Print this Article


පොඩි හාමුදුරුවන්ගේ භාවනා සටහන් - 03: තරහ නැති සිත සන්සුන් ශාන්තයි සතුටුයි

පොඩි හාමුදුරුවන්ගේ භාවනා සටහන් - 03:

තරහ නැති සිත සන්සුන් ශාන්තයි සතුටුයි

මගේ දෑස කඳුළෙන් පිරිණ. ඇලීමෙන් බැඳීමෙන් තොර වූ උත්තම ජීවිතය සතු ගුණ සාගරයෙන් බිඳක් හෝ උරා ගැනීමට මගේ සිතට ද හැකි වේවා. මම රාගයෙන් තොර වෙමි. ද්වේෂයෙන් තොර වෙමි. මෝහයෙන් තොර වෙමි. කෙලෙසුන්ගෙන් තොර වෙමි. මාගේ බුදුපියාණන් වහන්ස, මම ද ඔබ වහන්සේ හෙළි කළ මාර්ගයේ ගමන් කොට කෙලෙසුන් කෙරෙන් තොර වෙමි.

මේ සිතිවිලි සමඟ මගේ හද මැදුර බුදු මැදුරක් විය. බුදුහිමියෝ එහි වැඩ සිටිති.

මගේ සිත නිහඬ විය. ශාන්ත විය. මට මගේ සිරුර නොදැනී ගියේ ය .

බුදු ගුණ භාවනාවේ යෙදුණු මගේ සිත මහත් සැහැල්ලුවකින් පිරිණ. ‘නමාමි බුද්ධං ගුණසාගරන්තං’ බුදුරජාණන් වහන්සේගේ ගුණ සාගරයකි. මා සිහි කළේ එයින් බිඳක් පමණි. අරහං ගුණයෙනුත් ස්වල්පයකි.

කෙලෙසුන්ගෙන් තොර වීම අරහං ගුණයේ එක අංගයක්. රාගය කෙලෙසුන්ට අයිති ය. බුදු පියාණන් වහන්සේ රාගයෙන් තොරයි සිතූ මම උන් වහන්සේ රාගයෙන් තොර වූ ආකාරය සිහි කළෙමි. ගිහි කල ලැබුණු සියලු සම්පත්, ඒ සුඛෝපභෝගී ජීවිතය අත්හළ හැටි, බුදු වු පසු ලැබූ ආරාම, දාන මාන ඇලීමෙන් බැඳීමෙන් තොරව පිළිගත් හැටි, දුක සැප සම ව උපේක්ෂාවෙන් ඉවසූ හැටි මම සිහි කළෙමි.

අසූ හැවිරිදි මහලු වයසේ සිටිය ද දිරාපත් වූ රථයකට සිය සිරුර සම කළ ද විශාලාවේ සිට කුසිනාරාව දක්වා තුන් මසක් පුරා පා ගමනින් ම වැඩම කළ හැටි, ගුවනින් ඍද්ධි බලයෙන් පහසුවෙන් යා හැකි ව තිබුණ ද ඒ දුක් පීඩා ඉවසමින් මග දිගට ආනන්ද හාමුදුරුවන් හතරට නමා දෙන සිවුර මත විටින් විට වැඩ හිඳිමින් ‘මට මහන්සියි ආනන්ද’ යනුවෙන් වදාළ හැටි මට සිහි විය.

මම යළි හද මැදුරේ බුදු රුවට යොමු වූයෙමි. උන් වහන්සේ ද්වේෂයෙන් තොර යි. සියලු දෙනාට ම සම මෙත පැතිරූ හ.

මම ද මුළු ලොවට ම සම මෙත පතුරුවමි. මම චතුරාරක්ඛ භාවානවේ දෙවන භාවනාවට සිත යෙදුවෙමි.

මම තරහ නොවෙමි. සුවපත් වෙමි.

තරහ ඇති විට ඇති වන තත්ත්වය සිහි කළෙමි.

මට තරහ ඇති වූ අවස්ථා කීපයක්. මගේ ඇඟ ගැහෙන්නට වුණා. දෙතොල වෙවුළුවා. ඇස් පුපුරන්නට වගේ වුණා. හද ගැස්ම වැඩි වුණා. අත්මිට මෙළවුණා. පරුෂ වචන කීපයක් මුවින් පිට වුණා. මට මා පාලනය කර ගන්න අපහසු වුණා.

ඒ හැසිරීම ගැන මට මා ගැන ම පසු ව දුකක් ඇති වුණා. ලොකු හාමුදුරුවන් ඇතුළු මගේ වැඩිහිටියන්ගෙන් දොස් අසන්නට සිදු වුණා. මේ සියල්ල සිදු වූයේ සිතට ආ තරහ නිසා. තරහ නිසා සිත දැවෙනවා. තරහ නැති සිත සන්සුන්, ශාන්ත යි. සතුටුයි.

