Print this Article


 සිංහල බෞද්ධ සංස්කෘතිය ලෝකයට දායාද වූ දා

සිංහල බෞද්ධ සංස්කෘතිය ලෝකයට දායාද වූ දා

ශ්‍රී ලාංකේය සිංහල බෞද්ධ සංස්කෘතියේ නිර්මාතෘවරයාණන් වන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසිය තිස් හයකට පසු පොසොන් පුරපසළොස්වක් පොහෝ දින අනුරාධපුරයේ මිස්සක පව්ව හෙවත් සෑගිරි පර්වතයට වැඩම කර මුව දඩයමෙහි යෙදුණු දේවානම්පියතිස්ස මහ රජු ඇතුළු පිරිස හඳුනාගෙන ලක්වැසියන්ගේ හිත සුව පිණිසත්, ඔවුන්ට අනුකම්පා පිණිසත්, වැඩ පිණිසත් ධර්ම දේශනා කරමින් ජීවිත සාර්ථක කර දීමට කටයුතු ආරම්භ කළහ. එහි පළමු පියවර වන්නේ මිහින්තලා පව්වේ දී දේශනා කළ චුල්ලහත්ථිපදෝපම සූත්‍රයයි.

මේ සූත්‍ර දේශනාව දක්නට ලැබෙන්නේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකයේ ඕපම්ම වග්ගයේ හත්වැනි සූත්‍රය ලෙසයි.

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටින සමයේ සැවැත්නුවර ජීවත් වුණා ජානුස්සෝණි නම් මහා ධන කුවේරයෙක්. ඔහුගේ විනෝදාංශයක් වුණේ සුදු අශ්වයන් යෙදූ රථයකින් නගරය ප්‍රදක්ෂිණා කිරීමයි. දිනක් එසේ යන විට පිලෝතිකා නම් පරිබ්‍රාජකයා දැක ගන්න ලැබී කොහි සිට එන්නේ දැයි විමසා සිටියා. බුදුරජාණන් වහන්සේ හමුවී එන බව ඔහුගේ පිළිතුර වුණා. එවිට දෙවැනි ප්‍රශ්නය ලෙස ඔබ සිතන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවන්ත ද? පණ්ඩිතද?යි ඇසුවා.

පිලෝතික ඔහු අමතලා ‘භවත් ගෞතමයන් වහන්සේගේ නුවණ හා වියත් බව යමෙක් දන්නවා නම්, ඔහු ඒකාන්තයෙන් ම බුදුරවරයෙක් ම වේ.’යි කියා උත්තර දුන්නා.

එවිට ජානුස්සෝණි ‘ඔබ කවර කරුණක් නිසා භවත් ගෞතමයන් වහන්සේ කෙරෙහි පැහැදුනේද?’යි නැවතත් විමසා සිටියා.

‘බුදුරජාණන් වහන්සේ සම්ම්‍යක් සම්බුද්ධයි, දේශනා කරන ධර්මය ස්වාක්ඛාතයි. ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්නයි. ඇතුන් ජීවත්වන වනයේ හැසිරෙන මිනිසා ඇතුන්ගේ දික් වූ, පළල් වූ පා සටහන්වලින් මේ අසවල් ඇතෙක් යැයි නිශ්චයට පැමිණෙන්නාක් මෙන් මේ කරුණු නිසා මමත් පැහැදීමටත්, නිශ්චයටත් පත් වුණා‘යි පිළිතුරු දුන්නා.

අනතුරුව තමන් පැහැදීමට පත් කාරණා එකින් එක ජානුස්සෝණි බමුණාට පැහැදිලි කර දීමට ද කටයුතු කළා. විස්තර කිරීම් සියල්ල අවසන් වූ විට රථයෙන් බැස ගත් ජානුස්සෝණී බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ජේතවනාරාමය දිශාවට තුන් වරක් වන්දනා කළා. සතුට ප්‍රකාශ කරමින්, ස්තුති කරමින් බුදුරජාණන් වහන්සේ හමුවී කිසියම් කථා බහක යෙදීමට තීරණය කර ගත්තා.

