Print this Article


ජීවිතය අඩපණ කරන බාධක මඟහරිමු

ජීවිතය අඩපණ කරන බාධක මඟහරිමු

මිනිස් සිත ගැන කරන ලද නවීන පර්යේෂණ රැසකින් හෙළි වී ඇත්තේ යම් කෙනෙක්ගේ සිතේ නිතර ඇති වෙන සිතිවිලිවල ගුණාත්මක බවට සාපේක්ෂ ව ඔහුගේ හෝ ඇයගේ හෝ ජීවිතයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය හෝ තීරණය වන බවයි. මීට ශතවර්ෂ 25 කට එපිට දී බුදුහිමියන් විසින් දේශනා කරන ලද ධර්මය ප්‍රධාන වශයෙන් ඉලක්ක වී ඇත්තේ මිනිස් සිතේ ඇති වෙන සිතිවිලි පාලනය කර ගනිමින්, සිත නො සැලී පවත්වා ගන්නා ආකාරය ගැන යි.

අපේ සිතේ ක්‍රියාකාරීත්වය අඩපණ කරන නනිවන් මඟ වළකන බාධක පහක් ගැන බුදුදහම අපට පෙන්වා දෙනු ලබයි. මෙම බාධක එදිනෙදා ජීවිතයේ දී ලෞකික වශයෙන් ගත් කල ද සාර්ථකත්වය කරා යන අපේ ගමන අඩාල වනු ඇත.

ඔබ කිනම් වෘත්තියක නියැළුණත් දවසේ වැඩ කටයුතු නිම කිරීමෙන් පසු ඇඟපත සෝදා ගෙන, ඇඳුම් මාරු කර ගැනීම අනිවාර්යයෙන් ම කරන දෙයක්. යම් කෙනෙක් එසේ නොකොට සතියක් හෝ දෙකක් හෝ එකම ඇඳුමෙන් වැඩ කළහොත් සිදුවන්නේ කුමක් ද? කුණු, දහඩිය හා දූවිලි නිසා ඇතිවන අසාත්මිකතාවයක් හේතුවෙන් එම පුද්ගලයාගේ ශරීර සෞඛ්‍යය පිරිහී යාම යි. ඒ නිසා ම ඔහුගේ එදිනෙදා වැඩ කටයුතුවල ඵලදායිතාව අඩු වනු ඇත. උදෑසන සිට සවස් වන තෙක් වැඩ කරන ඕනෑම අයකුගේ ශරීරයේ කුණු දහඩිය එකතුවන ආකාරයට ම ඔහුගේ හෝ ඇයගේ සිතටත් නොයෙක් ආකාරයේ කුණු ඇතුල් වෙයි.

‘කාම’ යනු අපේ ඇස්, කන්, නාසය, දිව හා සම යන ඉන්ද්‍රියයන් තුළින් අප ලබන වින්දනය යි. ‘ඡන්ද’ යනු යම් දෙයක් කෙරෙහි ඇති අධික ආසාව යි. නැතහොත් දැඩි කැමැත්ත යි. එසේ නම් කාමඡන්ද යනු ඉහතින් සඳහන් කළ පංචේන්ද්‍රියන් පිනවීමට ඇති අධික ආශාව යි. පංචේන්ද්‍රියන් පිනවීමෙන් ලබන වින්දනය ගිහි ජීවිතය තුළ සාමාන්‍ය දෙයක් වුවත්, ඒ සඳහා ඇති අධික ආශාව අපේ සිතේ ක්‍රියාකාරීත්වය අඩපණ කරනු ලබයි.

කාමඡන්දයේ දී සිදුවන්නේ සිත යම් පුද්ගලයකුට, දෙයකට හෝ සිදුවීමකට ඇලීම යි. ව්‍යාපාදයේ දී සිදුවන්නේ සිත යම් දෙයක්, පුද්ගලයෙක් හෝ සිදුවීමක්, ප්‍රතික්ෂේප කිරීම යි. යමෙක් ඇසෙන් දකින දේ, කනින් අසන දේ, නාසයට හා දිවට හා සමට දැනෙන දේ සිතින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි නම්, එය ව්‍යාපාද නීවරණය යි. එසේ වනවිට සිත එක අරමුණක පිහිටුවා තබා ගනිමින් වැඩ කිරීමට නොහැකි වනු ඇත.

