Print this Article


හීන දීනකම් දුරලා අදීන ජාතියක් ව පෙරට යමු

උපතේ සිට මරණය දක්වා වූ සෑම කාර්යයක දී ම බුදුදහම පදනම් වූ සමාජයක අඩිතාලම වැටුණේ මහින්දාගමනයත් සමඟ ය. ගමත්, පන්සලත්, වැවත්, දාගැබත් මෙරට ප්‍රෞඪත්වයේ සංකේතයන් ය.

මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජුට දුන් උපදෙස් අතර

‘මහරජ, ඔබ මේ පොළොවේ අයිතිකරුවා, නොව ආරක්ෂකයා ය” යන්න ප්‍රධානය. හැම පැතිකඩකින් ම රට ආරක්ෂා කිරීම මෙයින් අදහස් කරයි. මිනිසා හා සත්වයා ආරක්ෂා කරන අතර, රටේ සම්පත් ද ආරක්ෂා කළ යුතු ය. මේ උතුම් පාඨය අපගේ සියලු ක්‍රියාකාරකම් හි දි සිහි තබා ගත යුත්තකි.

හිංසාවකින් තොරව ජීවත්විය විය යුතු ය යන්න මහින්දාගමනයත් සමඟ ම අපට ලැබුණු මූලික ම පාඩමකි. බොහෝ දුරට අපේ අවශ්‍යතා ඉටු කර ගැනීමෙහිලා හිංසාවට මූලිකත්වය දී කටයුතු කරන සමාජයක් අද දැක ගන්නට පුළුවන.

තැතිගන්වන, භයගන්වන තර්ජනාත්මක වචන තුළින් පමණක් නොව අතපය, අවි ආයුධ පරිහරණය කිරීම තුළින් ද පාතාල කල්ලි යොදවා ගැනීමෙන් ද, මිල මුදල් යානවාහන, දේපළ පුද්ගල පැහැර ගැනීම් වැනි දෑ සිදුවන අයුරු දැක ගත හැකි ය. තනතුරු, ධනය, බලය, පෙන්වා ඒ තුළින් සිදුවන හිංසා පීඩාවන් ද වේ.

විශ්වවිද්‍යාලයීය අධ්‍යාපන දෙස බැලුවත් වාර්ෂික ව නවක සිසුන් වෙත එල්ලවන වධහිංසා දෙස බලන්න. මානසික පීඩාවට, අසහනයට, ආතතියට පත්ව අතරමං වන ජීවිත කොපමණ ද?

මේ වැනි හිංසාකාරී ක්‍රියාකාරිත්වයෙන් වෙන් ව අවිහිංසා සිතිවිලි හා හැඟීම් කුඩා කල සිට අපේ ළමා ලෝකයට ප්‍රවිෂ්ට කිරීම ගැන වැඩිහිටි ඔබ හැම විශේෂයෙන් සැලකිලිමත්වීම යුග අවශ්‍යතාවකි. මේවායේ ඇති දුර්විපාකය, වේදනාත්මක ප්‍රතිඵලය ගැන සිතා මෙවැනි හිංසක ක්‍රියාකාරකම්වලින් ඉවත්වීමට සිතයි නම්, එය එක්තරා අතකින් පොසොන් පෝය දා මිහිඳු හිමියන් වෙත පුදකරන සුවිශේෂී ගෞරවයක් ලෙස අපි දකිමු.

මිහිඳු හිමියන් සිහිපත් කරන මෙබඳු දිනයක දී අප අතින් සිදුවන වැරැදි අවබෝධ කර ගෙන ඒවායින් දුරස් වීමට අධිෂ්ඨාන කර ගත යුතු ය. මිහිඳු හිමියන් ලබා දුන් පණිවිඩය අපේ ක්‍රියාකාරකම් තුළ නැත්නම් මිහිඳු හිමිගේ ගුණ ගායනයෙන් පමණක් ඇති ප්‍රතිඵලය කුමක්ද?

ශි‍්‍ර මහා බෝධීන් වහන්සේ වැඩම වීමේ දී පැමිණි අටළොස් කුලයක ශිල්පීන් නිසා මෙරට කැටයම්, මූර්ති, චිත්‍ර, ගෘහනිර්මාණ, වාරිකර්මාන්ත ආදි විවිධ ක්ෂේත්‍රවල ශිල්පීය දැනුම වර්ධනය වු අයුරු දැක ගන්නට පුළුවන. හැඩිදැඩි කළු ගලෙන් කරුණාව, දයාව, මූර්තිමත් කරන බුද්ධ ප්‍රතිමා මෙන් ම සියුම් කැටයමින් අලංකෘත බෞද්ධ දර්ශනය ප්‍රකට කරන සඳකඩපහණ, කලා නිර්මාණවලින් ඔපවත් වූ පොකුණු වැනි නිර්මාණ ද බිහිවිණි.