සිතූ ලෙස ම බුදුරජාණන් වහන්සේ වෙත එළැඹ දැන හඳුනා ගැනීම්වලින් පසු එකත් පසක හිඳ ගත්තා. පිලෝතික හමුවූ පුවතත්, ඔහු ඇත්පාදයක් උපමා කර ගනිමින් තමා දන්නා ධර්ම කාරණය පැහැදිලි කිරීමට කටයුතු කළ බවත් කියා සිටියා. බුදුරජාණන් වහන්සේ එය අසා සිට

‘බමුණ, ඇත් උපමාව විස්තර වශයෙන් සම්පූර්ණ වී නැහැ. මම දැන් එය ඔබට පවසන්නෙමි. හොඳීන් අසන්න‘යි දේශනා කළා.

බමුණාත් පින්වත් භාග්‍යවතුන් වහන්ස, එසේය’යි පිළිතුරු දුන්නා.

ඇතුන් ජීවත් වන වනයේ ජීවත් වන පුරුෂයා ඇත්පාදයේ දිග හෝ පළල හෝ දුටු පමණින් අසවල් ඇතා යැයි නිශ්චයට නො පැමිණ දිගට ම ඉදිරියට ගමන් කිරීම සිරිතයි. එවිට ඔහුට විවිධ ඇත් පා හමු වෙනවා. අවසානයේ ඇත්පා සියල්ල හඳුනා ගන්නවා. එ පරිද්දෙන් අර්හත් වූ, සම්මා සම්බුද්ධ වූ, විජ්ජාචරණ සම්පන්න වූ, සුගත වූ, ලෝකය දන්නා වූ, පුරුෂදම්මසාරථි වූ, දෙව්මිනිසුන්ට ශාස්තෘ වූ, බුද්ධ වූ, භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේත් ලොවට පහළ වන්නේය‘යි පළමුවෙන් ම බුද්ධ යන්න පැහැදිලි කර දුන්නා.

අනතුරුව සොයා ගත් ඥානයෙන් ලෝකයාට අර්ථ සහිත කොට, ව්‍යඤ්ජන සහිත ව හා කේවල සම්පූර්ණ කොට ධර්මය දේශනා කරන බවත්, ඒ ධර්මය ශ්‍රවණය කරන ගෘහපතියන්, ගෘහපති පුත්‍රයන් පැවිද්ද අභ්‍යාවකාශය මෙන් සලකා පැවිද්ද ලබන බවත් පැහැදිලි කර දුන්නා.

අනතුරුව ජානුස්සෝණි බමුණාට පැහැදිලි කර දෙන්නේ නිවන් මාර්ගය පිළිබඳව යි.

එහි පළමු පියවර සීලය බව පෙන්වා දෙනවා. දෙවැනි පියවර නීවරණ යටපත් කර ගැනීම බව දක්වමින් සමාධිය හඳුන්වා දෙනවා. සමාධියේ ඵලයක් වශයෙන් ධ්‍යාන පහ ලබා ගන්නා බවත්, ධ්‍යාන ලැබූ භික්ෂුව විදර්ශනා නුවණින් කල් ගෙවන බවත්, එවිට පිළිවෙළින් මනෝමය ඍද්ධිය, ඍද්ධිවිධ ඥානය,දිබ්බසෝත ඥානය, පරචිත්ත විජානන ඥානය, පුබ්බේනිවාසානුස්සති ඥානය හෙවත් පෙර විසූ කඳ පිළිවල දන්නා නුවණ, දිබ්බ චක්ඛු ඥානය ලබා අවසානයේ දී ආසවක්ඛය ඥානය ලබන බවත් දේශනා කළා.