සිත නිද්‍රාශීලීවීම නිසා ද සිතේ ක්‍රියාකාරීත්වය අඩපණවේ. අරමුණක් නැති ව සිත ක්‍රියා කරන විට එය නිද්‍රාශීලී වනු ඇත.

“නිමාලි විශ්ව විද්‍යාලයේ තෙවන වසරේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක්. ඇය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය සඳහා යොමු වුණේ ඇගේ මව්පියන්ගේ බල කිරීම නිසයි. මේ නිසා ම ඇයට අනාගත ඉලක්ක හෝ අරමුණු කිසිවක් තිබුණේ නැහැ. දවල් කාලයේ දේශනවලට යන ඇයට රාත්‍රී කාලයේ පාඩම් කිරීමට පොතක් අතට ගත් සැනින් නිදිමත දැනුණා. එසේම සති අන්තයේ බොහෝ විට කළේ නිදාගැනීම යි. ඇගේ යහළුවන් ක්‍රීඩා කිරීමට හෝ වෙනත් විෂය බාහිර ක්‍රියාවකට ඇයට ආරාධනා කළ විට ඇය එය ප්‍රතික්ෂේප කළේ ඇඟට පීඩාවක් දැනෙන බව පවසමිනුයි.

මේ සියල්ලට හේතු වුණේ ඇගේ සිත තුළ ක්‍රියාත්මක වූ ථීනමිද්ධය යි. නිමාලිට පැහැදිලි ඉලක්ක හෝ ජීවිත අරමුණක් හෝ නොතිබූ නිසා ථීනමිද්ධ නීවරණය ඇගේ සිත අඩපණ කිරීම තුළින් ඇගේ ගත ද අඩපණ කළ බව ඔබට වැටහෙන්නට ඇතැයි සිතමි.

වර්තමානයේ විශාල සෞඛ්‍යය ගැටලුවක් වී ඇති ලෙඩ රෝග රැසකට මුල් වන ‘ආතතිය’ සඳහා මුල් වන්නේ උද්ධච්ච කුක්කුච්ඡය යි. මෙහි ‘උද්ධච්ච’ කොටස මනස නො සන්සුන් කරන අතර, දීර්ඝ කාලයක් මෙම තත්ත්වය පවතින විට ‘කනස්සල්ල’ නම් මානසික රෝගී ස්වභාවය ඇතිවෙයි. ‘කුක්කුච්ච’ කොටස මනස පීඩනයට හා පීඩාවට පත් කරන අතර, දීර්ඝ කාලයක් මෙම තත්ත්වය පවතින විට ‘අවපීඩනය’ නම් රෝගී ස්වභාවය ඇතිවෙයි. මෙය වඩාත් හොඳින් තේරුම් ගැනීම සඳහා පහත උදාහරණවලට හිත යොමු කරමු.

නිමල් ව්‍යාපාරිකයෙක්, ඉතාමත් හොඳින් තමන්ගේ ව්‍යාපාරික කටයුතු මෙන් ම පවුලේ වැඩ කටයුතු නිතිපතා කරගෙන ගියත්, නිමල් සෑම විට ම කාලය ගත කළේ අනාගතය පිළිබඳ චකිතයකින් යුතුව යි. තමන්ගේ ව්‍යාපාර කටයුතු අසාර්ථක වේ යැයි බියක් ඔහුගේ සිතේ තිබුණා. එසේම තමන් වෙත එන ගනුදෙනුකරුවන්, තමන්ගේ සහෝදර ව්‍යාපාරිකයින් වෙත ඇදී යාමෙන් තමන්ට පාඩු සිදුවේ යැයි ඔහු නිතර සිතුවා. පාසල් යන වයසේ දරුවන් දෙදෙනකුගේ පියකු වූ නිමල් තමන්ගේ දරුවන් මත්ද්‍රව්‍ය වැනි දේ භාවිත කරයිදෝ යන හැඟීම නිසා නිතර පසුවූයේ නො සන්සුන් මනසකින් යුතුව යි. මේ නො සන්සුන්කම නිසා වැඩිකල් නො ගොස් ඔහුගේ ව්‍යාපාර කටයුතු අඩාල වන්නට පටන් ගත්තා. එසේම ඔහු තම දරුවන් ගැන මෙන් ම බිරිඳ ගැන අනවශ්‍ය ලෙස සැලකිලිමත් වීම නිසා පවුලේ අඬදබර හා ගැටුම් ඇති වුණා. මේ සියල්ලට හේතු වුණේ උද්දච්ච කුක්කුච්ඡ ය යි.

