දිවැස් තිබෙන ශ්‍රාවකයන් වහන්සේ නමක් තමා අපගේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ. උන්වහන්සේට ඕනෑම දෙයක් දිවැසින් දකින්නට පුළුවන්. දිනක් උන්වහන්සේ වෙත දිව්‍යාංගනාවෝ පිරිසක් පැමිණ වන්දනා කළා. ඉතා අලංකාර ව බැබළි බැබළී සිටි මේ දිව්‍ය පිරිස පෙර ජීවිතයේ මිනිස් ලොව ඉපද තෙරුවන් සරණ ගිය ශ්‍රාවිකාවන් පිරිසක්. තමන් කැමැති ඕනෑම වර්ණයක්, ස්වරයක්, සැපයක් මවා ගැනීමේ හැකියාව ඔවුන්ට තිබුණා.

ඔවුන් මනුස්ස ලෝකයේ නොයෙක් ආකාරයෙන් තිබෙන, කැමැති, කැමැති පින් කරලයි මනාපකායික දෙවියන් අතර උපන්නේ. මේ දිව්‍යාංගනාවෝ ඔවුන්ගේ ආනුභාවය තෙරුන් වහන්සේට පවසද්දී උන්වහන්සේ සිතුවා මොවුන් කහපාට වේවා! සිතූ පමණින් ඔවුන් කහ පාටින් බැබළුණා. මොවුන් සුදුපාට වේවා’යි සිතූ පමණින් සුදුපාට වුණා. සවස් කාලයේ අනුරුද්ධ තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කර මෙසේ අසා සිටියා.

“ස්වාමීනි, යම් ස්ත්‍රියක් කවර ආකාර ධර්මයන්ගෙන් යුක්ත වුණොත් ද කය බිඳී මරණින් මතු සුගති ලෝකයේ මනාපකායික දෙවියන් අතර ඉපදෙන්නේ. (මනාපකායික දෙව්ලොව කියන්නේ නිම්මාණරතී දෙව්ලොවයි.)

ස්ත්‍රියක් නිරන්තරයෙන් ගුණධර්ම පුරුදු කළොත් ස්ත්‍රිත්වය ඉක්මවා චාතුම්මාහාරාජිකය, තව්තිසාව, යාමය, තුසිතය යන දිව්‍යලෝක ඉක්මවා නිම්මාණරතී දෙව්ලොව ඉපදෙන්නට අවස්ථාව තිබෙනවා.

ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාළා, “පින්වත් අනුරුද්ධ, යම් ස්ත්‍රියක් නිසි වයසේ විවාහ වී ස්වාමියාගේ නිවසට ගොස් කීකරු ව වාසය කළ යුතු වෙනවා. ස්වාමියාට පළමුව අවදිව, නිවසේ තිබෙන සියලු වැඩකටයුතු සොයා බලා, සියලු දෙනාට පසුව නින්දට යායුතු වෙනවා.

ඇය නිතර ම ස්වාමියාට පි‍්‍රයමනාප වචන වගේ ම පි‍්‍රයමනාප හැසිරීමෙන් ද විය යුතු වෙනවා. එසේ ගුණධර්ම වැඩූ ස්ත්‍රියක් නිම්මාණරතී දෙව්ලොව උපත ලබනවා.

ඒ වගේ ම ස්වාමියාගේ මවුපිය, ගුරුවර, වැඩිහිටියන්, ශ්‍රමණ බ්‍රාහ්මණවරු සිටිනවා ද ඒ පිරිසට ද සලකනවා. ගරු කරනවා.

ඇය නිවසේ සියලු කටයුතුවල දක්ෂ වෙනවා. කම්මැලි නොවී සියලු කටයුතු සොයා බලා නුවණින් කල්පනා කර තැනට සුදුසු දේ කරනවා. ඇයද මනාපකායික දෙව්ලොව උපත ලබනවා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා ඇය තම ස්වාමියා යටතේ යම් සේවකයෝ, මෙහෙකරුවෝ, දැසි දස්සෝ සිටිනවා ද ඔවුන් ගැන සොයා බලනවා. අවශ්‍ය යුතුකම් ඉටු කරනවා.

ඒ වගේ ම ස්ත්‍රියක් ස්වාමියා යම් ධනයක් රැස්කරනවා ද? මුදලක් උපයනවා ද? ඒවා අනවශ්‍ය ලෙස වියදම් කරන්නේ නැහැ. ඒ දේ ආරක්ෂා කරනවා. එලෙසම ඇය සැමියාගේ මුදල් සොරකම් කරන්නේ නැහැ. ඇයටත් සුගති රැකවරණ හිමියි.

භාග්‍යවතුන් වහන්සේ වදාළා යම් ස්ත්‍රියක් බුද්ධ, ධම්ම, සංඝ සරණ ගොස් නිරන්තරයෙන් සිල්පද රකිනවා ද ඇය ද මනාපකායික දෙව්ලොව උපත ලබනවා කියලා.

ඒ වගේම ඇය ත්‍යාගවන්ත යි. මසුරු තැනැත්තියක් නොවේ. නිරන්තරයෙන් දන් දෙනවා. නිතර දන් බෙදන්නටත් කැමැත්තෙන් සිටිනවා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා පින්වත් අනුරුද්ධ, මේ කරුණුවලින් සමන්විත යම් ස්ත්‍රියක් සිටිනවා ද කය බිඳී මරණින් මතු ඇය මනාපකායික දෙවියන් අතර උපත ලබනවා කියා.

