Print this Article


දකුණුලක පෑයූ සුපුන්සඳ ඓතිහාසික රන්දූපත ශ්‍රී රෝහණ උපෝසථාගාර සෑ රද

දකුණුලක පෑයූ සුපුන්සඳ ඓතිහාසික රන්දූපත ශ්‍රී රෝහණ උපෝසථාගාර සෑ රද

ශ්‍රී රෝහණ උපෝසථාගාර මහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් පැළඳවීමේ පුණ්‍ය මහෝත්සවය ඊයේ (20) සිදුකෙරිණි. මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ මහානායක අතිගෞරවාර්හ අගලබඩ ශ්‍රී පියසිරි මහානායක මා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්‍වයෙන් උත්සවය පැවැත්විණි

****

මාතර නගර මධ්‍යයේ පිහිටි මෙම බිම් කොටස සැබවින් ම රන්දූපතකි. එය වඩාත් ඔපවත් වන්නේ මෙම ස්ථානයේ උපෝසථාගාරය ඇතුළු විහාරාංග ඉදිවීමෙනි. විශේෂයෙන් ම අප සංඝ සභාවේ වර්තමාන අතිගරු මහානායක, මහෝපාධ්‍යාය, අගලබඩ ශ්‍රී පියසිරි අභිධාන ශ්‍රීමත් මහානායක මහා ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක ත්‍රිංශත්වර්ගික කාරක මහා සංඝ සභාවේ අවවාද හා අනුශාසනා පරිදි දර්ශනීය චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකොට නිමාවට පත්කර ඇත. මෙම සුපින්බර මොහොතෙහි ඒ සඳහා අප්‍රමාණ වෙහෙස මහන්සියෙන් ක්‍රියා කරන විටියල ඉන්දරතන ස්ථවිරයන් වහන්සේ ඇතුළු ව මේ සඳහා වෙහෙස මහන්සි වූ සැම දෙනා මෙන් ම ආධාර උපකාර කළ සැමදෙනාත් කෘතවේදී ව සිහිපත් කරමින් සැම දෙනාට ම සුභාශිර්වාද කරමි.

****

රුපියල් කෝටි සංඛ්‍යාත ධන වැයකින් මාතර අනන්‍යතාව සුරකිමින් යුගමෙහෙවරක් ඉටුකරන්නට සමත් වන රන්දූපතේ ඉදිවූ අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේ ලංකාවාසී හා ලෝකවාසී ජනතා මෙහෙවරේ සුවිසල් පැතිකඩක් සේ ඉතිහාසගත වනවාට කිසිදු සැකයක් නැත. මේ සඳහා මුලපිරූ මා මෙම පින්බර මොහොතේ ලබන සතුට අපමණ ය. උදවු උපකාර කළ සැමට පින් දෙමි. ශ්‍රී රෝහණ වංසකථාවෙහි මෙන් ම මාතර ශාසන ඉතිහාසයේ ද නව පිටුවක් පෙරළීමට මෙම උත්කෘෂ්ට සත්කාර්යය හේතුවනු ඇත.

****

මාතර නගරයට පිවිසෙන දහස් සංඛ්‍යාත බැතිමතුන්ට වැදපුදා ගැනීමටත් නගරයෙන් පිටව ඈත ගම්දනවු කරා යන සෑමදෙනාට ම වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමටත් උපෝසථාගාර පුදබිමට නව ආලෝකයක් ගෙනදීමටත් හේතුවන අකාරයෙන් මෙම දාගැබ් වහන්සේ ඉදිකිරීමට හැකිවීම පරම භාග්‍යයකි.

ඒ සඳහා අවවාද අනුශාසනා ලබා දෙමින් කටයුතු කළ ශ්‍රීමත් මහානායක මා හිමිපාණන් වහන්සේ ප්‍රධාන මෙම කාර්ය සඵලත්‍වය සඳහා සිය ධනය ශ්‍රමය කැපකළ ගිහි පැවිදි සැමටත් පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය ශ්‍රී රෝහණ මහා සංඝ සභාව වෙනුවෙන් පුදකර සිටිමි.