ඕනෑම දෙයක් ගැන හිතේ සැකයක් ඇති වූ විට එතැනින් ඔබ්බට සිතේ ක්‍රියාකාරීත්වය දුර්වල වනු ඇත. මෙය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා පහත උදාහරණවලට සිත යොමු කරමු.

‘සුගත් සහ චමිලා අලුත විවාහ වූ යුවළක්. දිනක් වැඩ නිම වී නිවසට පැමිණි සුගත් නාන කාමරයට ගියේ ඇඟපත සෝදා ගැනීමටයි. ඒ අතරේ සුගත්ගේ ජංගම දුරකථනය නාද වුණා. දුරකථනයට පිළිතුරු දුන් චමිලාට අනෙක් පසින් ඇසුණේ ගැහැනු කටහඬක්. එම ගැහැනු කටහඬ සුගත් සිටින්නේ දැයි විමසා සිටියා. කළබලයට පත් වූ චමිලා කතා කරන්නේ කවුදැයි විමසා සිටියා. අනෙක් හඬින් පැවසුවේ කතා කරන්නේ ‘ආසිරි’ බවයි. චමිලා නැවතත් ඇසුවේ කතා කරන්නේ කවුද යන්න යි. ඒ අවස්ථාවේ ඇමතුම විසන්ධි වුණා. චමිලාගේ සිතට ක්ෂණික ව ආවේ සුගත් ගැන සැකයක්. ඇය සිතුවේ සුගත්ට කතා කළ කාන්තාව තමන් දුරකථනයට පිළිතුරු දුන් නිසා දුරකථනය විසන්ධි කළ බවයි.

නාන කාමරයෙන් එළියට ආ සුගත්ට සිදු වූ දේ පැවසූ චමිලා ‘ආසිරි’ යනු කවුදැයි විමසා සිටියා. සුගත් පැවසුවේ ‘ආසිරි’ යනු තමන් සමඟ එකට වැඩ කරන සේවකයකු බවත්, තමන් වැඩ නිම කළ පසු රාත්‍රී වැඩ මුරය සඳහා වැඩ බාරගත්තේ ඔහු බවත් ය. නමුත් හිතේ ඇති වූ සැකය නිසා චමිලා දිගින් දිගට ම පවසා සිටින්නේ ‘ආසිරි’ යනු කාන්තාවක් බවත් ඇගේ කටහඬ පිරිමියකුගේ නො වන බවත් ය. බුද්ධිමත් තරුණයකු වූ සුගත් පසුදින රැකියාවට යන විට චමිලා රැකියා ස්ථානයට කැඳවාගෙන ගොස් ‘ආසිරි’ මුණ ගස්වා ඔහු සමඟ කාලය ගත කිරීමට ඇයට අවස්ථාව සලසා දුන්නා. ‘ආසිරි’ ගේ කටහඬ කාන්තා කටහඬකට සමාන බව චමිලාට වැටහුනේ එවිට යි. චමිලාගේ හිතේ ඇති වූ සැකය එයින් පහව ගියා.

යම් විටක දී එසේ නොවූවා නම් චමිලාගේ හිතේ ඇති වූ සැකය නිසා සුගත් හා චමිලාගේ විවාහ ජීවිතය බිඳී යාමට පවා ඉඩ තිබූ බව ඔබට පෙනෙන්නට ඇතැයි සිතමි. මේ නිසා සැකය ඉවත් කර ගැනීමට අප සැමවිට ම කටයුතු කළ යුතු බව හොඳින් හිතට ගන්න.