මේ දේශනාව දෙස බැලූවිට පේනවා ආර්ය ශ්‍රාවිකාවකට පුරුදු කරන්නට තිබෙන්නේ ඉතා පහසු ගුණධර්ම. එදා ආර්ය ශ්‍රාවිකාව කළේත් මේ දේ ම යි. අද ශ්‍රාවිකාවකට කරන්නට තිබෙන්නේ මේ දේමයි.

මේ කරුණු ඔබට ජීවිතයට පුරුදු කරන්නට මුදලක් වැය වෙන්නේ නැහැ. අනේ අපට අසවල් පින කරන්න මුදල් නැහැ, වෙලාවක් නැහැ කියමින් පසු නොතැවි මෙලෙස කටයුතු කරනවා නම් නොතැවෙන ජීවිතයක් හදාගන්න අප කාටත් අවස්ථාව තිබෙනවා.

ඒ වගේම අපි තේරුම් ගන්න ඕනෑ. බුද්ධ ශාසනයේ ශ්‍රාවිකාව කියන්නේ කවුද කියලා. ඇය තෙරුවන් සරණ ගිය තැනැත්තියක්. සෑම කාන්තාවකට ම නිම්මාණරතී දෙව්ලොව යන්න පුළුවන් කියා දේශනාවේ නැහැ. ඒ හිමිකම ලැබෙන්නේ ආර්ය ශ්‍රාවිකාවකට පමණයි. ඇය ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ප්‍රඥා කියන සේඛ බල පහ තුළ පිහිටා ඉන්නවා. ඔබ ම තීරණය කරන්න ඔබ ආර්ය ශ්‍රාවිකාවක් ද කියලා.

එසේ ශාසනයේ සිටි ශ්‍රාවිකාවක් තමා ඛුජ්ජුත්තරා දාසිය කියන්නේ. ඇය ධර්ම මාර්ගය පුරුදු කරලා අනාගාමී වුණා. දුක සේ ජීවිතය ගතකළත් ධර්මයෙන් ප්‍රයෝග ලබා ගත්තා. අන්අයට ධර්ම කියා දුන්නා. ඔවුන්ගේ සිත ධර්මයට පැහැදෙව්වා. මරණින් මතු සුගති ලොව උපන්නා.

සේඛ බලධර්ම පුරුදු පුහුණුූ කරන ආර්ය ශ්‍රාවිකාව නිතර ම ස්වාමි භක්තියෙන් යුක්ත වෙන්න ඕන. හොඳින් ඉවසන කෙනෙක් වෙන්නත් ඕන. බුද්ධ ශාසනයේ උපාසිකාවන් අතර සිටි සාමාවතී කුමරියගේ ඉවසීම අපට ආදර්ශයක්.

ඇය සිටි මුළු මාළිගය ම මාගන්දියා විසින් ගිනි තිබ්බා. මෙතැනින් දුවන්න ඕන, ජීවිතය බේරා ගන්න ඕන කියා කවුරුවත් කලබල කළේ නැහැ. ඇය සියලු දෙනාගේ ම සිත් නිවා දැමුවා. ධර්මයෙන් අනුග්‍රහ කළා. ගින්නෙන් මේ කය පිච්චී ගියත් සිත නම් වෙනස් කර ගන්න එපා කිව්වා. එසේ කරන්නට පුළුවන් වුණේ ඔවුන් තරහ දුරු කරන්නට පුරුදු කළ පිරිසක් නිසයි. දැන් ඒ සියලු දෙනා සුගති ලෝකවල ඉන්නේ. එනිසා ඒ ශ්‍රාවිකාවන්ගේ ජීවිතවල තිබූ ගුණධර්ම අපත් ඉගෙන ගත්තොත් තමා අපටත් ගුණධර්ම දියුණු දියුණු කරන්න වීර්යයක්, හයියක් ඇතිවන්නේ.

එනිසා අපටත් ජීවිතවලට නොයෙක් ප්‍රශ්න, කරදර, දුක්පීඩා එද්දී ඒවා මත්තේ ම හැපෙමින් හඬා නො වැටී එයින් නැඟී සිටින්නට කැමැත්තක් ඇතිකර ගත යුතු වෙනවා. ඔබත් මරණින් මතු සුගති ලෝකයකට යන්නට කැමැති නම් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුළ ශ්‍රාවිකාවෝ ධර්මය පුරුදු කළ ආකාරය ඉගෙන ගන්න. සේඛ බල ධර්ම ඉගෙන ගෙන ආර්යකාන්ත සීලය තුළ හික්මී, ඉවසීම, කරුණාව, මුදිතාව ඇතිකර ගෙන ස්වාමියාට යටහත් ව , මවුපියන්ට උපස්ථාන කරමින් ගුණධර්ම දියුණු කළොත් ඔබටත් ඒකාන්තයෙන් ම ජීවිතය ජය ගන්නට පුලුවන් වේවි.

මේ ලෝකය වේගයෙන් කාමය නැමති සැඩ පහරට ගසාගෙන යමින් තිබෙන්නේ. ඒ රැල්ලට හසු නොවී උඩුගං බලා පිහිනීමට ආර්ය ශ්‍රාවිකාවට හැකියාවක් තිබෙනවා. අප ජීවත්වෙන සුළු කාලය තුළ එයින් ප්‍රයෝජන ගෙන දුක්ඛිත සසරින් එතෙර වීමට ශක්තිය ලැබේවා.