****

ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ අතිගරු මහානායක මහාස්වාමීන්‍ද්‍ර වරප්‍රමුඛ සානුනායක ත්‍රිංශත් වර්ගික කාරක මහා සංඝ සභාව මා කෙරෙහි තැබූ විශ්වාසය සුරක්ෂිත කරමින්, උන්වහන්සේගේ අවවාද අනුශාසනා මඟපෙන්වීම් සහ ආධාර උපකාර ලබාගෙන තෙමහල් මන්දිරයක් ධර්මශාලාව, භික්ෂු නේවාසික කුටි, රැස්වීම් ශාලාව හා මතුයෙහි අටමස්ථාන සිහිපත් කරවන දර්ශනීය චෛත්‍යරාජයන් වහන්සේගේ වැඩ නිමාකර, කොත් පලඳවා මහජනතාවට වැඳුම් පිදුම් සිදුකිරීම සඳහා අවස්ථාව ලබා දීමට සිවු වසරක් වැනි කෙටි කාලයක් තුළදී මාහට හැකියාව ලැබුණි. මෙම උත්කෘෂ්ට කාර්ය අප සංඝ සභාව වෙනුවෙන් ඉටුකිරීමට මාහට හැකිවීම මා ලද පරම භාග්‍යයකි.

මේ සත්කාර්යය සඳහා මාහට උපකාර කළ මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ අතිගරු මහානායක මහාස්වාමීන්‍ද්‍ර වරප්‍රමුඛ සානුනායක ත්‍රිංශත් වර්ගික කාරක මහා සංඝ සභාවටත් උපසම්පදා කාරක සභික හිමිවරුන්ටත් විශේෂයෙන් ශ්‍රී රෝහණ තරුණ භික්ෂු සංවිධානයේ හිමිවරුන්ටත් මා පැවිදි උපසම්පදා කළ ආචාර්ය උපාධ්‍යාය හිමිවරුන්ටත් මාගේ ගුරුදේවයන් වහන්සේලා සැමටත් මගේ දුකේදීත් සැපේදීත් මා අත්නොහළ ගරු විධායක සභික, විශ්‍රාමලත් විදුහල්පති, ශාස්ත්‍රපති පූජ්‍යපාද බෙංගමුවේ විමල මා හිමිපාණන් වහන්සේ, අරඹේගොඩ පබ්බතාරාමය, ඌරාපොළ සිරි රතනජෝති පිරිවෙණේ හා වනරතන මූලික පිරිවෙණේ ආචාර්ය මණ්ඩල හා ශිෂ්‍ය හිමිවරු, තත් විහාරාධිපති ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ශාස්ත්‍රපති, ගරු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ (පිරි) පූජ්‍ය ගෝණදෙණියේ තපස්සි හිමි ප්‍රධාන ස්ථවිර, මධ්‍යම, නවක ත්‍රනිකායික සියලු හිමිවරුන්ට මාගේ නමස්කාර පෙරටුකරගත් පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පිරිනමමි.

මේ දක්වා මාහට ශක්තියක් වූ මාතර නගරවාසී බෞද්ධ සැදැහැවත් ජනතාව, ව්‍යාපාරික ප්‍රජාව, මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතර මහ නගරසභාව ඇතුලු සියලු ආයතන නිලධාරී, සුලු සේවක සැමටත්, උපෝසථාගාර මහාවිහාර සීලභාවනා සමිතිය, සණස සමිතිය, මාසිකව දානමාන පූජාකරන පින්වත් පිරිස, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව, පොලිසිය ප්‍රධාන රණවිරුවන්, දිනපතා මෙම විහාරය වැඳපුදාගත් බාල, තරුණ, මහලු සෑම දෙනාටත් රුපියලකින් හෝ වචනයකින් හෝ මෙම සත්කාර්යයට දායක වූ සත්පුරුෂ ගිහි පින්වත් සැම දෙනාටමත් මාගේ හෘදයංගම පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පිරිනමමි.