ඇයි මා කෙනකු සමඟ තරහ වෙන්නේ? තරහ වීමෙන් පාඩුව මට ම යි. තරහ වීම පවක්. තරහ වීමෙන් පව් පිරෙන්නේ මට ම යි. තරහ වීම නිවනට බාධාවක්.

මම තරහ නොවෙමි. සුවපත් වෙමි. තරහ නොවෙමි. සුවපත් වෙමි. තරහ නොවෙමි. සුවපත් වෙමි. තරහ නොවෙමි. සුවපත් වෙමි.

මටත් වඩා මට හිතවත් අය තරහ නො වෙත්වා” සුවපත් වෙත්වා තුන් වරක් එසේ සිතුවෙමි.

මටත් වඩා මට අහිතවත් අය තරහ නොවෙත්වා. සුවපත් වෙත්වා. මට එරෙහි ව ලොකු හාමුදුරුවන්ට කේලම් කියූ පොඩි හාමුදුරු නම මට සිහිවිය. ලොකු හාමුදුරුවන් ඉවසිල්ලෙන් ක්‍රියා කළ නිසා මා නිවැරැදි බව ඔප්පු විය. මගේ සිත ඒ මොහොතේ තරහෙන් පිරී තිබිණි. අදත් ඒ පොඩි හාමුදුරුවෝ මා සමඟ කතා නො කරති. අහිතවත් වෙනත් කෙනෙක් නැත. අර පොඩි හාමුදුරුවෝ තරහ නො වෙත්වා. සුවපත් වෙත්වා. තුන් වරක් සිතුවෙමි. මගේ සිත තුළ ඒ පොඩි හාමුදුරුවන් සිනාමුසු ව සිටිනු පෙනිණ. ඒ තරහ මුළුමනින් ම නික්ම දුරු වෙලා.

මටත් වඩා මා පිළිබඳ මැදහත් අය, තරහක් නැති හිතවත්කමකුත් නැති මැදහත් අය, තරහ නො වෙත්වා. සුවපත් වෙත්වා තුන් වරක් සිතුවෙමි.

මේ ආරාමයේ පැවිදි පිරිස, ගමේ දායක පිරිස, මේ පළාතේ සියලු දෙනා, රටවැසියන් සියලු දෙනා, පෘථිවියේ සියලු සත්ත්වයෝ තරහ නො වෙත්වා! සුවපත් වෙත්වා! තරහ නො වෙත්වා ! සුවපත් වෙත්වා ! තරහ නොවත්වා ! සුවපත් වෙත්වා!

මේ පෘථිවියේ වසන සියලු සත්ත්වයෝ, ජලයේ වාසය කරන සියලු සත්ත්වයෝ, අහසේ සිටින සියලු සත්ත්වයෝ තරහ නො වෙත්වා ! සුවපත් වෙත්වා ! තරහ නොවෙත්වා! සුවපත් වෙත්වා! තරහ නොවෙත්වා! සුවපත් වෙත්වා!

මම සිතින් අහසට නැඟුණෙමි. ඈත ඉහළ සිටින මට පෘථිවිය පෙනේ. එහි ජීවත් වන සියලු සත්ත්වයන් පෙනේ. මගේ හදවත මෛත්‍රියේ සිහිල් පැන් පිරවූ භාජනයක්. ඒ මෛත්‍රියේ සිහිල් පැන් පහත පෙනෙන පෘථිවියට ඉසිමි. සියලු සත්ත්වයන්ගේ සිත් ඒ සිහිල් පැන්වලින් නැහැවෙයි. සිත්වල වූ තරහවේ ගිනි නිවී සිත් සුවපත් වෙයි. මුළු ලොව ම මෛත්‍රියෙන් පිරෙයි. මුළු ලොව ම සුවපත් වෙයි. මුළු ලොව ම සුවපත් වෙයි. සුවපත් වෙයි.

සැම තැන ම මෛත්‍රිය තරහක් නැහැ. වෛරයක් නැහැ. පළිගැනීම් නැහැ.තුවක්කු - කඩු - බෝම්බ නැහැ. මුළු ලෝකයම මුළු පෘථිවිය ම මෛත්‍රියෙන් පිරිලා, සුවපත් බවෙන් පිරිලා. සැම තැන ම මෛත්‍රිය, මෛත්‍රිය, මෛත්‍රිය

සමන්පිච්ච මලේ සුදු පැහැයෙන් මුළු ලොව ම වැසී යනු පෙනෙනවා. පැහැපත් ලොවක් මට පෙනෙනවා. මගේ සිත ශාන්ත බවේ ගැඹුරට ම පිවිසිලා.