ආසවක්ඛය ඥානය වෙත හිත යොමු වූ විට දුක්ඛ සත්‍යත්, දුක්ඛ සමුදයත්, දුක්ඛ නිරෝධයත්, දුක්ඛ නිරෝධගාමිනි ප්‍රතිපදාවත් තත් වූ පරිද්දෙන් දැන ගන්නා බවත්, මෙම තත්ත්වය උදා වූ කල්හි ආස්‍රවසමුදය, ආස්‍රවනිරෝධය, ආස්‍රවනිරෝධගාමිනි ප්‍රතිපදාවත් තත් වූ පරිද්දෙන් දැන ගන්නා බවත්, එවිට ඔහු කාමාස්‍රවයෙන්, භවාස්‍රවයෙන්, අවිද්‍යාස්‍රවයෙන් මිදී මම මිදුණෙමි යි ඥානය ඇති වන බවත්, අර්හත්වය ලැබූ බවත්, බඹසර වාසය නතර කළ බවත් දැන ගන්නේ යැයි ජානුස්සෝණි බමුණා වෙත පැවිද්දේ ගමන් මඟත්, නිවනත් පැහැදිලි කර දුන්නා.

චුල්ලහත්ථි පදෝපම සූත්‍රයේ ඉහත දක්වන්නට යෙදුණු ධර්ම කරුණු වඩාත් පැහැදිලි ව හා සවිස්තරාත්මක ව පෙන්වා දී තිබෙනවා. සූත්‍ර දේශනාවේ කරුණු සමස්තයක් ලෙස සලකා බලන විට පෙනී යන්නේ දේවානම්පියතිස්ස රජතුමාටත්, රටවැසියාටත් තමන් වහන්සේ කවුද යන්නත්, තමන් වහන්සේට අයත් කටයුතු කවරේ ද යන්නත්, තමන් වහන්සේ කවරෙක් නියෝජනය කරන්නේ ද යන්නත්, තමන්ගේ අරමුණ රාජ්‍ය බලය ලබා ගැනීම හෝ කාම සම්පත් භුක්ති විදීම හෝ නොවන බවත් පෙන්වා දීමක් ලෙස හඳුනා ගන්න පුළුවන්.

තව ද රජතුමාටත්, රටවැසියාටත් වැරැදි අවබෝධයක් යාමට පෙර එය අවබෝධ කරවීම පිණිස තීක්ෂණ බුද්ධිය යොදවා තෝරා ගත් සූත්‍ර දේශනාවක් ලෙස ද චුල්ලහත්තිපදෝපම සූත්‍ර දේශනාව සලකන්න පුළුවන්.

භික්ෂුව පහළ වන්නේ බුදුරජාණන් වහන්සේ නමක් වෙතින් බවත්, බුදුරජාණන් වහන්සේ නමක් යනු ප්‍රඥාවෙන් හා දැනුමින් සමාන කළ නොහැකි පුද්ගලයකු බවත්, උන්වහන්සේ දේශනා කරන ධර්මයට ලෝකවාසීන් ප්‍රිය කරන බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් උන්වහන්සේගේ ශ්‍රාවකයන් බිහි වන බවත්, එම ශ්‍රාවකයින්ගේ හැසිරීම සතර සංවර සීලයෙන් යුක්ත බවත්, ඔවුන්ගේ අරමුණ කාම සම්පත් ලබා ගැනීම නොව නිවන් මාර්ගයේ ගමන් කර නිවන් ලැබීම බවත් රජතුමාට අවබෝධ කරවීම සූත්‍ර දේශනාව පුරා දක්නට ලැබෙනවා.

භික්ෂුව හැසිරෙන හැටි, කන බොන හැටි, වස්ත්‍ර භාවිත කරන හැටි ආදිය මෙහි විස්තර කර තිබෙනවා. රජතුමා වඩාත් පැහැදීමට ලක්වන්නේ එම කරුණු අවබෝධ කර ගැනීමෙන්. තමන්ටත්, රටටත්, ආණ්ඩුවටත් තර්ජනයක් හෝ විපතක් නොවන බව වටහා ගන්නා රජතුමා කිසිදු බියකින්, සැකයකින් තොරව පසු දින රජමාලිගයේ දානයට වැඩම කරන ලෙස ආරාධනා කර සිටිනවා.

දෙදෙනාගේ මේ අවබෝධය හා මිත්‍රත්වය නිසා සිංහල බෞද්ධ සංස්කෘතිය ලෝකයට දායාද වීම පොසොන් පුර පසළොස්වක පෝදා දිනක ආරම්භ වුණා.