****

අප ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ආදිකර්තෘභූත පුරාවිද්‍යා චක්‍රවර්ති, මහාචාර්ය අතිගෞරවාර්හ කඹුරුපිටියේ වනරතනාභිධාන ප්‍රථම මහානායක මා හිමිපාණන් වහන්සේගේ සිතේ පැවති උතුම් ප්‍රාර්ථනාවක් ප්‍රායෝගික ව සඵල කර ගැනීමට තත් සංඝ සභාවේ පස්වැනි උතුම් මහානායක ධුරය හොබවන මාගේ කාලයේ දී හැකිවීම අප ලද පරමභාග්‍යකි. මේ සඳහා දිවා රෑ නොබලා අපමණ ව වෙහෙසවුණු ගරු විහාරාධිකාරී, සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ, ශාස්ත්‍රපති පූජ්‍ය විටියල ඉන්දරතන ස්ථවිරයන්ටත්, ඒ සඳහා කාලය, ධනය, ශ්‍රමය කැප කළ ගිහි පැවිදි සැදැහැවත් සත්පුරුෂ සැමටත් මාගේ ආශිර්වාදය පිරිනමමි.

****

ශ්‍රී සම්බුද්ධ ශාසනයේ මෙන් ම සිංහල ජාතියේ බොහෝ පිබිදීම් සහ බිඳවැටීම් හමුවේ නැගී සිටි බොහෝ ගිහි පැවිදි විරුවන් බිහිකළ දකුණුලක මාතර පුරවරයේ මහසයුරෙන් වටවූ දර්ශනීය රන්දූපත වර්තමානයේ අගනා පුණ්‍යභූමියක් බවට පත්වූයේ ස්‍යාම නිකායික ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ උතුම් කැපවීම හේතුකරගෙන ය.

මේ සුවිශේෂී නිර්මාණය මාතර පුරවරයට පමණක් නොව සිරිලකට ම මහඟු දායාදයකි.

චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රමුඛ ධර්ම ශාලාව, භික්‍ෂු නේවාසිකාගාරය ඉදිකිරීම තුළ මුඛ්‍ය පරමාර්ථය වන වාර්ෂික උපසම්පදා විනයකර්මය සිදුකිරීමට වඩාත් පහසුකම් දැන් සැලසී ඇත. මෙම බද්ධසීමා මාලකය සහිත ශ්‍රී රෝහණ මංගල උපෝසථගාර මහා විහාරය තුළින් සම්බුදු සසුනේ චිරජීවනය සැලසේවා’යි අප වනවාස පාර්ශ්වීය සංඝ සභාව ප්‍රාර්ථනා කරම්හ.

****

දකුණු ලකට පෑයූ සම්බුද්ධ මාණික්‍යයක් සේ සාගරයෙන් පැන නැඟී බුදු රැස් විහිදුවන මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ; බුද්ධ රශ්මි බුබුළක් සේ සුදෝ සුදුවන් ව, අහස්කුසින් ඈතට දිස්වන්නේ ඉතා දර්ශනීය ආකාරයෙනි. අපගේ උපසම්පදා මූලස්ථානය මෙම සෑ රදුන්ගෙන් ශෝභමාන වන අතර, මෙය නිර්මාණය කර ඇති ආකාරය ද සියලු බෞද්ධයන්ගේ සිත්වල බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කර වන්නකි. මෙම උතුම් පින්කමෙන් ජනිතවන පුණ්‍යසම්පත්තිය, අතිගෞරවාර්හ කඹුරුපිටියේ වනරතනාභිධාන ප්‍රථම මහානායක මා

හිමිපාණන් වහන්සේ ප්‍රධාන අද දක්වා අප සංඝ සභාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවූ අතිගරු මහානායක, අනුනායක, ගරු විධායක සභික හා ගරු සාමාජික සියලු ස්වාමීන්‍ද්‍රයන් වහන්සේට අත්වේවා.