මහා සමුද්‍ර වැනි විශාල වැව් ඇළ, දොළ, ගංගා මේ සියල්ල ශ්‍රී ලාංකිකයාගේ ශක්තිමත් දෑතින් නිර්මාණය වූ ඒවා ය.

දේවානම්පියතිස්ස රජු ඉදිකළ මහා විහාරය, ථූපාරාමය, පසුව ඇතිවූ අභයගිරිය, ජේතවනාරාමය, වැනි ස්ථාන, දුටුගැමුණු රජු ඉදිකළ ලෝවා මහා ප්‍රාසාදය, රුවන්වැලි සෑය, මිරිසවැටිය, පැරැණි ශී‍්‍ර ලාංකිකයින්ගේ විශිෂ්ට නිර්මාණය. චිත්‍රකලාව අතින් බැලුවත් සීගිරි සිතුවම් අපට මහත් ආඩම්බරයකි.

කෘෂිකර්මාන්තය දෙස බැලුවත්, ඊට අදාළ වාරිකර්මාන්තය දෙස බැලුවත් දියුණු මට්ටමකට මේවා පත්ව ඇත්තේ මහින්දාගමනයෙන් පසුවයි.

වැව් අමුණූු ආශි‍්‍රත ව කටයුතු කළ නිසා ම රට ආහාරයෙන් ස්වයංපෝෂිත විය. මිනිසාගේ එදිනෙදා අවශ්‍යතා සම්පූර්ණ විය. එදා සිටියේ වැඩකරන ජනතාවකි. ඔවුහු දහඩිය වගුරුවමින් වැඩ කළහ. ගොවිතැන උතුම් වෘත්තියක් ලෙස සැලකූහ.

අද සමහරු සිතන්නේ නිකම් ඉඳිමින් මුදල් උපයන මාර්ගයන් ය. කුඹුරු පුරන්වී ඇත. අද දහඩිය හෙළා වැඩ කරන්නට බොහෝ දෙනා අකැමැති ය. වැඩ නොකරන ජනතාවක් බිහිවෙමින් පවතී.

මහන්සි නොවී, නිකරුණේ කාලය ගතකරමින්, මත්කුඩු, මත්ද්‍රව්‍ය අලෙවියෙන් හෝ වෙනත් වැරැදි වංචා සහගත ක්‍රමවලින් මුදල් ඉපයීම අද සමහර දෙනාගේ අරමුණ වී ඇත.

මහින්දාගමනයත් සමඟ නිර්මාණශීලි ව වැඩ කළ කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගත් ඒ අතීත මිනිසා දෙස නැවැත නැවැතත් හැරී බැලීමට අවස්ථාව උදාවී ඇත.

සංඝමිත්තා මෙහෙණීන් වහන්සේ දඹදිවින් වැඩම කළ බෝධි වෘක්ෂය තුළින් මෙරටට මොනතරම් මෙහෙයක් සිදුවී ඇත්ද? වෘක්ෂ වන්දනාවට හුරු පුරුදු ශ්‍රී ලාංකිකයා ඉතා ඉක්මණින් බෝධිය වටා එක්රොක් වූහ.

මහමෙව්නා උයන ආශි‍්‍රත ව මහා විහාරය මුල් කර ගෙන අදාළ ස්ථානවල චෛත්‍යයන් හා ගොඩනැඟිලි සෑදීම තුළින් එදා පරිසරයටත්, මිනිසාටත් හානියක් නොවන අයුරින් අනුරාධපුර පුණ්‍ය භූමිය පරිහරණය කළ ආකාරය වැදගත් ය.

පරිසර සංරක්ෂණය සඳහා අවශ්‍ය ගස්කොළන්, ආරාම, උයන්වතු සැකසීම නිති පින් වැඩෙන කාර්යයන් ලෙස ධර්මයෙහි සඳහන් ය.

පොසොන් පොහොය යනු අපට උරුම වූ ප්‍රෞඪ සාඩම්බර අතීතය සිහිපත් කර දෙන පූජනීය දිනයකි. අතීතය දෙස බලා අපි ඉදිරියට යමු. එසේ නොවුනහොත් ශ්‍රී ලාංකිකයා කනගාටුදායක අභාග්‍ය සම්පන්න අඳුරු යුගයකට පා තබනු ඒකාන්ත ය.